අම්බපාලී හා චිංචිමානවිකා වස්තුව
අපූරු සඳසක් බව සැබෑය. මා මෙය කලින් දුටුවද කිසිදු අදහසක් නොකියා ටිකක් බලා හිටියා. පසුව බලන විට කවිය (මා දන්න රසවින්ඳනය පරිදි ) රස විඳීමේ උත්සාහයේදී බොහෝ අය ගෙන ඇත්තේ මතු පිටින් දැක්වෙන සරල අදහස, රිද්මය, විරිත මිස කවියේ ගැබ්වෙන හරය, යථාර්ථය, දිවිනිථාර්ථ - ව්‍යංගාර්ථ, විනිවිද දකිමින්, කවියේ ඇතුලාන්තයට පිවිසි බවක් මට නොහැඟේ. එසේ ඇතුලාන්තය විනිවිද දැකිය නොහැකි කල්හි කවියකින් අප ලබන ආනන්දය ඉන් ඔබ්බට ප්‍රඥාවක් ලෙසින් නොවිහිදෙයි නම්, හුදෙක් කවියක මට සිලිටු පද, විරිත ආදියෙන් පමණක් අපට සෑහිමට පත්විය හැකිද?

අස්ථාන සැකයක් නිසා ආදරවන්තිය හෝ බිරිඳ විශාඛාවක් නොවී, අම්බපාලියක් වීම නිසා ඈ කෙරේ හදවත බිඳගත් බවක් පවසන කවියා එසේවන්නට හේතු ඇගෙන් විමසයි. ඔහුට ඇය ගැන නිසි අවබෝධයක් නොතිබුන බව ඉන් හැඟෙයි. අවසානයේ කියන්නේ චිංචි මානවිකාවක් වී නොපැමිණෙන ලෙසයි.
මෙහිදී ප්‍රශ්න හා ගැටළු සමූහයක් මතුවෙයි.
එයින් ව්‍යංගයෙන් කියන්නේ ඇය සැබවින්ම ගැබිණියක් වී පැමිණියහොත් දරුවාද සමඟ භාරගන්නවා කියන එකද?
මේ කියන්නේ මට අවමන් කිරීමට බොරු බඩක් දමාගෙන එන්න එපා කියන එකද?
ඇය ගොස් ඇත්තේ තමන්ගේ කුසෙන් දරුවෙක් බිහිකරගැණීමට, පර පුරුෂයින් ලවා එය සිදුකර ගැණීමේ චේතනාවෙන්ද?
මෙකී පුරුෂයා කාන්තාවට පෙම්වතියක්, බිරිඳක් ලෙස මැනවින් සැලකුවාද?
ඇයි ඇය වෘත්තීය මට්ටමේ අම්බපාලියක් වූයේ ?
කරුමෙටද? බලපෑමකටද? මුදල් සෙවීමේ අරමුණටද?
නැත්නම් නිකංම නිකංද?
කිසිදු හේතුථල සබඳතාවක් නොමැතිව මනුෂ්‍යයෝ මෙවැනි තත්වයන්ට පත් වේද? එවැන්නක් පිළිගන්නද කවියා අපිට කියන්නේ ?
මා මේ නඟන්නේ බොරු ප්‍රශ්න නොවේ.මන්ද අප දන්නා චිංචිමානවිකාවිය ආවේනම් බොරු බඩක් දමාගෙන බුදුන්ට අවමන් කිරීමටය. අම්බපාලිය යනු රාජ්‍ය අනුග්‍රහය ලැබූ වෘත්තීය මට්ටමේ ගණිකාවකි. ඇය සමාජයේ අවමානයට ලක්වූ කාන්තාවක නොවේ.
මෙහිදී මේ කාන්තාවට අම්බපාලිය හා චිංචිමානවිකාව ආදේශ කිරීම තුළ, කිසියම් නොගැලපීමක්, නුසුදුසු බවක් මට පෙනෙයි. අපේ සැබෑ අතීත කතා, ජාතක කතා, ජනකතා, බුදු සිරිතේ හා වංශ කතාවල කතා හා ඒ චරිතයන් ආවාට ගියාට ආදේශ කිරීමට යාමෙන් මහත් අවුල් සෑදෙයි. මේ ආදේශ චරිත කතා හා ඒ ඒ චරිතවල ස්වභාවයන් අමතක කොට අයෙකුට මට සිලිටු වදන් වලින් හා විරිතෙන් රිද්මයෙන් පමණක්ද සෑහීමකට පත්විය හැකිය. මට නම් එසේ කළ නොහැකිය.
සංකීර්ණ චරිත විවරණ කවියේදී හෝ කවර කලාවකදී හෝ පහසුවෙන් කල නොහැකිය. සංකීර්ණ චරිත සැබවින්ම සියලුම කවීන්ට අභියෝගයකි. කවීන් මේ අභියෝගය ජයගත යුත්තේ කවි නිමිත්තේ ස්වභාවය, හරය, යථාර්ථය තුළින් ජීවිතය විනිවිද දැක, කවියේ සීමාවන් හඳුනාගෙන, කවියේ කලාත්මක භාවය රැකගෙන, ඉදිරිපත්කිරීමේ මෙවලම්වන වදන්, උපමාරූපක, සංකේත, අලංකාර තුළින්, ව්‍යංගාර්ථ තුළින්,ද්විනිතාර්ථයන් තුළින් අවසානයේ මැදහත්ව, සමතුළිත බවකින් යුතුව, අප හිත් තුළ ඇති කරන කම්පනය හරහාය.
එසේ නොවන කල්හි, ඔබ ඔබගේ කවිය තුළින් නිරූපණය කරන පාත්‍රවර්ගයාට බලවත් අසාධාරණයක් සිදු කරයි. මෙහිදී මෙකී කාන්තාවට ඒ සියලු අසාධාරණයන් සිදුවී ඇති බවක් මට පෙනෙන අතරම කවිය කියන පුද්ගලයා ජීවිතයේ හසරක් තේරුම්ගත නොහී හුදෙක් අනුකම්පාව අයදින පුද්ගලයෙකු බවට පත්වෙන බවක් මට හැඟෙයි. ඒ නිසා ප්‍රසන්නගේ මේ පැදි පෙල කියවීමෙන් ලබන ආනන්දයෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට මගේ ‘‘බොළඳ” සිත ඉඩ නොදෙයි.





ඉතාම සරල වචන භාවිතා කළ නිමැවුමේ මා සිතූ අර්ථය ලඝුකොට කීමට සිතුනේ සැමදාම මගේ නිර්මාණ වල අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් මා දිරිමත් කළ ඉන්ද්‍රනාථ මහතාට මෙම නිර්මාණය තුළින් වෙනත් අදහසක් මතු වී පෙනුණු බැවිනි! සැබවින්ම විපුල මහතා පවසන පරිදි එය නැවුම් නිර්මාණයකට වස්තුබීජයකි!
තම මනසින් නිර්මාණය රස විදි ඔබ සැමට අපහසුතාවයක් වන්‍නේ නම් සමාව අයදිමි!
සෑම පිරිමියෙක්ම තම ජීවිතයේත් සසර පුරාවටත් සහකාරිය ලෙසින් පතන්‍නේ හැම දුක් ගැහැටක්ම සැමියා , දරුවන් පවුල , පරම්පරාව වෙනුවෙන් ඉවසා දරාගන්නා යසෝදරාවක්! මා වස්තු බීජය කොටගත් මේ සැමියාටත් ලැබුනේ යසෝදරාවක් නොවේ...
ගැහැනියක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්‍නේ සෙවණක් , සරණක්,
"සසර පුරා ඔබ නොවුනත් කිසි දින යසෝදරා
දිවිය පුරා මම සෙවනක් වෙන්නම් තැවුල් දරා"
තමන්ට නුසුදුසු සහකාරියක් වුවත් හැම තැවුලක්ම දරාගන එයා සෙවණක් වෙන්න හිතනවා
"පැතුම් පුරා ගිහි මැදුරක් තැනුවත් ඔබව දිනා...
පියුම් වරා මුලු ජීවිත උයනම මිලින වුණා"
කාලයක් ආදරයෙන් බැඳී සිට ඒ සොඳුරු සිහිනයන් සැබෑ කොට ගෙන ඈ හා විවාහ වන සැමියා ගිහි දිවියේ මාලිගාවක් ගොඩ නගනවා! නමුත් ඒ මාලිගයේ මල් පිපුණේ නෑ... ඒ කියන්නේ ඔහු පැතු සතුට , සෙනෙහස, ආදරය , ඔහු වෙනුවෙන් කැප කිරීම් කිසිවක් ඔහුට බිරිඳගෙන් ලැබුනෙ නෑ. ජීවන උයනේ මල් සුවඳක් ඔහුට විඳින්න බැරි වුණා....
"දකිමින් නෙක පෙර නිමිති මගේ කැණි මඩල අරා"
කැණි මඩල කියන්නේ නිවසක , ගොඩනැගිල්ලක මුදුන් පරාල එකතු වන තැන. එතන තමයි මුලු වහලයම දරාගන ඉන්නෙ. (බුදු හාමුදුරුවෝ කැණිමඩල තණ්හාවට උපමා කළා. මම බවය නැමැති ගෙයහි තණ්හාව නැමැති කැණි මඩල සිඳ දැමුවෙම්! දැන් නැවත ඉපදීමක් නැත)
විවාහ දිවියක පැවැත්ම රඳා පවතින කැණි මඩල කඩා වැටෙන හැම සිද්ධියක්ම වුණා! එවා සිදුහත් බෝසතානන්ට ගිහිගෙය හැර යාමට හේතු වූ සතර පෙර නිමිති වගේ
"රහසින් පැතුවා සැඟවෙන්නට පුන් සඳට හොරා"
සිදුහත් සඳ පායා තිබූ රාත්‍රියක යසෝදරා හැර ගියා... ඒ කියන් නේ ඔහු ඈ හැර ගිය බව මේ ලෝකයේ කව්රුහරි දන්නවා..
නමුත් මේ සැමියට ඔන වුනේ විවාහය එහෙන්මම තියාගන සැමට හොරෙන් ඇගෙන් දුරස් වී ගොස් කොහේ හෝ සැඟවෙන්න! එකයි සඳ නැති දවසක ඈව හැරයනවා කියලා මම ලියුවේ..
"රාහුල වෙත බැඳි පියෙකුගෙ සෙනෙහස සයුර වුණා
කාහල නැගු සිත මාලිගෙ නවතිමි සපත වුණා"
ඒත් තම පුතු නිසා ඔහු ඒ සියලු ආත්මාර්ථකාමී අදහස් උඩු සුළඟෙ ගසා යන්නට ඉඩ දෙනවා! පිය සෙනෙහස සයුරක් වගේ..
පුතා නිසා එයාගේ සිතට දැනෙන්‍නෙ පුදුම සතුටක් , ආඩම්බරයක් ! කාහල නාදය එහි උපරිමය! එයා මේ ගිහි කුටුම්බයේ සියලු දුක් වේදනාවන් දරාගන නවතිනවා කියලා තම සිතට සපථ කර ගන්නවා!!
සැබැවින්ම මෙය සැබෑ සිදුවීමක්! නමුත් නිර්මානයේ අවසානයසේ ඒ පියා ශ්‍රේෂ්ට පියෙක්ද කියන්න මම දන් නෙ නෑ. මම නිර්මාණයෙන් ඔහු ශ්‍රේෂ්ට කළා.
මෙයට මා එළිවැට , එළිසමට සම කළ සඳැස් දෙපද විරිතක් භාවිතා කොට තිබෙනවා.