Translate

Wednesday, February 1, 2012

ප්‍රසන්න ගාමිණී ගේ
                    අම්බපාලී හා චිංචිමානවිකා වස්තුව


අපූරු සඳසක් බව සැබෑය. මා මෙය කලින් දුටුවද කිසිදු අදහසක් නොකියා ටිකක් බලා හිටියා. පසුව බලන විට කවිය (මා දන්න රසවින්ඳනය පරිදි ) රස විඳීමේ උත්සාහයේදී බොහෝ අය ගෙන ඇත්තේ මතු පිටින් දැක්වෙන සරල අදහස, රිද්මය, විරිත මිස කවියේ ගැබ්වෙන හරය, යථාර්ථය, දිවිනිථාර්ථ - ව්‍යංගාර්ථ, විනිවිද දකිමින්, කවියේ ඇතුලාන්තයට පිවිසි බවක් මට නොහැඟේ. එසේ ඇතුලාන්තය විනිවිද දැකිය නොහැකි කල්හි කවියකින් අප ලබන ආනන්දය ඉන් ඔබ්බට ප්‍රඥාවක් ලෙසින් නොවිහිදෙයි නම්, හුදෙක් කවියක මට සිලිටු පද, විරිත ආදියෙන් පමණක් අපට සෑහිමට පත්විය හැකිද?













අස්ථාන සැකයක් නිසා  ආදරවන්තිය හෝ බිරිඳ විශාඛාවක් නොවී, අම්බපාලියක් වීම නිසා ඈ කෙරේ හදවත බිඳගත් බවක් පවසන කවියා එසේවන්නට හේතු ඇගෙන් විමසයි. ඔහුට ඇය ගැන නිසි අවබෝධයක් නොතිබුන බව ඉන් හැඟෙයි. අවසානයේ කියන්නේ චිංචි  මානවිකාවක් වී නොපැමිණෙන ලෙසයි.
මෙහිදී ප්‍රශ්න හා ගැටළු සමූහයක් මතුවෙයි.

එයින් ව්‍යංගයෙන් කියන්නේ ඇය සැබවින්ම ගැබිණියක් වී පැමිණියහොත් දරුවාද සමඟ භාරගන්නවා කියන එකද?

මේ කියන්නේ මට අවමන් කිරීමට බොරු බඩක් දමාගෙන එන්න එපා කියන එකද?

ඇය ගොස් ඇත්තේ තමන්ගේ කුසෙන් දරුවෙක් බිහිකරගැණීමට, පර පුරුෂයින් ලවා එය සිදුකර ගැණීමේ චේතනාවෙන්ද?

මෙකී පුරුෂයා කාන්තාවට පෙම්වතියක්, බිරිඳක් ලෙස මැනවින් සැලකුවාද?


ඇයි ඇය වෘත්තීය මට්ටමේ අම්බපාලියක් වූයේ ?
කරුමෙටද? බලපෑමකටද? මුදල් සෙවීමේ අරමුණටද?
නැත්නම් නිකංම නිකංද?

කිසිදු හේතුථල සබඳතාවක් නොමැතිව මනුෂ්‍යයෝ මෙවැනි තත්වයන්ට පත් වේද? එවැන්නක් පිළිගන්නද කවියා අපිට කියන්නේ ?


මා මේ නඟන්නේ බොරු ප්‍රශ්න නොවේ.මන්ද අප දන්නා චිංචිමානවිකාවිය ආවේනම් බොරු බඩක් දමාගෙන බුදුන්ට අවමන් කිරීමටය. අම්බපාලිය යනු රාජ්‍ය අනුග්‍රහය ලැබූ වෘත්තීය මට්ටමේ ගණිකාවකි. ඇය සමාජයේ අවමානයට ලක්වූ කාන්තාවක නොවේ.

මෙහිදී මේ කාන්තාවට අම්බපාලිය හා චිංචිමානවිකාව ආදේශ කිරීම තුළ, කිසියම් නොගැලපීමක්, නුසුදුසු බවක් මට පෙනෙයි. අපේ සැබෑ අතීත කතා, ජාතක කතා, ජනකතා, බුදු සිරිතේ හා වංශ කතාවල කතා හා ඒ චරිතයන් ආවාට ගියාට ආදේශ කිරීමට යාමෙන් මහත් අවුල් සෑදෙයි. මේ ආදේශ චරිත කතා හා ඒ ඒ චරිතවල ස්වභාවයන් අමතක කොට අයෙකුට මට සිලිටු වදන් වලින් හා විරිතෙන් රිද්මයෙන් පමණක්ද සෑහීමකට පත්විය හැකිය. මට නම් එසේ කළ නොහැකිය.

සංකීර්ණ චරිත විවරණ කවියේදී හෝ කවර කලාවකදී හෝ පහසුවෙන් කල නොහැකිය. සංකීර්ණ චරිත සැබවින්ම සියලුම කවීන්ට අභියෝගයකි. කවීන් මේ අභියෝගය ජයගත යුත්තේ කවි නිමිත්තේ ස්වභාවය, හරය, යථාර්ථය තුළින් ජීවිතය විනිවිද දැක, කවියේ සීමාවන් හඳුනාගෙන, කවියේ කලාත්මක භාවය රැකගෙන, ඉදිරිපත්කිරීමේ මෙවලම්වන වදන්, උපමාරූපක, සංකේත, අලංකාර තුළින්, ව්‍යංගාර්ථ තුළින්,ද්විනිතාර්ථයන් තුළින් අවසානයේ මැදහත්ව, සමතුළිත බවකින් යුතුව, අප හිත් තුළ ඇති කරන කම්පනය හරහාය.

එසේ නොවන කල්හි, ඔබ ඔබගේ කවිය තුළින් නිරූපණය කරන පාත්‍රවර්ගයාට බලවත් අසාධාරණයක් සිදු කරයි. මෙහිදී මෙකී කාන්තාවට ඒ සියලු අසාධාරණයන් සිදුවී ඇති බවක් මට පෙනෙන අතරම කවිය කියන පුද්ගලයා ජීවිතයේ හසරක් තේරුම්ගත නොහී හුදෙක් අනුකම්පාව අයදින පුද්ගලයෙකු බවට පත්වෙන බවක් මට හැඟෙයි. ඒ නිසා ප්‍රසන්නගේ මේ පැදි පෙල කියවීමෙන් ලබන ආනන්දයෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට මගේ ‘‘බොළඳ” සිත ඉඩ නොදෙයි.