Translate

Wednesday, February 1, 2012

ප්‍රසන්න ගාමිණී ගේ
                    අම්බපාලී හා චිංචිමානවිකා වස්තුව


අපූරු සඳසක් බව සැබෑය. මා මෙය කලින් දුටුවද කිසිදු අදහසක් නොකියා ටිකක් බලා හිටියා. පසුව බලන විට කවිය (මා දන්න රසවින්ඳනය පරිදි ) රස විඳීමේ උත්සාහයේදී බොහෝ අය ගෙන ඇත්තේ මතු පිටින් දැක්වෙන සරල අදහස, රිද්මය, විරිත මිස කවියේ ගැබ්වෙන හරය, යථාර්ථය, දිවිනිථාර්ථ - ව්‍යංගාර්ථ, විනිවිද දකිමින්, කවියේ ඇතුලාන්තයට පිවිසි බවක් මට නොහැඟේ. එසේ ඇතුලාන්තය විනිවිද දැකිය නොහැකි කල්හි කවියකින් අප ලබන ආනන්දය ඉන් ඔබ්බට ප්‍රඥාවක් ලෙසින් නොවිහිදෙයි නම්, හුදෙක් කවියක මට සිලිටු පද, විරිත ආදියෙන් පමණක් අපට සෑහිමට පත්විය හැකිද?













අස්ථාන සැකයක් නිසා  ආදරවන්තිය හෝ බිරිඳ විශාඛාවක් නොවී, අම්බපාලියක් වීම නිසා ඈ කෙරේ හදවත බිඳගත් බවක් පවසන කවියා එසේවන්නට හේතු ඇගෙන් විමසයි. ඔහුට ඇය ගැන නිසි අවබෝධයක් නොතිබුන බව ඉන් හැඟෙයි. අවසානයේ කියන්නේ චිංචි  මානවිකාවක් වී නොපැමිණෙන ලෙසයි.
මෙහිදී ප්‍රශ්න හා ගැටළු සමූහයක් මතුවෙයි.

එයින් ව්‍යංගයෙන් කියන්නේ ඇය සැබවින්ම ගැබිණියක් වී පැමිණියහොත් දරුවාද සමඟ භාරගන්නවා කියන එකද?

මේ කියන්නේ මට අවමන් කිරීමට බොරු බඩක් දමාගෙන එන්න එපා කියන එකද?

ඇය ගොස් ඇත්තේ තමන්ගේ කුසෙන් දරුවෙක් බිහිකරගැණීමට, පර පුරුෂයින් ලවා එය සිදුකර ගැණීමේ චේතනාවෙන්ද?

මෙකී පුරුෂයා කාන්තාවට පෙම්වතියක්, බිරිඳක් ලෙස මැනවින් සැලකුවාද?


ඇයි ඇය වෘත්තීය මට්ටමේ අම්බපාලියක් වූයේ ?
කරුමෙටද? බලපෑමකටද? මුදල් සෙවීමේ අරමුණටද?
නැත්නම් නිකංම නිකංද?

කිසිදු හේතුථල සබඳතාවක් නොමැතිව මනුෂ්‍යයෝ මෙවැනි තත්වයන්ට පත් වේද? එවැන්නක් පිළිගන්නද කවියා අපිට කියන්නේ ?


මා මේ නඟන්නේ බොරු ප්‍රශ්න නොවේ.මන්ද අප දන්නා චිංචිමානවිකාවිය ආවේනම් බොරු බඩක් දමාගෙන බුදුන්ට අවමන් කිරීමටය. අම්බපාලිය යනු රාජ්‍ය අනුග්‍රහය ලැබූ වෘත්තීය මට්ටමේ ගණිකාවකි. ඇය සමාජයේ අවමානයට ලක්වූ කාන්තාවක නොවේ.

මෙහිදී මේ කාන්තාවට අම්බපාලිය හා චිංචිමානවිකාව ආදේශ කිරීම තුළ, කිසියම් නොගැලපීමක්, නුසුදුසු බවක් මට පෙනෙයි. අපේ සැබෑ අතීත කතා, ජාතක කතා, ජනකතා, බුදු සිරිතේ හා වංශ කතාවල කතා හා ඒ චරිතයන් ආවාට ගියාට ආදේශ කිරීමට යාමෙන් මහත් අවුල් සෑදෙයි. මේ ආදේශ චරිත කතා හා ඒ ඒ චරිතවල ස්වභාවයන් අමතක කොට අයෙකුට මට සිලිටු වදන් වලින් හා විරිතෙන් රිද්මයෙන් පමණක්ද සෑහීමකට පත්විය හැකිය. මට නම් එසේ කළ නොහැකිය.

සංකීර්ණ චරිත විවරණ කවියේදී හෝ කවර කලාවකදී හෝ පහසුවෙන් කල නොහැකිය. සංකීර්ණ චරිත සැබවින්ම සියලුම කවීන්ට අභියෝගයකි. කවීන් මේ අභියෝගය ජයගත යුත්තේ කවි නිමිත්තේ ස්වභාවය, හරය, යථාර්ථය තුළින් ජීවිතය විනිවිද දැක, කවියේ සීමාවන් හඳුනාගෙන, කවියේ කලාත්මක භාවය රැකගෙන, ඉදිරිපත්කිරීමේ මෙවලම්වන වදන්, උපමාරූපක, සංකේත, අලංකාර තුළින්, ව්‍යංගාර්ථ තුළින්,ද්විනිතාර්ථයන් තුළින් අවසානයේ මැදහත්ව, සමතුළිත බවකින් යුතුව, අප හිත් තුළ ඇති කරන කම්පනය හරහාය.

එසේ නොවන කල්හි, ඔබ ඔබගේ කවිය තුළින් නිරූපණය කරන පාත්‍රවර්ගයාට බලවත් අසාධාරණයක් සිදු කරයි. මෙහිදී මෙකී කාන්තාවට ඒ සියලු අසාධාරණයන් සිදුවී ඇති බවක් මට පෙනෙන අතරම කවිය කියන පුද්ගලයා ජීවිතයේ හසරක් තේරුම්ගත නොහී හුදෙක් අනුකම්පාව අයදින පුද්ගලයෙකු බවට පත්වෙන බවක් මට හැඟෙයි. ඒ නිසා ප්‍රසන්නගේ මේ පැදි පෙල කියවීමෙන් ලබන ආනන්දයෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට මගේ ‘‘බොළඳ” සිත ඉඩ නොදෙයි.

Wednesday, January 18, 2012

මගේ සිතිවිලි: අනුරාධාගේ හා නයෝමිගේ පැදි

මගේ සිතිවිලි: අනුරාධාගේ හා නයෝමිගේ පැදි: විවාහයේ විඳවන අඹුසැමියෝ ආදරයෙන් බැඳී, විවාමයෙන් එක්වී, දරුවන් ලැබී, පසුව පැමිණෙනා අතොරක් නැති ප්‍රශ්න හමුවේ මෙලෙස හැසිරෙන ස්වාමි පුරුෂයි...

අනුරාධාගේ හා නයෝමිගේ පැදි

විවාහයේ විඳවන අඹුසැමියෝ


ආදරයෙන් බැඳී, විවාමයෙන් එක්වී, දරුවන් ලැබී, පසුව පැමිණෙනා අතොරක් නැති ප්‍රශ්න හමුවේ මෙලෙස හැසිරෙන ස්වාමි පුරුෂයින් අබිමුවේ පසුතැවෙන මෙවන් බිරියන් මේ ආසියාතික රටවල සුලභයි.

අනුරාධා මේ වස්තු බීජය කවි නිමිත්තක් බවට පත් කරගෙන සුමට වදන් තුළින් මවනා පදවැල මේ දුක්බර ව්‍යවසනය ඉතාම සංවේදීව අපේ සිත් තුළට කිඳා බස්සවයි. එයයි කවි සිතක, දැක්මක අරුමය.
හරිම විචිත්‍රයි. සංවේදනාවන් රැසක් දනවයි හදවත් කම්පාකරමින්.





‎'
පැයකට විතර ඉස්සර මං Anuradha Manohari Perera  අනුරාධාගේ පදවැලක් කියවා අදහස් දැක්වූවා මේ පැදි පෙළට ප්‍රතිවිරුද්ධ කෝණයකින් ලියැවුනු. ඒ තරු කැකුළු පිරිවරා, අතීතයේ සිටි පෙම්වතා සොයමින් පසුතැවෙන, දුක් විඳින මවක් ගැන.

නයෝමිගේ කවිය ලියවෙන්නේ
යසෝදරාවක් නොවුනු බිරිඳකගෙන් වෙන්වී ජීවිතයෙන් පලායෑමට සිතා සිටි සැමියෙක් රාහුලයෙකු නිසා කවර දුකක් විඳගෙන හෝ යළි විවාහය තුළ රැඳෙන බව සපථ කරමින්. මෙයද අපට ආවේනික ආසියානු ජනජීවිතයේ සුලභ අත්දැකීමක්.

මෙළෙස වෙන් නොවී, දරුවන් වෙනුවෙන් සිතා මුළු ජීවිතම ගෙවන මව්වරු හා පියවරු මේ සමාජයේ සුලභයි. නයෝමිගේ හා අනුරාධාගේ මේ පැදි ඔවුන්ට උපහාරයක්.

මෙය විචිත්‍ර පදවැලක්. නයෝමි සිය සුපුරුදු සඳැස් ආරට ගියා නම් පාඨකයා හඬවන සුළු පැදියක් වන්නට තිබුනා. එනමුදු ඇගේ චිත්තරූප මවන උපමා රූපක අලංකාර සංකේත හරිම තාත්විකයි. පියුම් වරා මිලින වුණු ජීවිත උයන- සඳ පෙනෙන කැණිමඬළ - ‘සඳට‘ හොරා දිවියෙන් සැඟවෙන්නට හදන සැමියා. කැණිමඬලෙන් සඳ දැකීමම අපට මේ අඹුසැමි යුවළගේ විවාහයේ හා ගෘහ ආර්ථිකයේ තරම ඉතාමත් යථාර්ථවාදීව සිතුවම් කරනවා. අපිට හිතන්නට, මවාගන්නට බොහෝ දේ මෙහි ඉතිරි කරලා. බොහෝ දෑ නොකියා කියන්නට නයෝමි සමත් වෙනවා. 
කවියක හා කවියෙකුගේ ව්‍යංගය හා සබැඳුනු ප්‍රබල උපමා රූපක අලංකාර හා සංකේත අපේ හිත් තුළට කතා කරන හොඳ අවස්ථාවක් මේය. වේදනාත්මක හැඟීම් හා සංවේදනාවන් අපූරුවට දනවන පදවැලක්.
විපුල සුමනසේකර 

( පහතින් පලවන්නේ මගේ මිතුරු ඉන්ද්‍රනාථයන්ගේ කමෙන්ටුව හා මා ඊට දුන් පිළිතුරයි. එය පාඨක ඔබේ පහසුව හා දැනුම අවබෝධය පිණිස වැදගත් නිසා මෙසේ අලවමි.)


Indranatha Thenuwara
නයෝමිගෙ කවිය දෙතුන් වරක් ම කියෙව්ව. කවිය වගේ ම විචිත්‍ර කවියක් වූ අපේ විපුලගෙ කොමෙන්ටුවත් කියෙව්ව.
නමුත් මගේ හිතේ මැවුනෙ ඊට වෙනස් චිත්‍රයක්. දරුවකු ද සමග තනිවුණු ගැහැණියකට පෙම් බඳින පරාර්ථකාමී පිරිමියකුගේ ආත්මාලාපයක් තමයි මට දැනුනෙ...
ආයෙත් විපුලට අනුව හිතුව. ඒකත් හරි තමයි. දරුවන් නිසාවෙන් අතහැරිය නොහෙන බොහෝ දේ ගැන, බොහෝ දෙනෙකුන්ගේ අත්දැකීම් සම්භාරයක් ඇති නිසා ම, තැවෙන ගැහැණුන් සහ පිරිමින් දෙකොට්ඨාශයේ ම ශෝකාලාපයන් අහල තිබුණත්, මේ කවියෙන් මට ඒක දැණුනෙ නැහැ.


මිත්‍රයා Indranatha Thenuwara , ඔබ නිවැරදිවන්නට පුලුවන් මිත්‍රයා. නමුත් එකිනෙක පද ගත්තාම මට හැඟුනේ ඒ විදියට.

දෙවෙනි පදේ ''පැතුම් පුරා ගිහි මැදුරක් තැනුවත් ඔබව දිනා'' යන්නෙන් මට හැඟුනේ බොහෝ ආදරෙන් සිට විවාහ වුනා කියන හැඟීම. ඊට පස්සේ ජීවිත උයනේ මල් ඔක්කොම පරවෙලා ගිහිං, මේ නම් යසෝදරාවක් නෙවෙයි කියලා හිතන කොට පමාවෙලා. අන්තිමට වහලේ සිදුරු අතරින් හඳ පේන්න පටන් අරන්. එතකොට දැන් ගෘහ ජීවිතේ තරම හිතාගන්න පුලුවන්නේ.

මට මෙතන විචිත්‍ර යෙදුමක් ඔය ''දකිමින් නෙක පෙර නිමිති මගේ කැණිමඬළ අරා - රහසින් පැතුවා සැඟවෙන්නට පුන් සඳට හොරා...'' කියන එක. මේක ඕනෑ විදියට හිතෙන් මවාගෙන අර්ථ දක්වන්න පුලුවන් තම තමන්ගේ අත්දැකීම් අනුව. වහලේ හිල් හඳ පේන තරමට. ඒවා හැදුනේ වහල හෙලවෙන්න, උළු විසික්කාවෙන්න දෙන්නා දෙමල්ලෝ අල්ලපු වලි හින්දා. (ඇත්තමට එහෙම වෙන අවස්ථා තියෙනවා)
තමන්ට නතු නොවෙන, තමන්ට ඉහළින් සිටින බිරින්දෑවරුන්, ඔවුන්ගෙන් සැඟවෙන්න වෙර දරන, විවාහයෙන් ඉවත්වෙන සැමියන් කොතෙක් ඉන්නවාද?  අනුරාධාගේ කවියත් එවැන්නක්. ඒත් ඊට වඩා නාට්‍යම සිදුවීමක් මෙහි තිබෙනවා.

මට නං මෙය කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න කියාපු ඉතාම මානුෂික, නාට්‍යම සංසිද්ධියක්. (කොහේ හදන්න සල්ලියක්ද? මේ හදාපු එකවත් විකුණගන්න බෑ සත්පුරුෂයෝ සහ සත්පුරුෂ ක්‍රමය තුළ)

මං මෙහි කලින් සඳහන් නොකලාට අවසාන පදය නම් කවියට නැතිවාට කමක් නෑ. මට නම් එය නිකං සක්ක පදයක් ගානයි.

''ඔබ යසෝදරාවක් නොවුනත්, සියලුම සිත්තැවුල් දරාගෙන සෙවනක් වෙන්නම් කියලා පටන් අරන්, අන්තිමට රාහුලට බැඳි පිය සෙනෙහස මහා සයුරක් වුනා'' කිව්වාම මට නම් කවිය ඉවරයි.

රාහුල උපන් දා යන්තම් බලලා මාළිගාවෙන් පිටමං වුන සිදුහත් කුමාරයාට වඩා මේ පියා ශ්‍රේෂට පියෙක්...  මන්ද, ඔහු සියලුම දුක්, බිරින්දෑ නිසා එන අවුල් වියවුල්, තමුන්ගේ ආර්ථික ප්‍රශ්න යන මේ හැම දෙයක්කම තම දරු ''රාහුල'' නිසා උහුලාගෙන ඉන්නවා, ඔහුට -
දරුවට පියෙක් ඕනේ නිසා. ඒ නිසයි ඔහු ගිහිගෙයින් නික්මයාම අත්හරින්නේ.

ඔබ කියන කෝණය ඇත්තෙන්ම නයෝමිට හා අනුරාධාට අලුත් නිර්මාණයකට අතවනන්නක්. ඒ අත්දැකීමත් මට ඉතාම සම්බන්ධයි.


Ranjith Gamage

ලස්සනයි අනුරාධා..වෙනදා වගේම ඔබේ නිර්මාණය අදත් ලස්සනයි..
අපිට දැනෙන වටපිටාව සුන්දර නොවනමුත් ඒක ඔබ ඔබේ නිර්මාණයට තෝරගෙන...
විපුල මහත්මයාගේ කොමෙන්ටුවේ තිබුණා 'අතොරක් නැති ප්‍රශ්න හමුවේ මෙලෙස හැසිරෙන ස්වාමි පුරුෂයින් අබිමුවේ පසුතැවෙන මෙවන් බිරියන් මේ ආසියාතික රටවල සුලභයි.'කියලා.. '---මෙවන් බිරියන් "මේ ලෝකයේ" සුළභයි නොවී, මෙවන් බිරියන් "ආසියාතික" රටවල සුළභයි යන්න විපුල මහත්මයා යොදා තිබීම ගැන අපේ කාන්තා පරපුර.., විශේෂයෙන්ම තරුණ කාන්තා පරපුර ටිකක් ගැඹුරින් සිතා බැලුවොත් හොඳයි කියල මම අදහසක් හැටියට කියන්නට කැමතියි....විපුල මහත්තයා ඒ ගැන බොහෝ දේවල් දන්න හින්ද තමයි ඔය වගේ ලියලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ..
සුදුජාතිකයන් වගේම කළු ජාතිකයනුත් බොහොම ලඟින් ඇසුරුකරන්නට මටත් මගේ ජීවිතයේ අවස්ථාව ලැබුණා,සමහර සමහර රටවල්වලදී..විශේෂයෙන්ම කාන්තාව බොහෝම ස්වාධීනව පිරිමියාගේ ප්‍රතිචාරය මොන මට්ටමේ වුවත් තමන්ගේ ජීවිතය තනිව හෝ දරුමල්ලන් සමඟ හෝ බොහෝම ක්‍රමවත්ව සතුටින් පවත්වාගෙන යන හැටි අපිට ඒ අය ඇසුරු කරද්දී දැනගන්නට ලැබුණා..මේ ගැන සුභවාදීව පමණක් කතාකල නොහැකි වනවා සේම පැති කීපයක්..විශාල වපසරියක් ඇති මාතෘකාවක් නිසා මේක ඒකට අවස්ථාව නොවේ..ඒත් සමස්තයක් ලෙස ආසියාතික කාන්තාව විඳින දුක් ගැහැට අනෙකුත් රටවල කාන්තාවන් නොවිඳින බව පමණක් මම ඒ රටවලදී අත්දැක්කා..ඔබ සිතන්නට පුළුවන් ධනවත්බව නිසාම එවැනි ප්‍රතිලාභයක් ඔවුන් භුක්ති විඳිනවා නේද කියා..ඒකත් ප්‍රධාන හේතුවක් බව ඇත්ත..ඒත් ඒක එකම හේතුව නොවේ..සාමාන්‍ය ජීවිතයක් ,රැකියාවක් කරන කාන්තාව..ආසියාතික ධනවත් කාන්තාවකට වඩා කායිකව මානසිකව සමාජ සහසම්බන්ධතාවය එකතුකරගෙන බොහොම ඉදිරියෙන් යමින් සිටිනවා...යහමින් මිළ මුදල් තිබුනොත් සැපවත් ජීවිතයක් යන්න ප්‍රාර්ථනා කරන ආසියාතික ගැහැණිය කරවටක් රන් රිදී එක්ක තාමත් පිරිමියාගේ අඩම්තේට්ටම් ජීවිතයේ සැපයක් කියල හිතාගෙන ගොනා පසුපස යන ගැල වගේ ඔහේ යනවා...හැමෝටම හිතන්නට.වෙනස්කරගන්නට. ලබන්නට ..සතුකරගන්නට බොහෝ දෑ තිබෙන බව පමණක් කෙටියෙන්ම කිව යුතුව තිබේ..xx

මා දුන් පිළිතුර

වරදවා වටහාගත යුතු නෑ රන්ජිත්. මා කිව්වේ සුලභයි කියලා. ලෝකේ අනෙක් රටවල නෑ කියන එකක් එයින් අදහස් කලේ නෑ.....

ඉන් අදහස් කලේ සුළු පිරිසක් ආසියානු රටවල ඉන්නවා ''ඔය ඕනේ එකක් කරගනින්'' කියලා ස්වාමියා හා දරුවෝ අතරමං කරලා දමලා ගහලා යන කාන්තාවන් කියන එකයි. බහුතරයක් කාන්තාවෝ මේ දුක් විඳිනවා කියන එකයි.

අනික් කරුණ නම් මේ ආසියාතික කාන්තාවෝ වගේම මෙලෙස සංස්කෘතික හා අසරණ මානසිකත්වයෙන් සිය ස්වාමියාගේ සියළුම අණපනත් වලට යටත්ව, දරුවන් බලාහදාගෙන ඉන්න, සමහරවිට ආසියාතික කාන්තාවන්ට වඩා දුක්විඳිමින්, කැපකරමින් ජීවිතය ගෙන යන කාන්තාවො ලෝකේ සෙසු රටවල්වලත් ඉන්නවා.

අද ආසියාතික පුරුෂයනුත්, කාන්තාවනුත් බටහිරින් එන සියලුම දේවල් බදාගෙන, ලිංගික නිදහස, ස්වාධීනත්වය හා විමුක්තියකට මුවාවෙමින්, විවාහ සංස්ථාව, බිරිඳ, දරුවන් ආදී සෑම දෙයක්ම නොසලකා හරිමින් පරිහාණියක පතුළටම යන ස්වභාවයක් තියෙන්නේ.

රන්ජිත් කියන ලෙස ''විශේෂයෙන්ම තරුණ කාන්තා පරපුර ටිකක් ගැඹුරින් සිතා බැලුවොත් හොඳයි '' කියන එක විශේෂ වැදගත් කමක් තියෙනවා. කාන්තා පරපුර විතරක් නෙවෙයි පුරුෂ පක්ෂයත් මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි.

බටහිර විමුක්ති හා නිදහස් බලවේගවල බලපෑම් හේතුවෙන්, පෙම් සබඳතා හා යෝජනා මගින් විවාපත් වෙන බොහෝ දෙනෙකුගේ විවාහ ජීවිත ඉතාම කෙටි කලකින් අවසන්වන ප්‍රවණතාවක් ලාංකික හා ආසියාතික සමාජයේ අද දකින්නට පුලුවන්. එය නව සංස්කෘතියක කාන්තාවගේ/පුරුෂයාගේ ස්වාධීනත්වය හා නිදහස පිළිබඳ ඉහළම වර්ධනයක් ලෙසත්, තවත් අතකින් ඛේදනීය සංස්කෘතික හෝදාපාළුවක් ලෙසත් දකින්නෝ බොහොමයි.

මට නම් මේ පුරුෂ පක්ෂයේ හා කාන්තා පක්ෂයේ විසූඛ දස්සනයන් එපා වෙලා තියෙන්නේ. මේ නිසා පුරුෂයින් සේම කාන්තාවන් ලොව පුරාම තැවෙනවා. විඳවනවා. එකිනෙකා කෙරේ මානුෂිකව බලන්නේ නෑ. ඒ මදිවට මේකට දැන් දේශපාලන බලපෑම් පවා එල්ලවෙනවා. මෙයට මා දකින එකම හා ප්‍රධාන හේතුව නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මනුෂ්‍යයින් හැටියට දෙපාර්ශ්වයටම අන්‍යොන්‍යව ගරු නොකිරීමයි. විවාහයෙන් පසු තම යුතුකම් හා වගකීම් හඳුනානොගෙන, ආත්මාර්ථකාමී ලෙස නිදහස විමුක්තිය සොයා යෑමයි. එහෙම විවාහයෙන් පසුව නිදහස හා විමුක්තිය තනිතනිව බුක්ති විඳීමට බලාපොරොත්තුවන අය ඉන්නවා නම්, ඒ අය විවාහ නොවී, බිරින්ඳන්, සැමියන් හා දරුවන් අමාරුවේ නොදමා ඉන්න එක හොඳයි...
විවාහය යනු සාමුහිකව විඳින ''නිදහස් සංස්කෘතියක්'' විනා, තනිතනිව විඳින ''නිදහස් සංස්කෘතියක්''නොවන නිසා.
..... තවත් විදියකින් කියනවා නම් විවාහය යනු පුද්ගලික නිදහසේ අවසානයයි. මෙය පිළිගන්න බැරිනම් විවාහ නොවී සිටින්න.


(සමාවන්න. මෙවැනි දෑ සාකච්ඡා කිරීම කවියක් රසවිඳීමට, එහි ඇති සමාජයීය හරය පසක් කරගැනීමට අත්වැලක් බවයි මා හිතන්නේ)


Nayomi Sirinali Nawarathne
මාෙග් නිර්මානයේ වපසරිය මුහුණු ‍පොතමත දිග හල @ විපුල මහතා‍ට මා‍ගේ ‍නොවක් හද තුතිය!

ඉතාම සරල වචන භාවිතා කළ නිමැවු‍මේ මා සිතූ අර්ථය ලඝු‍කොට කීමට සිතු‍නේ සැමදාම ම‍ගේ නිර්මාණ වල අඩුලුහුඩුකම් ‍පෙන්වා ‍දෙමින් මා දිරිමත් කළ ඉන්ද්‍රනාථ මහතාට ‍මෙම නිර්මාණය තුළින් ‍වෙනත් අදහසක් මතු වී ‍පෙනුණු බැවිනි! සැබවින්ම විපුල මහතා පවසන පරිදි එය නැවුම් නිර්මාණයකට වස්තුබීජයකි!

තම මනසින් නිර්මාණය රස විදි ‍‍ඔබ සැමට අපහසුතාවයක් වන්‍නේ නම් සමාව අයදිමි!

සෑම පිරිමි‍යෙක්ම තම ජීවිත‍යේත් සසර පුරාවටත් සහකාරිය ‍ලෙසින් පතන්‍නේ හැම දුක් ගැහැටක්ම සැමියා , දරුවන් ‍පවුල , පරම්පරාව වෙනු‍වෙන් ඉවසා දරාගන්නා ය‍සෝදරාවක්! මා වස්තු බීජය ‍කොටගත් ‍මේ සැමියාටත් ලැබු‍නේ ය‍සෝදරාවක් ‍නො‍වේ...
ගැහැනියක් පිරිමි‍යෙකු‍ගෙන් බලා‍‍පො‍රොත්තු වන්‍නේ ‍සෙවණක් , සරණක්,
"සසර පුරා ඔබ ‍නොවුනත් කිසි දින ය‍සෝදරා
දිවිය පුරා මම ‍‍සෙවනක් වෙන්නම් තැවුල් දරා"


තමන්ට නුසුදුසු සහකාරියක් වුවත් හැම තැවුලක්ම දරාගන එයා ‍සෙවණක් ‍වෙන්න හිතනවා

"පැතුම් පුරා ගිහි මැදුරක් තැනුවත් ඔබව දිනා...
පියුම් වරා මුලු ජීවිත උයනම මිලින වුණා"


කාලයක් ආදර‍යෙන් ‍‍බැඳී සිට ඒ ‍සොඳුරු සිහිනයන් සැබෑ ‍කොට ‍ගෙන ඈ හා විවාහ වන සැමියා ගිහි දිවි‍යේ මාලිගාවක් ‍ගොඩ නගනවා! නමුත් ඒ මාලිග‍යේ මල් පිපු‍ණේ නෑ... ඒ කිය‍න්නේ ඔහු පැතු සතුට , ‍‍සෙ‍නෙහස, ආදරය , ඔහු ‍වෙනු‍වෙන් කැප කිරීම් කිසිවක් ඔහුට බිරිඳ‍ගෙන් ලැබු‍‍‍නෙ නෑ. ජීවන උය‍නේ මල් සුවඳක් ඔහුට විඳින්න බැරි වුණා....

"දකිමින් ‍නෙක ‍පෙර නිමිති ම‍ගේ කැණි මඩල අරා"

කැණි මඩල කිය‍න්නේ නිවසක , ‍ගොඩනැගිල්ලක මුදුන් පරාල එකතු වන තැන. එතන තමයි මුලු වහලයම දරාගන ඉ‍න්නෙ. (බුදු හාමුදුරු‍වෝ කැණිමඩල තණ්හාවට උපමා කළා. මම බවය නැමැති ‍ගෙයහි තණ්හාව නැමැති කැණි මඩල සිඳ දැමු‍වෙම්! දැන් නැවත ඉපදීමක් නැත)
විවාහ දිවියක පැවැත්ම රඳා පවතින කැණි මඩල කඩා වැ‍ටෙන හැම ‍සිද්ධියක්ම වුණා! එවා සිදුහත් ‍බෝසතානන්ට ගිහි‍ගෙය හැර යාමට ‍හේතු වූ සතර ‍පෙර නිමිති ව‍ගේ

"රහසින් පැතුවා සැඟ‍වෙන්නට පුන් සඳට ‍හොරා"

සිදුහත් සඳ පායා තිබූ රාත්‍රියක ය‍සෝදරා හැර ගියා... ඒ කියන්‍ ‍නේ ඔහු ඈ හැර ගිය බව ‍මේ ‍ලෝක‍යේ කව්රුහරි දන්නවා..
නමුත් ‍මේ සැමියට ඔන වු‍නේ විවාහය එ‍හෙන්මම තියාගන සැමට ‍හො‍රෙන් ඇ‍ගෙන් දුරස් වී ‍ගොස් ‍කො‍හේ ‍හෝ සැඟ‍වෙන්න! එකයි සඳ නැති දවසක ඈව හැරයනවා කියලා මම ලියු‍වේ..

"රාහුල ‍වෙත බැඳි පි‍යෙකු‍‍ගෙ ‍සෙ‍නෙහස සයුර වුණා
කාහල නැගු සිත මාලි‍‍ගෙ නවතිමි සපත වුණා"


ඒත් තම පුතු නිසා ඔහු ඒ සියලු ආත්මාර්ථකාමී අදහස් උඩු සුළ‍‍‍ඟෙ ගසා යන්නට ඉඩ ‍දෙනවා! පිය ‍සෙ‍නෙහස සයුරක් ව‍ගේ..
පුතා නිසා එයා‍ගේ සිතට දැ‍නෙන්‍නෙ පුදුම සතුටක් , ආඩම්බරයක් ! කාහල නාදය එහි උපරිමය! එයා ‍මේ ගිහි කුටුම්බ‍යේ සියලු දුක් ‍වේදනාවන් දරාගන නවතිනවා කියලා තම සිතට සපථ කර ගන්නවා!!

සැබැවින්ම ‍මෙය සැබෑ සිදුවීමක්! නමුත් නිර්මාන‍යේ අවසානයසේ ඒ පියා ‍
ශ්‍රේෂ්ට පි‍යෙක්ද කියන්න මම දන්‍ ‍නෙ නෑ. මම නිර්මාණ‍යෙන් ඔහු ‍ශ්‍රේෂ්ට කළා.

මෙයට මා එළිවැට , එළිසමට සම කළ සඳැස් ‍දෙපද විරිතක් භාවිතා ‍කොට ති‍බෙනවා.
Saturday at 00:56 · · 5



























Sunday, January 15, 2012

සුදීපාගේ මිහිරිගේ කවිවැල මට දැනෙන විදිය

කවියෙකුට පහළවෙන විරළ කවි සිතුවිල්ලක්. මා එසේ කියන්නේ මෙහි කවි නිමිත්ත සලකාගෙනයි. යම් කිසි සංසිද්ධියක් සිදුවෙන හැටි ගෙනහැර පෑම වාර්ථාකරණයකි. වාර්ථාකරණයේ කලාත්මක බවක් නැත. නමුත් සුදීපා මේ සංසිද්ධිය වාර්ථා කරන්නේ කලාත්මක කවියක් ලෙසය. එය එක් අතකින් වාර්ථාකරණය හා කලාත්මක කවිය අතර ඇති වෙනස අපිට කියාපායි. 


ඉසිපතනේ මිගදායේ බුදුරදුන් විසින් ධර්මදේශනයක් පැවැත්වීම මෙහි නිමිත්තයි. එය අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන ගෝෂාකාරී සංගීත සංදර්ශනයක් නොවේ. සිත නිවනා, තැන්පත් කරනා සංසිද්ධියකි. 

සුදීපා පැදිපෙළ කියවන්නා තුළ පහන් බවක් දැනවීම සඳහා අපූරු උපමා රූපක, සංකේත හා අලංකාර ගෙනහැර පායි. එමගින් අපේ සිත් තුළ ඇය මවන්නේ අපූරු සිතුවම් පෙළකි. සංදේශ කාව්‍යයයක එන පරිසර වර්ණනා අපට නිතැතින්ම සිහිපත් වෙයි.

කියවන්නා තුළ පහන් බවක් දැනවීම තව තවත් තීව්‍ර කිරීම සඳහාම උචිත විරිතක්ද ඇය ඊට යොදාගනී. එහිදී පද බෙදීම නිසාම නැගෙන රිද්මය, ලය අපූරුය. අපගේ සිත් නැලවෙන නමුත් පහන් හැඟුමන් නොකෙළසෙයි.
 
මිගදායෙන් නැගෙන්නාවූ බුදුන්ගේ දහම් ස්වරයේ මුදු බව ඇය කියාපාන සැටි ඉතාම විචිත්‍රය.  මෙයින් ඉහතකී සන්දේශ කාව්‍යයක ස්වභාවය (වදන්, විරිත, රිද්මය හා ලය) අපට මැනවින් දැනෙයි. අපගේ මතකයට නංවයි. 

මේ පැදි පෙළ කියවමින් මුමුණමින් අපූරුවට විඳ සිත සනසාගන්නට හැකි පැදි පෙළකි.... පැදිය යනු, වෙසෙසින්ම සඳැස යනු ශබ්ද නඟා කියවිය යුතුම, රසවිඳිය යුතුම කවියකි.

මෙවැනි කවි කිවිඳියන් මූණු පොතේ විරළය. ඉතාම පොහොසත් වදන් කෝෂයක් ඇය සතුය. සුදීපාගේ ගේ මේ කාව්‍ය ප්‍රතිභාව මා හඳුනාගත්තේ අද ඊයේ නම් නෙවේ. ඇයට කවදත් මගේ ආදරය හිමිය. මගේ සුබ පැතුම්....!!!

විපුල 

Thursday, January 12, 2012

 ප්‍රියන්තගේ  "සම්බුලා දේවිය"

මා ප්‍රියන්තයන්ගේ Priyantha Wijerathne කවියක් කියවාම නැති විය හැක. නැතහොත් මේසා සංවේදීව මගේ මනස කැළඹූ කවියක් නොදුටුවා විය හැකිය. මේ නිසඳැස එපමණින්ම හොඳයි, ලස්සනයි, විචිත්‍රයි යනුවෙන් කියා ඇඟ බේරාගැනීමට මට සිත් නොදෙයි.
මේ කවි නිමිත්ත ඊයේ මෙන්ම අදටත්, හෙටටත් පොදු සංසිද්ධියකි. සිය ස්වාමියා මහළුව හෝ ගිලන්ව නිවසේ සිටියදී ඔහු දිවි රැකීමට ආර්ථික සටනක යෙදෙන කාන්තාවන් කොතෙකුත් අපට හමුවෙයි. එවැනි කාන්තාවන් පිළිබඳ අනේක කතා පුවත් අපට අසන්නට ලැබෙයි.

මේ සුලභ සංසිද්ධිය කිසියම් අපූර්වත්වයකට පත් කෙරෙන්නේ ප්‍රියන්ත විසින් සිය කවි නිමිත්ත සම්බුලාවන්ට ආදේශ කිරීම තුළය. නැත්නම් මෙම පදවැල නිකම්ම නිකං හිස් හෝ අර්ථ ශූන්‍ය වචන සමූහයක් වෙනවා සිකුරුයි.

මෙය විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් බවට පත්වෙන්නේ, ප්‍රියන්ත තුළ අප රටේ පැරැණි සාහිත්‍යය ගැන, ඉතිහාසය ගැන ඇති දැනුම හා භක්තිය කියාපාන බැවිනි.  එසේම, සිය නිර්මාණ කුසලතාව තුළින් තිලිණ කරණ මේ කාව්‍ය නිර්මාණයෙන්, අලුත් අරුතක්, ගැඹුරක් මුසුව දෝලනය වෙන කම්පණයක් හා ආනන්දයක්ද සමඟින් අවසානයේ ප්‍රඥාවද තිලිණ කරණ බැවිනි.

කුෂ්ඨ රෝගයකින් පීඩා විඳි “සොත්ථිසේන ” කුමරුට උවටැන් කරමින් රාක්ෂයින් අභිමුව සිය පතිවත දිවිහිමියෙන් සුරැකි, ඒ පතිවතේ බලයෙන්ම ඔහුව සුවපත් කළ සම්බුලාවන් වැන්නියෝ අද සමාජයේ විරළය. එකල රාගයෙන් මත්ව සම්බුලාවන්ට අතවර කිරීමට පැමිණි රාක්ෂයින්ගෙන් ආරක්ෂාව සැපයූ සක් දෙවින්දෝ අද නැත. රාක්ෂයින් එමට සිටියි. අද සිටින සම්බුලාවන්හට පොලිසියෙන්ද ලැබෙන ආරක්ෂාවක් නැත. සමාජයෙන් ලැබෙන පිහිටක් සරණක්ද නැත. මේ සියල්ල අනුදැන ප්‍රියන්ත ඇයට කියන්නේ “ මේ සියලු කරදරවලට කලින්, ගිලන්ව, අබල දුබලව සිටින ආදරණීය සැමියා වෙතට යන්න ” කියාය. එය අපගේ කරුණාබර සිතට මහත් කම්පණයක් එක් කරයි. ආලෝකයක් එක් කරයි. ඒ සමඟම සමාජය වෙත දරුණු, ප්‍රබල අතුල් පහරක් ද එල්ල කරයි.

අද සමාජය ගත්විට බොහෝවිට අපට හමුවන්නේ අවස්ථාවාදීන්ය. දේශපාලන, ආර්ථික, සමාජයීය හා අති පෞද්ගලික අභ්‍යන්තර හේතුමත, සිය ආදරණීය බිරින්දන් හා ස්වාමි පුරුෂයින් අමතක කිරීමට වෙර දරණ මනුෂ්‍යයින්ය. යාන වාහන, මිලමුදල් හා සදාචාරවත් නොවන අලුත් මිනිස් සබඳතාවන් ඉදිරියේ ආදරණීයයන් අමතක කරන ගෑණු පිරිමි මිනිසුන්ය. එවැන්නන් ඉදිරියේ අපට මෙවැනි සම්බුලාවන් මහානර්ඝ වස්තුවකි. මේ කවිය මහානර්ඝ විශිෂ්ට කවියක්වන්නේ ද, 
කවිය හා කවි නිමිත්ත විචිත්‍රවන්නේ ද එබැවිනි.

මෙලෙස සිය නිර්මාණයන් සඳහා කිසියම් අපූරුවත්වයකින් අපේ ඉපැරැණි ජන සාහිත්‍යයේ පහස නොමදව ලබමින් මහඟු නිර්මාණ එක් කළ සමිත Samitha B. Atuwabendela මට සිහි වෙයි. මෑතකදී එවන් නිර්මාණයක් ඔහුගෙන්වත් මට කියවන්නට නොලැබින. අද ඒ අඩුව පුරවන්නට ප්‍රියන්ත සිටීම පුද්ගලිකව මගේද, මෙහි කවි ලියන හා ඒ කවි කියවා රසවිඳින ඔබ සැමගේද අමන්දානන්දයට හේතු වෙනවා සිකුරුයි.

මට සම්බුලාවන් පළමුව හඳුන්වා දුන්නේ මගේ ආදරණීය අම්මාය. ඒ ඉතාම කුඩා අවධියේ ඇය මාත් අයියාත් ළඟ තබාගෙන පන්සියපනස් ජාතක පොත කියවමින් අපේ රසඥතා ඥාණය කුළුගැන්වූ සමයේදීය. ක්ෂය රෝගය සෑදීමෙන් මට මව්කිරි දීමට පවා අපොහොසත් වූ මගේ අම්මා, මා පියාණන්ගේ සියලුම “ මිනිස් ඇවතුම් පැවතුම් ” උපේක්ෂාවෙන් විඳදරාගන්තී, පෙරළා සම්බුලාවන්ට ආදරය කරමින් සිය සිතුම් පැතුම් ඇය අනුවම සකසාගනිමින් මියෙන තුරුම සිටියා මතකය. අද 2011 දෙසැම්බර් 10, උඳුවප් පෝය දින දුටු ප්‍රියන්තගේ මේ කවිය මෙන්ම මා ලියන කමෙන්ටුව/අදහස් ද මියගිය මගේ අම්මාටත්, ජීවත් වූ සහ දැනුදු ජීවත්වන තවත් එවැනිම “සම්බුලාවන්ටත් ” උපහාරයක්ම වේවායි පතමි.

අවසානයේ ප්‍රියන්ත ඔබට වඩ වඩාත් අර්ථවත් නිර්මාණ කිරීමට
ශක්තිය හා අවස්ථාව උදාවේවා යයි ඉත සිතින් පතමි !!!
 
විපුල
10 December 2011 at 12:40 · · 10

Monday, March 7, 2011

21වන සියවසේ කාන්තාව හා මාතෘත්වය

21වන සියවසේ
කාන්තාව හා මාතෘත්වය
අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.
මට උදෙන්ම කියවන්න ලැබුනේ සමිතගේ ''කුවේණි අස්න''. මෙය නමක් නොමැති වුවත් ''අපේ කාලයේ කාන්තාවක්'' පිළිබඳ පැදියක් 

මුළුමනින්ම ගැඹුරු හාස්‍යයක්, උපහාසයක් සමඟින් ඉතා ප්‍රබල උත්ප්‍රාසයක් දනවන විශිෂ්ට කාව්‍යයක්. 

''පිරිමි පුතෙක්'' ලබන්නට සිහින දුටු විවාහක කාන්තාවකගේ එක් ශෝචනීය ඉරණමක් මෙයින් නිරූපණය වෙයි. ඇය දෙවියන්ට භාරවී දෙවියන්ගෙන් ගෞරවණීය ලෙස පිරිමි දරුවෙකු අයදියි. එහෙත් දෙවියන් ඇයට පිහිට නොවෙයි. ඇය එය හාස්‍යයෙන් වදනට නංවන අයුරු අප තුළ ඇති කරන්නේ ගැඹුරු උත්ප්‍රාසයකි.

අහළ පහළ සිව් දිසාවේ හා ඉහළින් වැඩ ඉන්නා දෙවිවරුන් ගෙන්,  ''කයිය ගහ ගහා'' ඉන්නවා ? මගේ ඉල්ලීම ඇහුනේ නැද්ද ? මං දුන්නු පඬුරු පාක්කුඩම් මදිද ? මං පේවෙලා ආවේ නැද්ද ? අද කෙම්මුර දිනයක් නෙවෙයි ද? තිස්තුන් කෝටියක් ඉඳලත් එක්කෙනෙක්වත් දරුවෙකු නැති සොවින් තැවෙන මගේ හදවත දැක්කේ නැද්ද? නැත්තම් දැකලත් නොදැක්කා වගේ හිටියද? '' ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් අසයි. එය එක්තරා විදියක දෙස්දෙවොල් තැබීමකි. මේ වදන් ප්‍රකාශ කරන ඇය අවසානයේ වියරු වූ ලෙසක් පෙනේ.  

'' රන් කහවණු - මුදල්හදල් , රසමසවුළු - දිව්‍ය භොජුන්  කොතරම් තිබුණත් ඇති ථලය මොකක්ද? ඉදින්, පුතෙක් නැති මේ පතිවත රැක්මෙන් ද ඇති ඵලය කුමක්ද දෙවියනේ? '' යයි අසන ඇය කිසියම් දරුණු පියවරක් තැබුවා හෝ තබන්නට සුදානම් වනු පෙනෙයි.

පුතුන් සියයක් ඇකයේ හොවාගෙන, දෙතනේ - ළමැදේ පිරෙන ''රුහිරු'' පොවන්නට සුදානම්වන ඇය '' දෙවියනේ ... අයේ මින් මතුවට නම්  මං නුඹලාගෙන් පින් අයදින්නේ නෑ'' යයි කියයි.

කවියේ උපරීම ස්ථානය හා අපූරු නාට්‍යම අවස්ථාව උදාවෙන්නේ ඉන්පසුයි.
''ඇස් දෙකක් ලැබිලත් නොදැක්කා සේම, කන් දෙකක් ලැබිලත් නොඇසුනා සේම, වැරදුන මඟ යළි - නැවතත් මා දුටුවෙමියි '' ඇය දෙවියන්ට කියයි.

මෙහි ඇති අපූර්වත්වය කුමක්ද? 

ඇය පතිවත පසෙක ලා පිරිමින් හඹාගොස්, පිරිමි දරුවෙකු ලබාගැනීමෙන් පසු, දරුවෙකු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, ආසාවෙන් දේවාල කරා යාම, දෙවියන් පසුපස යාම, නිර්ථක කාර්යයක් බව පසක් කර ගත්තාද ?

නොඑසේනම්, දෙවියන් සිය බලාපොරොත්තු ඉටු නොකිරීම නිසා, පතිවත පසෙක ලා, පිරිමින් හඹා ගොස්, එයින්ද පිරිමි දරුවෙකු ලබාගත නොහුනු ඇය, තමන්ට මඟ වැරදුන බව  මෙනෙහි කරද්ද ? 

මේ අන්ත දෙකෙන් කවර හෝ අන්තයක්, අපට රිසි අයුරින් සිතාගැනීමට ඇගේ මේ කාව්‍ය ප්‍රහසනයේ විවෘත අවසානය අපට ඉඩ සලසයි. මෙය උපක්‍රමශීලී කාව්‍යම හා කලාත්මක, ශිල්පීය අවසානයකි.

තත්ත්වය මෙසේ වුවද, මෙහි ''පිරිමි පුතෙක්'' යන යෙදීම කිසි ලෙසකින් යෝග්‍ය නොවන, රිද්මය පවත්වා ගැනීමට යොදන ලද  ''සක්ක පදයක් '' ලෙසින් කැපී පෙනේ. මන්ද පිරිමි පුතුන් මිසක් මෙලොවේ ගැහැණු පුතුන් නොවන බැවිනි. මෙය පහසුවෙන් වළක්වාගත හැකිව තිබුනු දෝෂයකි. 6වන කවියේදී ඇය, යළි දෙවියන්ගෙන් කිසිදා ''පින්'' යැදීමක් නොකරන බවක් පවසයි. ඇත්තටම මෙහිදී ඇය පින් අයදින්නෙ නැතැයි කීවාට වඩා ''පිහිට'' අයදින්නේ නැතැයි කීවා නම් තමා වඩාත් උචිතවන්නේ. මන්ද දෙවියන්ගෙන් අප යදින්නේ පින් නොව පිහිට වන බැවිනි.

කෙසේවතුදු, මේ සුළු අඩුපාඩුව හැරුනු කොට, සමස්තයක් ලෙස ගත් කල මෙම පැදිය අන්තර්ගතයෙන් අපේ කාලයේ ළඳකගේ හදවත විවර කරන ඉතාමත් යථාර්ථවාදී මෙන්ම එඩිතර නිර්මාණයක්, උත්සාහයක් වන්නාහාම, කලාත්මක පැදියේ නිම්වළලු පුළුල් කරන, ශිල්පීය වශයෙන් හා කලාත්මක වශයෙන් උසස් නිර්මාණයක් බව පැවසීම යුක්ති සහගතය.  

ගායනා කිවිඳියක සේ පෙරට තබන පියවර  සාර්ථක වී  
සිංහල කවියේ මඟ හෙළිපෙහෙළි වේවා ! බැබලේවා !!!    



අපේ කාලයේ කුවේණි අස්න

අපේ කාලයේ 
            කුවේණි අස්න

සමිතගේ මේ නිර්මාණය ඔහුගේ අනෙක් විශිෂ්ට නිර්මාණ හා සමඟ එක පෙළට තැබිය හැකි, ප්‍රබල සංවේදනාවන් රැසක් අප සිත් තුළ ජනිත කරවන රස මවන අපූරු කලාත්මක පැදි පෙළක්.

විචිත්‍ර සංසන්දනාත්මක උපමා රූපක ද්විනිතාර්ථ නංවන්නේ හද සසල කරන හැඟීමක්. අතීත කතාව හා අපූරු රන් හුයකින් බැඳ ඔබ කියන මේ සමකාලීන කුවේණියගේ කතාව, කවිය සතු ව්‍යංගාර්ථයේ උපරිම යයි සිතමි.

මේ විජය, කුවේණිය හා දරුවන් හැරපියා ගොස් ඇත්තේ අතීතයේ හුන් විජය කළ පරිද්දෙන් නොව රිය අනතුරකිනි. ඒ ජීවහස්ත දීසාලා උපදින්නටත් පෙරය. වත්මන් සංකීර්ණ සමාජ ක්‍රමය තුළ මේ කුවේණියට හා දරු දෙදෙනාට අත්වන ඉරණම ගැන සිතන විට අප සිත් තුළ ඇතිවන්නේ කිව නොහැකි සංවේගයකි. එය මේ පැදියේ මුඛ්‍යාර්ථයයි.

ඉතාම සියුම් මානුෂීය නාට්‍යම අවස්ථාවක් ඔබ අවසානයේ අප ඉදිරියේ නිර්මාණය කරයි. ඒ මුල්වරට සිය දරුවන් දෙදෙනාට සිය පියා වූ විජයගේ සේයාරුවක් පෙන්වීමේ අවස්ථාවයි....

පෙර අපර කතා මෙන්ම මතුපිටින් පෙනෙන කතාවන්ට යටින් දිවෙන අපූරූ, විචිත්‍ර සංසන්දනාත්මක වෘතාන්ත තුළින් ව්‍යංගාර්ථය උපරීම ලෙස ස්පර්ශ කරමින් පැදි නිර්මාණය කිරිමේ ශෛලිය සමිතට ම ආවේණික වුවක් යයි මට සිතේ. මන්ද, මූණු පොතේ අනෙක් කවියන්ගෙන් මා එවැනි කවි නොදකින නිසාය. අනුරාධා සොයුරිය ඉඳහිට ලියන කවියක මෙවැනි පැරැණි ඓතිහාසික කතාවක චරිත හා බැඳුනු සංසන්දනයක් ඉතා අල්පමය වශයෙන් දක්නට ලැබෙයි.

එහෙත් සමිත බෙහෝවිට මේ ශෛලියට අනුගතව අපූරු විචිත්‍ර පැදි මගින් අපට ළංවෙයි. අප හඬවයි. මේ ශෛලිය ඔහුගේ කවියේම ස්වභාවය නැත්නම් අනන්‍යතාවක් බවට පත්කර ගනී. එයම සමිතගේ නිර්මාණ ප්‍රතිභාව හා කවිත්වය අපට කියාපාන අපූරු නිමිත්තකි.

ඔබට මෙන්ම සිංහල කවියේ ඉදිරිගමනට 
මගේ සුබ පැතුම් !!!