Translate

Saturday, June 30, 2012

                        Nayomi Sirinali Nawarathna                                   


                                       පිවිතුරු හැඟුමින් සිත නැහැවේවා
             සුමිතුරු කවි සිත්  පැහැබර වේවා
             දිනිසුරු දෙසු  දම්  ගඟ සිහි වේවා
             සුමියුරු  දිනයක්  සැමටම  වේවා


මං මේ කවිය ගැන මෙහෙම ලිව්වා.....
නයෝමි ඔබේ කවි පැතුම සොඳුරුයි. පින්බරයි. යහපත් එකක්මයි.
දැන් පැය කීපයකට කලින් මා දුටු ඔබේ කවියක්ද දිනිදු හා ඔහු සතු බල පරාක්‍රමය සමඟ බැඳුනක්.
ඉන් මා කොතෙක් සසල වුනාද කිව්වොත් , මා කවියෙක් නොවූවත්, සොඳුරු අත්දැකීමක් කවි කරන්නටද පෙළඹුනා.
නමුත් මේ කවියේ - දිනිසුරු - මගේ මනසට වධ දෙනවා.

..... දිනිසුරු දෙසු දම් ගඟ සිහි වේවා..... කිව්වාම මට ගැටළුවක්.

මං හැමදාම වැරදි පෙන්වන්න ගිහිං හැමෝගේම බැනුම් අහනවා. හිත් රිදවාගන්නවා. මේ නිසාම මං ළඟදීම මේ මූණුපොින් සමුගන්නවා. නයෝමි වැනි කීප දෙනෙක් පමණයි මගේ හිත මෙතෙක් රිදවා නැත්තේ. ඒ ගැන මගේ බැතිය පල කරමින්ම ඔබේ එක් යෙදීමක ඇති ගැටළුවක් මෙසේ පෙන්වා දෙන්නට කැමතියි.

දිනි‘සුරු = දිනයේ ඉසුරු - දිනයේ දෙවිඳු - දිනයේ අධිපති - දිනිඳු - රවි - රවිඳු -
මේ ආදී බොහොම වචන තියෙනවානේ මේ හිරු කියන උන්නෑහේට.

ඉතිං දිනිසුරු - හිරු - දහම් දෙසූබවක් නම් මං අසා නෑ.

ඒ වගේම බුදුන්ට දිනිසුරු කියු බවක් - ඇමතීමක් කළ බවක්, කිසිම සාහිත්‍ය කෘතියක මා දැක නැහැ.
ඒක නම් ඉතිං මගේ නොදන්නා කම හා පොත් නොකියවීම වෙන්නට පුලුවන්.
මගේ දිවියේ, මට සමීපවම සිටි මිතුරියක් මේ ඊයේ පෙරේදා කිව්වා ඔයා සිංහල දන්නවද?
තමුන් දන්න දේ කරන්න.නොදන්න කවි ගැන මොන කතාද?බුදු සරණයි ‘‘ කියලා...

මට බයයි... ඔයත් මට එහෙම කියයි දෝ කියලා. මේ නිසා මේ ගැන කිසියම් පැහැදිලි කිරීමක් කරනවද?


නයෝමි මෙහෙම පිළිතුරක් දුන්නා.

Nayomi Sirinali Nawarathne http://dsal.uchicago.edu/cgi-bin/philologic/search3advanced?dbname=carter&query=%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94&matchtype=exact&display=utf8

dsal.uchicago.eduv. pret. gave, දුන්නා. දින, n. day: see දිනය. දිනඉසුරු, දිනිසුරු, n. day-glory or Lord of day: ap. of Buddha, Kuvéra, and the sun. දින·කර, n. day-maker: ap. of the sun, ඉර.






Nayomi Sirinali Nawarathne Wipula Sumanasekera
තිලෝගුරු, ජින, දශබල, තථාගත, දිනිඳු, දිනිසුරු, දියනා, දියනෙත........ සියල් යෙදුම් බුදුරදුන් වෙනුවෙන් පාවිච්චිකරන අතර දිනකර , දිනපති, දිනිසුරු, දිනමිණ හිරු (sun) වෙනුවෙන් යොදයි



හේමදාස  ලියනගේ මහතා ද මෙවැනි පිළිතුරක් තිබුනා.





Hemadasa Liyanage

දිනි සුරු --බුදුරජා ,සුර්යා,ධනේශ්වරය . වෛශ්‍රවන


මගේ පිළිතුර හා සංවාද ප්‍රවේශය මටම ආවේනිකයි... නාට්‍යමයි. 

ඔබ සැපයූ දිගුව දිගේ ගියා. අනේ අප්පොච්චියේ......කියලා වැඩක් නෑ......

හිරු සඳු දෙකම අවශ්‍ය නම් උපමාවක් ලෙසින් යොදා ගන්න පුලුවන්. එහෙම දෙයක් අලුතෙන් ඔබම කළත් එහි ඇති වරදක් නැ. කවුරුන් හෝ කළ යුතුයි පළමුවෙන්ම. තරහා වෙන්න එපා මමත් මීට පස්සේ "යකදුරු" කියලා යොදනවා බුදුන් වහන්සේට. ඇයි උන්නාන්සේ මනුසත් බවට විනකරන යක්ෂයෝ මරලා, අර තරුණ ළමිස්සියන් (තන්හා රතී රගා) තුන්දෙනාත් මරලා දැම්මානේ... ඉතිං යකදුරු කිව්වාම වරදක් නෑ. යක්ෂයො දුරු කළ තැනැත්තා. ඔන්න ඒක මගේ සොයාගැනීමක් ඒක නම් කොපිකරන්න එපා නයෝමි.
දිනිසුරු බුදුන්ට උපමා කිරීම පිළිබඳ මට එකඟ වෙන්න තවත් අමාරුයි - නයෝමි සැපයූ දිගුව හා වෙබ් ජාල මගේ සම්ප්‍රදායි දැනුමට හා දැනුම පිළිබඳ මා පිළිගත් සත්‍යයන්ට හා විශ්වාසයන්ට අභියෝග කරයි. අවඥා කරයි.....


(1. දිනඉසුරු, දිනිසුරු (page 285) v. pret. gave, දුන්නා. දින, n. day: see දිනය. දිනඉසුරු, දිනිසුරු, n. day-glory or Lord of day: ap. of Buddha, Kuvéra, and the sun. දින·කර, n. day-maker: ap. of the sun, ඉර.).....

ඒ ගැන කතා නොකර මං විධිමත් සාහිත-විචාර සංවාදයක් කරන්න බලන්නම්


බුදුන් පිළිබඳව හෝ සද්ධර්මය පිළිබඳව භෞතික උපමාවක් මැනවින් යොදා ඇත්තේ - මට මෙතෙක් ඉපැරැණි හෝ වත්මන් සාහිතය කුළ හමුවී ඇත්තේ - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පමණයි. එතුමන්ගේ සැළලිහිනිය පමණයි. ඒකත් මගේ සිංහල නොදන්නාකම...



  • ..... ලෝ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී


  • ..... දෙන නොමදා සිරි සඟ මොක් සැප නිසැදී


  • ..... ලද මුණිදා දම්කඳ පහස මන බැඳී


  • ......වඳු දළදා හිමි තෙමහල් පහයේ රැඳී



මේ කවියේ ගම්‍යවන නියම අරුත වටහාගන්න යැයි නයොමිගෙන් ඉල්ලා සිටිමි.

ඒ තුළින් මගේ සිංහල දැනුමට අභියෝග කර මා මරා දමන්න... මෝඩයො මරලා දාන්න නයොමි.


හිරු කියන්නේ සද්ධර්මයටවත්, බුදුන්ටවත් උපමා කරන්නට හැකි නාමපදයක්, උපමාවක් , සංකේතයක් නොවේ.
ලාහිරු බසින හිරු, නැගෙනහිරු හැර - හිරු අනෙකුත් සැමවිටම ප්‍රචන්ඩයි. බුදුන් හා සද්ධර්මය එලෙස විටින්විට වෙනස් වෙනවාද කාලයෙන් කාලයට, අවස්ථාවෙන් අවස්ථාවට. පුද්ගලයාගෙන් පුද්ගලයාට ? ඒ නිසා මං නයෝමි නොවෙය් සියලු සකල ලෝකවාසීන් විරුද්ධ වුනත් , අර මගේ පන්ඩිත සිංහල මිතුරිය හා ඇයගේ ප්‍රේමවන්තයින් කොයිතරම් විරුද්ධ වුවත් නයෝමිගේ මේ යෙුදුම වැරැදියයි කියනවා....


හිරු වගේ නෙවෙයි... ලෝ විහිදා නැගෙන දීප්තිමත් සඳු ලොව සැමටම එක සමානව සිසිල් ශන්ත සුවය , සැනසීම නොමඳව, කිසිවෙකුටත් වෙනසක් නොකර ලබා දෙයි.. මා රාහුල හිමිට සැමදා ගරුකරන්නේ මෙවැනි විශිෂ්ට කවි නිර්මාණය කරමින් මගේ සිංහල දැනීම මොටකර දමපු නිසා. පිස්සෙක් කරපු නිසා.


ඔබහරි නයෝමි. අර මගේ මිතුරිය කිව්ව එකත් හරි.

මට උන්දැ ලියා ඇති විධිය පලකරන්නත් හිතයි... නමුත්.....

‘‘... ඔයා සිංහල දන්නවද? තමුන් දන්න දේ කරන්න. නොදන්න කවි ගැන මොන කතාද? බුදු සරණයි......‘‘


මට ඉතිං බුදු සරනෙම තමා...

නයෝමිට බුදු සරණයි......



මට පිස්සු... එය ඔප්පු කරන්න... සාහිත විචාර සංවාදය තවත් විවෘතයි... මං දැන් යනවා කඩවල් වහන්න කලින් බුලත් විටක් - නෑ විටි දෙකතුනක් අරන් එන්න... අපි මේ සුන්දර රෑ සුහද සංවාදයක යෙදෙමු....



මං පැය තුනකට පස්සේ ඇවිත් බලනකොට ප්‍රතිචාර නැහැ... ඒත් මට ඉගෙනගන්න ඕනෙ නිසා මං මෙහෙම ලිව්වා.



පැය තුනකට පස්සේ ආවත් ප්‍රතිචාර දැක්කාම මට දුක හිතෙනවා. කියවලා තියෙන්නේ හේමදාස මහතා පමණයි. නයෝමිවත් කියවලා නෑ. කියෙව්වා නම් ලයික් කරන්න ඕනෑ නෑ. " මම අකමැතියි " කියලා ලියන්න තිබුනා. මූනුපොතේ කොතරම් ප්‍රබල කවීන් හා විචාරකයින් ඉන්නවාද? මේ කිසි කෙනෙක් ඉදිරිපත් නොවීම, අදහසක් පල නොකීරීම ගැන මං තුළ මවිතයක් හා සැක රාශියක් ඇතිවෙයි. මං සර්වතෝබද්‍ර පුද්ගලයෙක් නොවේ. කමක් නෑ. මගේ විචාර විමර්ශනයන්ට හැමෝම කැමතිවෙන්න ඕනෑ නෑ හැමවිටම. ලයික් ගහන්න ඕනෙත් නෑ. ප්‍රතිවිරුද්ධව හෝ ප්‍රතිචාර දැක්වීමකුයි කරන්න ඕනෙ.ඒවා දරාගන්න බැරි මිනිහෙක් නොවෙයි මම.



නිකංම නිකං සරල විදියකට විචාර සංවාදයක් ගෙනිච්චොත් එය නිකම්ම නිකං නින්ද යන සංවාදයක් වෙනවා. මගේ ගුරුවරු මට උගන්වලා .ියෙන්නේ එහෙම. ඒ නිසා මං මෙවැන්නකට ප්‍රවේශවන්නේ මටම ආවේනික වූ නාට්‍යම ශෛලියකට, ආරකට අනුගතවයි. ඒක කුකුල් පොරයක් ලෙස වරදවා හිතපු අය මං පස්සෙන් එලවා එලවා කවදත් පහර දුන්නා. අයෙක් මේ ළඟදි වස්කවි දෙක තුනකුත් ලියලා තිබුනා. එය නම් කවිය - මේ සුන්දර කවිය අවියක් ලෙස පහත් අයුරින් යොදාගැනීමක්. ඒත් මා තුළ ඒ ගැන ඇත්තේ හුදු අනුකම්පාවක් පමණයි.




මට කියන්නට ඕනෑ වුණේ කවියේදී උපමා රූපක,සංකේත, ආදේශන, අලංකාර යොදාගැනීමේදී කවියන් නිතරම වරද්දාගන්න දෙයක්. එනම් පිළිගත් කාව්‍ය විචාර සිද්ධාන්තයන්ට අනුකූලව මෙකී උපමාරූපක, සංකේත, අලංකාර තුළින් ගම්‍යවන අර්ථය හා ව්‍යංගය මතුකරන " ඖචිත්‍යය " පිළිබඳ ගැටළුවයි.

නයෝමි යොදාගත් උපමා රූපකය විටෙක සාධාරණ යැයි සිතුනත් සැමවිටම එසේ නොවේ. මෙවැනි උපමාරූපක යොදාගැනීමෙන් කවියන් ඈත් විය යුතු බව විචාරකයින් නිතරම දරණ, පෙන්වා දෙන අදහසක්.

උක්ත කවියේ රාහුල හිමියන් සඳ හා සඳඑළිය යොදාගැනීම තුළ එවැනි පසු සැක සාංකාවන් , ප්‍රශ්න හා ගැටළු මතුකරන්නේ නෑ. "ලොව විහිදා එන සඳ එළියකින් - සැමටම එක හා සමානව ශාන්ත සෞම්‍ය සිසිලසක්, ශාන්තියක්, ලබාදෙන්නාක් මෙන්, සැමටම ස්වර්ග මෝක්ෂ සැප සම්පත් එක සමානව ලබා දෙන්නාක් මෙන් " යන උපමාරූපකය තුළින් බුදුන් හා බුදුන් දෙසූ සද්ධර්මය පිළිබඳව අප තුළ සැක සාංකා, ප්‍රශ්න හා ගැටළු පසුව ඇති නෙවෙයි. ඒ එම උපමාරූපකයේ ඖචිත්‍යය ප්‍රකට කරන ප්‍රබල සාධකයක්....




මං මගේ දැනුමට හා අත්දැකීම් වලට අනූකූලව දරණ ස්ථාවරයකුයි පැහැදිලි කලේ. චාල්ස් කාටර්ගෙ ශබ්දකෝෂයට වඩා වැදගත් වදන්කෝෂ මං කියවලා තිබෙනවා. අපේ කිවිඳිය මේ ශබ්දකෝෂයේ දැක්වෙන අර්ථකථනය හරිහැටි තේරුම් නොගත් බවකුයි මටනම් පේන්නේ. ඒ නිසා තමයි මං ලින්ක් දාන්නෙ නැතිව එයින් පැමිණි පිළිතුර හුවා දැක් වූයේ. මැදහත් සිත් ඇති , දැනුම සොයායන්නවුන්ට මගේ ප්‍රකාශය කිසියම් මඟපෙන්වීමක් හා අත්වැලක් වේවි. දිනෙක ඔවුන් මා වැරදි බව කියාවි. එවිට මා මේ විචාරයේ වරද පිළිගන්නම් දණ්ඩ නමස්කාර කරමින්. කවුරු කිව්වත්, පිළිගත්තත් නැතත්, අවසාන වශයෙන් මං නැවතත් කියන්නේ නයෝමිගේ මේ උපමා රූපකය ඖචිත්‍යය අතින් දුර්වල බවත් , එයින් බුද්ධ හා සද්ධර්ම ප්‍රතිරූපයන්ට යම් අසාධාරණයක් සිදුවන බවත්, ඒනිසාම කවිය අසාර්ථක බවත්ය.



දැන් මම සංවාදය නිමකරනවා.... නැවත මෙවන් සංවාදයකට මා එන්නෙත් නෑ. මන්ද, විචාරකයින් හා කවියන්, බුද්ධිමත් සංවාදයක් ඇරඹිය යුතු තැනදී නිද්‍රෝපගත බැවින්... සැමටම සුබ රාත්‍රියක් වේවා....




ආයෙත් මං මෙහෙම ලියමින් - සංවාදය නිමකළා



මෙය නයෝමි නැමැති සුන්දර කිවිඳිය කළ මහා විශාල වරදක් හා විනාශයක් හැටියට මා දකින්නේ නෑ.. එසේ කියන්නෙත් නෑ. මං නයෝමිව දඬුකඳක හිරකරන්න කරපු උත්සාහයක් නොවෙයි. කෙන්ඳ කන්ද කර දැක්වීමකුත් නෙවෙයි. කවුරු මොනවා හිතුවත්, කිව්වත්, කළත්, මා කලේ අවශ්‍ය තැනදී සුළු කරුණක් වුවත් විචාර නියමයන්ට අනුගතවී කිසියම් මඟ පෙන්වාදීමක් පමණයි...  මගේ දැනුමේ හා පිළිගත් බුද්ධිමය විචාර සිද්ධාන්තවලට අනූකූලව  විචාරයක් කිරීම පමණයි. සංවාදයකට දොරටු විවර කිරීමක් පමණයි...



නයොමිට කිවිඳියක් ලෙස හොඳ අනාගතයක් තිබෙන කෙනෙක්. ඇගේ හොඳ මෙන්ම අඩුපාඩු පෙන්වා දීම මගේ යුතුකමක්  වගකීමක් ලෙස පෙනුනු නිසයි මේ සා උත්සාහයක යෙදුනේ. ඒ ගැන කිසිවෙක් අමණාප විය යුතු නොවේ. නයොමිගේ මෙන්ම සියලු කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ දිවිය සාර්ථක පැහැබර එකක් වේවා යන්න මගේ පැතුමයි....
නැවතත් සියලු දෙනාටම ආයුබෝවන්....

මතු මතුත් මගේම දැනුම හා අධ්‍යයනය සඳහා මෙසේ සටහන් කර, සංරක්ෂණය කර තබම්හ.!!!!



විපුල - සුමන - සේකර


Wednesday, February 1, 2012

ප්‍රසන්න ගාමිණී ගේ
                    අම්බපාලී හා චිංචිමානවිකා වස්තුව


අපූරු සඳසක් බව සැබෑය. මා මෙය කලින් දුටුවද කිසිදු අදහසක් නොකියා ටිකක් බලා හිටියා. පසුව බලන විට කවිය (මා දන්න රසවින්ඳනය පරිදි ) රස විඳීමේ උත්සාහයේදී බොහෝ අය ගෙන ඇත්තේ මතු පිටින් දැක්වෙන සරල අදහස, රිද්මය, විරිත මිස කවියේ ගැබ්වෙන හරය, යථාර්ථය, දිවිනිථාර්ථ - ව්‍යංගාර්ථ, විනිවිද දකිමින්, කවියේ ඇතුලාන්තයට පිවිසි බවක් මට නොහැඟේ. එසේ ඇතුලාන්තය විනිවිද දැකිය නොහැකි කල්හි කවියකින් අප ලබන ආනන්දය ඉන් ඔබ්බට ප්‍රඥාවක් ලෙසින් නොවිහිදෙයි නම්, හුදෙක් කවියක මට සිලිටු පද, විරිත ආදියෙන් පමණක් අපට සෑහිමට පත්විය හැකිද?













අස්ථාන සැකයක් නිසා  ආදරවන්තිය හෝ බිරිඳ විශාඛාවක් නොවී, අම්බපාලියක් වීම නිසා ඈ කෙරේ හදවත බිඳගත් බවක් පවසන කවියා එසේවන්නට හේතු ඇගෙන් විමසයි. ඔහුට ඇය ගැන නිසි අවබෝධයක් නොතිබුන බව ඉන් හැඟෙයි. අවසානයේ කියන්නේ චිංචි  මානවිකාවක් වී නොපැමිණෙන ලෙසයි.
මෙහිදී ප්‍රශ්න හා ගැටළු සමූහයක් මතුවෙයි.

එයින් ව්‍යංගයෙන් කියන්නේ ඇය සැබවින්ම ගැබිණියක් වී පැමිණියහොත් දරුවාද සමඟ භාරගන්නවා කියන එකද?

මේ කියන්නේ මට අවමන් කිරීමට බොරු බඩක් දමාගෙන එන්න එපා කියන එකද?

ඇය ගොස් ඇත්තේ තමන්ගේ කුසෙන් දරුවෙක් බිහිකරගැණීමට, පර පුරුෂයින් ලවා එය සිදුකර ගැණීමේ චේතනාවෙන්ද?

මෙකී පුරුෂයා කාන්තාවට පෙම්වතියක්, බිරිඳක් ලෙස මැනවින් සැලකුවාද?


ඇයි ඇය වෘත්තීය මට්ටමේ අම්බපාලියක් වූයේ ?
කරුමෙටද? බලපෑමකටද? මුදල් සෙවීමේ අරමුණටද?
නැත්නම් නිකංම නිකංද?

කිසිදු හේතුථල සබඳතාවක් නොමැතිව මනුෂ්‍යයෝ මෙවැනි තත්වයන්ට පත් වේද? එවැන්නක් පිළිගන්නද කවියා අපිට කියන්නේ ?


මා මේ නඟන්නේ බොරු ප්‍රශ්න නොවේ.මන්ද අප දන්නා චිංචිමානවිකාවිය ආවේනම් බොරු බඩක් දමාගෙන බුදුන්ට අවමන් කිරීමටය. අම්බපාලිය යනු රාජ්‍ය අනුග්‍රහය ලැබූ වෘත්තීය මට්ටමේ ගණිකාවකි. ඇය සමාජයේ අවමානයට ලක්වූ කාන්තාවක නොවේ.

මෙහිදී මේ කාන්තාවට අම්බපාලිය හා චිංචිමානවිකාව ආදේශ කිරීම තුළ, කිසියම් නොගැලපීමක්, නුසුදුසු බවක් මට පෙනෙයි. අපේ සැබෑ අතීත කතා, ජාතක කතා, ජනකතා, බුදු සිරිතේ හා වංශ කතාවල කතා හා ඒ චරිතයන් ආවාට ගියාට ආදේශ කිරීමට යාමෙන් මහත් අවුල් සෑදෙයි. මේ ආදේශ චරිත කතා හා ඒ ඒ චරිතවල ස්වභාවයන් අමතක කොට අයෙකුට මට සිලිටු වදන් වලින් හා විරිතෙන් රිද්මයෙන් පමණක්ද සෑහීමකට පත්විය හැකිය. මට නම් එසේ කළ නොහැකිය.

සංකීර්ණ චරිත විවරණ කවියේදී හෝ කවර කලාවකදී හෝ පහසුවෙන් කල නොහැකිය. සංකීර්ණ චරිත සැබවින්ම සියලුම කවීන්ට අභියෝගයකි. කවීන් මේ අභියෝගය ජයගත යුත්තේ කවි නිමිත්තේ ස්වභාවය, හරය, යථාර්ථය තුළින් ජීවිතය විනිවිද දැක, කවියේ සීමාවන් හඳුනාගෙන, කවියේ කලාත්මක භාවය රැකගෙන, ඉදිරිපත්කිරීමේ මෙවලම්වන වදන්, උපමාරූපක, සංකේත, අලංකාර තුළින්, ව්‍යංගාර්ථ තුළින්,ද්විනිතාර්ථයන් තුළින් අවසානයේ මැදහත්ව, සමතුළිත බවකින් යුතුව, අප හිත් තුළ ඇති කරන කම්පනය හරහාය.

එසේ නොවන කල්හි, ඔබ ඔබගේ කවිය තුළින් නිරූපණය කරන පාත්‍රවර්ගයාට බලවත් අසාධාරණයක් සිදු කරයි. මෙහිදී මෙකී කාන්තාවට ඒ සියලු අසාධාරණයන් සිදුවී ඇති බවක් මට පෙනෙන අතරම කවිය කියන පුද්ගලයා ජීවිතයේ හසරක් තේරුම්ගත නොහී හුදෙක් අනුකම්පාව අයදින පුද්ගලයෙකු බවට පත්වෙන බවක් මට හැඟෙයි. ඒ නිසා ප්‍රසන්නගේ මේ පැදි පෙල කියවීමෙන් ලබන ආනන්දයෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට මගේ ‘‘බොළඳ” සිත ඉඩ නොදෙයි.