Translate

Sunday, April 23, 2017

අතීත බැඳිගම් විත්ති

ඇල්ලගාව ඇම්.ඩී. සිරිසේන ඇස්වත්තේ
- අතීත බැදිගම් විත්ති -




....... ඒ ගමේ "සුදු කුමී" නැමැති ගැහැනිය ගැබ්ගෙන සිටි බව මට මතකය. ඇය එය ගණනකටවත් ගෙන තිබුණු බවක් නොපෙනිණි. අවශ්‍ය දර ලී ආදිය ගෙන ඒමට මහ ගල් උඩට නැගීමත් , ගෙඩි වර්ග කැඩීමට වැල්වල එල්ලෙමින් අතුවලට පය තබමින් උස ගස්වලට නැගීමත් , තම ගෙයි වහළයට නැඟී මුදුණට වී දෙපැත්තට දෙකකුල් දමාගෙන එහි ඉළුක් බැදීමත් , එකල ඇය විසින් කරන ලද සිතාගන්නටවත් බැරි වැඩ වලින් කිහිපයකි. ඇයට ලැබෙන්නට සිටියේ දෙවන දරුවාය. පළමු දරුවා පිරිමි ළමයෙකි. ඔහුගේ වයස අවුරුදු දහයක් පමණ වෙයි. ඔහු පාසලකට ගියේ නැත. නිතරම සිටියේ නිරුවතිනි. මව පසු පස යාම ඔහුගේ සිරිතය.

එදා "සුදු කුමී" පුතාද සමඟ උදෙන්ම හේනට ගියාය. ඒ ගියේ සවස තලප කෑමට උයන සෙවළ හොද්දට අවශ්‍ය මෑ කොඳ (ළපටි කරල්) සහ වට්ටක්කා දළු ආදී පළා කරටි රැගෙන ඒමටය. හේනේදි ඒවා රැස්කර හමාර වෙනවාත් සමඟම ඇයට කිසියම් අමුත්තක් දැනෙන්ට විය. ............................................

........ දරුවා බිහි වන අවස්ථාව ඉතා ළං වූ නිසා අසල ගෙදරකට කියා යවන්නටද නොහැකි විය. එසේ කියන්නට "සුදු කුමී"ට උවමනාවක් ද නොවීය. එම අවස්ථාව ඇය ගණනකට ගත් බවක්ද නොපෙනිණි. කෙසේ හෝ කොලුවා පමණක් බලා සිටිද්දී ඇයට දරුවා ලැබිණි. කොලුවා ළවා පන්න කැති කෑල්ලක් ගෙන්වා ගත් ඈ එයින් පෙකෙණි වැල කැපුවාය. ලබු කැටයක වතුරෙන් දරුවාත් නාවා තමාත් පිරිසිදු වීමෙන් පසු ඈ නැගී සිටියාය.

අළු කෙසෙල් කොළයක් මත අලුත බිහි වූ ලේ කැටි බිළිඳා විටින් විට හඬමින් වැතිර සිටියේය. ප්‍රසූත අවස්ථාවේදි "සුදු කුමී" ගේ මුවින් කෙඳිරිලි හඩක්වත් පිට වූයේ නැත. දරුවා බිහි වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ...................

"සුදු කුමී" නැගිට ගෙදර ගෙයිත් මිදුලෙහිත් එහා මෙහා ගියාය. ඒ හේනේ සිට සවස කෑමට ගෙදර එන සැමියාට තලප සහ හොදි උයන්නට අවැසි කළමනා එක්තැන් කිරීමටය. සැමියා ඒමට පෙර තලප හොද්ද උයා තැබු ඈ කිසිත් වෙනසක් නැතුව වෙනදා මෙන්ම ගෙදර සිටියාය.

ගෙදරට පැමිණි සැමියාට කෙසෙල් කොළය මත සිටින දරුවා පෙනිණි. එය ඔහුට එතරම් අමුත්තකට කාරණයක්ද නොවීය. දරුවාගේ මුහුණ දෙස නොව ලිඟු පෙදෙස බලමින් ඒ කෙල්ලද කොල්ලාද යන්න
බලා ගැනීම පමණක් ඔහුට ප්‍රමාණවත්ය....................................
.
Wipula Sumanasekera මොනවා කියනවද මේ මල්ලිලා... මං හොද ගම් බට්ටෙක්... වැල. වරකා, කැකිරි ඔක්කොම රස බලපු මිනිහෙක් මං.... අනේද කියන්නේ ... මට නං ඉතිං දැන් ඉන්න මල්ලිලා ගැන දුකයි... හික්.. හික්..
.
Wipula Sumanasekera
කාලය ගැන අහන්න එපා... මං ඒල් කරලා ඉන්නකාලේ, සරසවි යන්න කලින් දෙටුගුරු පත්වීමක් ලැබුනා.. හම්බවුනේ මොනරාගල හුලංදාව මහ විදුහලේ . ඒකාලේ ඒක මහ ඝණ කැලව.. අලි හිටියා හරියට...දේශපාලන පලිගැනීමක් කරපු විදුහල්පති කෙනෙක් විතරයි ඒ පාසැලේ හිටියේ.. මහපාරේ ඉඳලා හැතැක්ම 5ක් විතර කැලෑව මැදට යන්න ඕනේ... මගෙ වාසනාවට ලස්සන දෙටු ගුරුවරියකුත් ආවා මේ පාසලට... අපි හරිම මහන්සිවෙලා ඉගැන්නුවා... මේ ඈත්තිගේ ගෙවල් මොණරාගල හින්දා එයා ගෙදර ඉඳලා ආවේ හැමදාම උදේ.. මමයි ''පිනයි'' ඉස්කෝලෙම උයාකාගෙන හිටියේ.. දවසක් මේ ඉස්කොලේ හාමිනේ .... හාමිනේ කිව්වට අයුරුදු 21ක් විතර ඈති.. මටත් 20යි... හැබැයි අක්කා කිව්වෙ නම් නෑ....((( තව ඈත....මතු සම්බන්ධයි...)))
.
Wipula Sumanasekera ‎...දවසක් උදේ මේ ඉස්කෝලේ හාමිනේ හතිදාගෙන දුවගෙන ආවා .. මං ''එලිබහින්න '' යන්න ලැහැස්ති වෙනකොටම වගේ ... අතේ පොතුත් නෑ... සාරියත් එහෙන් මෙහෙන් ලිහිලා... ''මාව පල්ලෙහා කරුවල ගහ ළගදි ''මරවා'' පැන්නුවා. මරුවා කියන්නේ තනි අලියෙකුට.. ඌ මිනී 6ක් විතර ඒ වෙන කොට මරලා තිබුනා... මං පොත් දාලා දුවගෙන ආවා.. ඒත් ඌ නවතින්නේ නෑ.. පස්සේ මං....මං...මං....දුවගෙන ආවා..
.... ඌ නැවතුනා.. '' 
((( තව ඈත....මතු සම්බන්ධයි...)))
.
Wipula Sumanasekera මට තව චුට්ටෙන් එළිබහින්න වෙන් නැතුව එතනම සිද්ධවෙන්න තිබුනා ඒ දේවල්... පස්සේ මං කොකටත් කියලා ටිකක් වෙලා ඉඳලා ඈගේ පොත් ටිකයි, මල්ලයි අහුලලා ගෙනත් දෙන්න පිටත් වුනා.. පොත්ටික අහුලාගෙන එනකොට ''මරුවා'' යමක් එක්ක පුංචි සෙල්ලමක්... පස්සේ ඌ ටිකවෙලාවක් සෙල්ලම කරලා ''ඒක'' දාලා කැලෑ වැදුනා පස්සේ මං ''ඒකත්'' අහුලාගෙන ඉස්කොලෙට ආවා වීරයෙක් වගේ..
   (( කාටවත් කියන්න පුළුවන්ද මොකක්ද ''ඒක'' කියලා..)))

((( තව ඈත....මතු සම්බන්ධයි...)))

 .
Wipula Sumanasekera   ''ඒක'' තමයි ඈ යටට ඈඳන් ආව ''ජංගිය''... මං ඒක ගෙනත් දුන්නාම ඈයට ලැජ්ජත් හිතුනා.. නමුත් අපි අද තව වෙනතුරුත් හොඳම යාළුවෝ... අ...ලියෙක් පන්නන් එනකොට බේරෙන්න නම් තමුන්ගේ ඉව හොඳට තියෙන යමක් මගදමා දුවන්න...එවිට ඌ ඒ ළග නවතිනවා.. මේ දැනුම ඒ ගුරැතුමීට තිබුනා.. ඒ නිසා ඈය එදා බේරුනා... මං මේවා එක්රැස් කරලා තියාගෙන ඉන්නවා දවසක ''අතීත බැඳිගම් විත්ති'' වගේ පොතක් ලියන්න...  ((( තව ඈත....මතු සම්බන්ධයි...)))

කතාවේ අවසානය මෙහෙමයි...
.
අවුරුද්දක්වත් මට ඉන්න ලැබුන් නෑ මාව සරසවියට තේරුනා... අපි ඉතිං ඈත්තටම අඬලා කරලා ආවා... පස්සේ කොහොමෙන් කොහොම හරි ඒ සුන්දර ඉස්කොලේ හාමිනේව මැණික් ව්‍යපාරිකයෙක් සරණපාවා ගත්තා... පස්සේ කල් ඈවැමෙන් ඈ මංත්‍රිවරියක් හැටියට පත්වෙලා ආවා පාර්ලිමේන්තුවට... අනේ එදා වගේමයි.. මං ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩකරන ඒ දවස්වල හැමදාම වගේ පාර්ලිමේන්තුවට ගියාම කන්නේ ඈයත් සමග අර ''තරු පනින හෝටලයේ''... දැන් ඈය ඈමතිවරියක්... ඒ හින්දා මං නම කියන්න අකමැතියි.. හැබැයි හරිම සුන්දර අතීතයක්.....

 .
Wipula Sumanasekera
‎@ HEMAMALI .... මේ කතාව හේමමාලි කලින් දැනගෙගන හිටියානම් අර වගේම බේරෙන්න තිබුනා...
. @ චිරන්ත ... මරැවා ඒක දාලා ගියා තදවෙලා... වෙන ඈතින්නියක් හොයාගෙන... හික්...
. @ කමළසිරි... හදිසියේවත් හම්බවුනොත් මං ගැන අහලා... මේ කතාවත් අහන්න... හරිම සුන්දර කා...න්තාවක්...
 .
Wipula Sumanasekera ‎@ හේමමාලී... ඔන්න මට තාරබර කෑලි දැම්මොත් ඉතිං ආයේ කතා නෑ හරිද ? මට අකුරු කොටන්ට බැරි නිසා ඉක්මණින් හොඳයි... නැත්නම් මං තාර බැරල් ගණන් දාන්නේ...
 .
Wipula Sumanasekera ‎@ සුභාෂ් ......
මං ප්‍රසිද්ධියේ කියන්න බැරිදෙයක් ඔයාට පුද්ගලිකව පනිවිඩයකින් එවනවා...

 .
Shani Calyaneratne
‎1. අනේ යන්න විපුල. කොහොමද එයා ජංගිය ගලව ගත්තෙ ඔය අල්ල පනල්ලෙ. අලියාට අහු නොවි. ඔයා අපිට tall stories කියනව නේද. Barron Manchausen වගේ. හෑබෑයි කතාව රසවත්.
2.. මගේ යාලුවෙක් රාජාංගනේ යාය 10 මීට අවුරුදු 20 විතර ඉස්සර උගන්නන්ට ගිහිං නෑවත...ුන ගෙදර බිත්තියෙ අලියා පිට කහනවලු. එ නිසා වරිච්චි බෑදල තියන කනු හෙලවෙන විදිහට හදල තියනවලු. හොඩවෑල ඈතුලට දාලා ලුනු, කන දේවල් හොයනවලු.
3. ගම සුන්දර නගරෙ අපි වාසය කරන නිසයි. අපි හෑමදාම ගමේ ඉන්නවනම් අපිට ගමත් එප වෙනවා. ඒක තමයි අපේ මනුශ්ය ස්වභාවය. මොකද කියන්නෙ. මම අපේ අත්තම්මගෙ ගමට ගිහිල්ලා දවස් 5 ඉන්නකොට මට එන්න හිතෙනව. කුඩෑල්ලො එප වෙනවා. උදවුවට ඉන්න අය මාව ගිය අලුත හරියට හුරතල් කරනව. මට ඉතිං ජොලි. දවස් කීපයක් යනකොට උං උන්ගෙ වෑඩට බහිනව. මං කෑලේ. මං යන දවසට අතට කීය කීය හරි දෙනකොට තමයි ආය මට පොඩි attention එකක් ලෑබෙන්නෙ. ඔන්න ඔහොමලු උනේ.

 .
Wipula Sumanasekera ශානි..මේවා tall stories නෙවෙයි... මං දන්න Barron Manchausen කෙනෙකුත් නෑ... ඔයා කියන විදියට ඔය අල්ල පන්ල්ලේ ජංගිය ගලවා ගන්නකොට අලියා යාර 10ක් 20කට ලං වුනාලු... ඕක ඈත්තටම එයාගෙන් අහන්ට ඕනේ කරුණක්...මේ එයා මට සහ ''පිනාට'' කිව්ව විදිය... නමුත් ශානි මේක තමා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව... බුද්ධිය..

Thursday, July 31, 2014

෴෴ජීවිතය රෝස මල් යහනාවක් නොවේ ෴෴



25වන ප්‍රේමකීර්තී ගුණානුස්මරණය සහ
මගේ රූපවාහිනී දැන්වීම්කරණයේ
25වන සැමරුම



වර්ෂ 1999 ජූලි 30 වැනිදා සවස් භාගයේ කිරුළපනේ ‘‘පොල්හේන්ගොඩ වලේ ’’ දී රාත්‍රී 8 ට පමණ මටත් ටෙලිස්ටාර් අධිපති සුමිතුරු බන්දුල වීරක්කොඩිටත් ප්‍රේමකීර්ති අවසන් වරට හමුවිය. ඔහු මද පමණට මධුවිතක් තොලගාමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් අගෝස්තු 1 වැනි දින මා රූගතකිරීම් කර නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති මගේ පළමු රූපවාහිනී දැන්වීමේ කථනය, අපේ අඩුවැඩිය තැබූ මේසයේම තියාගෙන එක හුස්මට ලියාගෙන ලියාගෙන ගියේය. 

දෛවයේ සරදමකට දෝ කථනය පටන්ගත්තේ මෙසේය.
 ‘‘...ජීවිතය රෝස මල් යහනාවක් නොවේ...’’  

 

රාත්‍රී 10 පමණ වන විට කථනය ලියූ කොළ කැබැල්ල මට දී අපෙන් සමුගත්තේ සුපුරුදු යතුරුපැදියට නැගෙමිනි. මෙයට පෙරද ඒ යතුරුපැදියට පින්සිදුවන්නට ප්‍රේමකීර්ති අතපය කඩාගෙන විජේරාමයේ බෝඩිමක සෑහෙන කාලයක් දුක් වින්ඳා මතක බැවින්  ‘‘ යන්ඩ පුලුවන් නේද ? නැත්නම් මං ගිහිං දාන්නම් ’’ යැයි අවසාන මොහොතේදීත් බන්දුල ඇසුවා මට මතකය. ‘‘ පිස්සුද ? මේ මගේ ප්‍රේමණීය මිත්‍රයා. අතපය කැඩුවත් මාව කවදාවත් මරන්නේ නැහැ’’ යැයි සුපුරුදු හාස්‍යයෙන් යුතුව පවසමින් අසුරු සැණින් හේ අන්තර්ධාන විය. ඒ ඔහු දකින අවසාන මොහොත හෝ ඔහුගෙ දිවියේ අවසාන දවසයැයි මටවත්, බන්දුලටවත් නිකමටවත් සිතුනේ නැත. 


෴෴෴ එහෙත් එදින රැයේ ඔහු ජීවිතයෙන් සදහටම සමුගත්තේ රුදුරු නන්නාඳුණන තුවක්කුකරුවෙකුගෙන් එල්ල වූ සිත්පිත් නැති වෙඩි උන්ඩයකට මුහුණ දෙමිනි෴෴෴


පසුදින උදේ රටපුරා පැතිරගිය මේ පුවත පෙරදින රැයේ වූ වෙරි සිඳවන්නට සමත් වූවා පමණක් නොව, ඉතාමත් ශෝචනීය ලෙසින් එදින අප තවතවත් වෙරි ගන්වන්නට ද සමත් විය. 
.

අගෝස්තු මස 1 වැනිදා උදෑසන රූගතකිරීම් සඳහා මා කැඳවාගෙන යාමට මගේ මහරගම නිවසට පැමිණ බන්දුල කිව්වේ ‘‘මචාං අපි ප්‍රේම්ගේ මළගෙදරට ගිහිංම වැඩේ පටන් ගමු’’ කියායි. කිසිදු වචනයකින් තොරව මම ඔහුගේ රථයට ගොඩවීමි. අඩ හෝරාවකින් පමණ අප නතර වූයේ ප්‍රේමකීර්තිගේ හෝමාගම කටුවන පාරේ පිහිටි නිවසේය. එහි යන විටත් කාගේත් දුක්ගන්නා අපගේ ආදරණීය ගායිකා නන්දා මාලනී සහ මහැදුරු සුනිල් ආරියරත්නයින් පැමිණ සිටියා මට අද වගේ මතකයි. ප්‍රේම්ගේ දෙන බැලීම හා පහළ වූ හැඟීම් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම ඉතාම වේදනාකාරී අත්දැකීමකි. ඒ ගැන වචනයක්වත් ලිවීම අදටත් කළ නොහැකි දෙයකි. ඔහුගේ දෙන පසෙකින්, ඔහුගේ පළමු ප්‍රියාදර බිරිඳ වූ, ගුවන්විදුලියේ දයාර්ද්‍රම නිවේදිකාව වශයෙන් කවදත් මා සලකන දයා ද අල්විස් සොයුරිය බිමට යොමු වූ නෙතින් සිටියා මතකය. එහි වූ හැඟීම් ද කිසිම විටක කවර හෝ වදන් පෙළහරකින් ප්‍රකාශ කළ නොහැකිය. අනෙක් පසෙක ප්‍රේම්ගේ එවකට බිරිඳ වූ නිර්මලා, මෙලෝ හසරක් නොදැන නිදන ප්‍රේම්ගේ කුඩා දරුවා ඔඩොක්කුවේ රුවාගෙන හැඬූ කඳුළින් සිටියා මතකය....
.

හෝරාවකින් පමණ එතැනින් ඉවත් වූ අප දවස පුරාම මහන්සි වී රූපවාහිනී වෙළෙඳ දැන්වීමේ රූගතකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නිම කළා මතකයි. ඒ මගේ - මා නිර්මාණය කළ පළමුවන රූපවාහිනී වෙළෙඳ දැන්වීමයි.
.
ඉන්පසු මා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහාම කුඩා සුජානී මේනකා පෙනී සිටි ‘‘සතෙන් සතේ ඇටෙන් ඇටේ ඉතිරිකරලා... ඉතිරිකරලා ’’ යන දැන්වීම ඇතුළුව ඇරඹි රූපවාහිනී දැන්වීම්කරණ චාරිකාව, නානාවිධ බාධක කම්කටොළු මැදින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සංවර්ධන හා ජාතික ලොතරැයිය, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, රාජා ජුවලරි ඇතුළු බොහෝ රන් ආභරණ ආයතන, එන්ඩීබී බැංකුව, පැනඩෝල්, අයඩෙක්ස්, ළමා පැනඩෝල්, නෙස්ලේ මයිලෝ, ඇන්කර්, රත්තී, ඇන්ලීන්, ඇන්මම් සහ නිව්ඩේල් යෝගට් ආදී නානාවිධ දැන්වීම් අනුග්‍රාහකයින් හරහා පැමිණ, වසර පහක පමණ විරාමයකින් පසු, දැන් යළිත් ජයෝදා, පැනඩෝල්, ළමා පැනඩෝල් සහ මැලිබන් හරහා නව මාවතකට ප්‍රවේශ වී තිබේ. 
.
මේ සියල්ල මැද නිරන්තරයෙන්ම මා දකිනා සිහිනය වන්නේ, බ්‍රිතාන්‍ය ලේඛක ලෙනාඩ් වුල්ෆ් ගේ The Village in the Jungle නවකතාව ආශ්‍රයෙන් ‘‘බැද්දෙගම’’ නමින් කොටස් 50කින් යුත් ප්‍රසාංගික ටෙලිනාටකයක් නිර්මාණය කිරීම සහ කෙදිනක හෝ මගේ පළමු සිනමා කෘතිය නිර්මාණය කිරීමයි. එහෙත් මා යන ගමනේ බාධක කම්කටොළුවල නම් කෙළවරක් නෙපෙනේ. අපල උපද්‍රව, අතපය කඩාගැනීම්, ස්වාභාවික ලෙඩරෝග ආදිය මෙන්ම රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනී මාධ්‍ය නාලිකා තුළ දැන් රජ කරනා ජරාජීර්ණ දූෂිත අල්ලස සහ දේශපාලන බලවේගයන්ගෙන් නිරන්තරයෙන්ම එල්ලවන්නා වූ බාධක එමටය. ස්වාභාවික බාධක ජයගැනීම පහසුය. එහෙත් දැන් රජ කරනා ජරාජීර්ණ දූෂිත අල්ලස සහ දේශපාලන බලවේග ජයගැනීම අපහසුය. සමහරවිට මගේ මුලු ජීවිත කාලය පුරාම එය ජයගැනීම කළ නොහැකි වනු ඇත. එසේ කියා අපල හා දූෂිත බලවේගයන්ට ඉඩදී නිහඬව බලාසිටින්නට මට නොහැකිය. මම ඉදිරියටම යමි. එසේ යන්නට සැමවිටම වෙර දරමි. මට ඔබේ සහය, ශක්තිය සහ දිරිය අවශ්‍ය වෙයි. ඔබ සැමගෙන් එවැනි සහයක්, ශක්තියක්, දිරියක් ලැබේය යන්න මගේ සුන්දර අපේක්ෂාවකි. මා සමඟම සිටින්න ! මා සැමවිටම ඔබ සමඟයි !!!

෴෴ජීවිතය රෝස මල් යහනාවක් නොවේ ෴෴ 


විපුල සුමනසේකර
2014.08.01




Saturday, July 6, 2013

*** හෙවනැල්ලත් ඇද වුනාලු ***




*** හෙවනැල්ලත් ඇද වුනාලු ***

කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැළක් වාගේ
සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ
නැංගුරමක් නැති වුනදා වාන් දමන වේගේ

ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ
උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ
පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ

තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න කියලා
කිරි අම්මා එන්න කිව්වෙ පාරෙදි මුන ගැහිලා
දියට දාන ඉබ්බත් මොන ඇන්නෑවද හිතලා
ඈඳි ගත්තෙ වටපිළ උඩ ඔයා දිහා බලලා

හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ
ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ
දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ

(
පඬුවස්නුවර හිමු ආරියවංශ)

පඬුවස්නුවර හිමු ආරියවංශ කවියාගේ "...හෙවනැල්ලත් ඇද වුනාලු..." යන පැදි සතර, ඉතාම විචිත්‍රවූ වදන් හරඹයක් මෙන්ම ප්‍රාණවත් කවි සිතුවිල්ලක් සහිත විශිෂ්ට නිර්මාණයක් බව මුලින්ම කියන්න ඕනේ. කවි සිතුවිල්ල, සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවී, ඉදිරිපත්කරන නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට බොහෝ කිවි කිවිඳියන්ට පරමාදර්ශයක්වන තරමේ කවි පන්තියක්. නිර්මාණයක් !
.
හිමූ පළමු කවියෙන්ම, අපගේ කුතුහලය රඳවා තබාගනිමින්, ආදර සම්බන්ධතාවක් කැඩී බිඳී විනාශ වුණු තරුණයෙකු දැන් සිටිනා මනෝභාවය ගෙනහැර දක්වයි.. මානසික තත්ත්වය හිමූ ප්‍රකාශ කරන්නේ අපූරු උපමා උපමේය රැසකිනි.
.
"....කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැලක් වාගේ

.....සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
.....හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ..."
.

ආදර සබඳතාව බිඳ දැමීම හරියට මකුළු දැලක් පිසදැම්මා වගේ යැයි ඔහු කියයි. ඒක සිදුවෙලා තියෙන්නේ ක්ෂණිකව. මකුළුදැල් කඩන්නෙ එහෙමනෙ... මේ සිදුකළ ඉතාම අකාරුණික ක්‍රියාව තුළින්, ආදරවන්තියගේ චරිතය කෙබඳු එකක් දැයි අප තුළ මහා සසලවීමක් ඇති කරමින්, කතානායකයා කවිය කියවන අපගේ ආදරය අනුකම්පාව දිනාගැනීමට සමත්වෙයි. ඔහුගේ නැත්නම් ඒ තරුණයාගේ මනස, එහි ස්වභාවය හිමූ ඊළඟට නිරූපණය කරන්නේ ඒ හා සමානම තවත් ප්‍රබල උපමාවක් යොදාගනිමිනි.
.
"... නැංගුරමක් නැති වුණදා වාන් දමන වේගේ..."
.

මේ තරුණයා සුළඟට හා දියරැලිවලට අසුවෙමින් මුහුදේ එහාමෙහා පාවෙන, ගසාගෙන යන, ඉරණම අවිනිශ්චිත, නැංගුරමක් නොමැති නැවක් වැනි යැයි හිමූ පවසයි. මෙම උපමා රූපක සංකේතය මූණුපොතේ  කවියක මා දුටු අලුත්, නැවුම් යෙදුමකි.
.
මෙවන් විපරීත ජීවන සංසිද්ධියක් කියමින් අපේ හදවත සසල කර, කුතුහලය හා අවධානය දිනාගන්නා හිමූ ඊළඟට වහාම පිවිසෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති ආදරය සිහිපත් කරණ ඉතාම සුන්දර වූ අතීතාවලෝකනයකටයි.
.
".....ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ

......උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ..."
.
ගමේ ගොඩපරගස් හෙවනකදි තෑගිබෝගත් හුවමාරුවෙලා. උණ පඳුරු අස්සේ " සිංදුත් " කියලා තියෙනවා. තව තවත් දේවල් හුවමාරුවෙන්න ඇති. සියුම් හාස්‍යයක් සමඟ නැගඑන්නේ මේවායින් සිතේ මැවෙන චිත්ත රූප වෙතයි. ඒවායින් ධ්වනිත වෙන යටිපෙළ අරුත් වෙතයි. "... ඒවා තේරුම්ගන්න නම් ගමකම ඉපදිලා මේ අත්දැකීම් ලබන්නම ඕනේ..."
".....පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
......දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ..."
.
මේ දෙපදයෙන් ඇය දියනා එන විට පාර දෙපැත්තේ ඇති ගස්, වැල්, මල් හිනාවුණා යන වාච්යානර්ථය අභිබවා කියන්නේ මේ සබඳතාවට "දෙපැත්තේම" ආශීර්වාදය හිමිවී තිබූ බවක් යැයි මට හිතෙනවා. එය සනාථ කරණ කරුණක්, සිදුවීමක් තමයි ඊළඟට හිමූ චිත්‍රණය කරන්නේ..
.
මෙවැනි සබඳතාවන්ට ස්ත්‍රී පාර්ශ්වයෙන් ආශීර්වාදය ලැබීම සංකේතවත් කරන්නේ, "ආහාර වේලකට" නිවසට පැමිණෙන ලෙස මනාලයාට කරණ ආරාධනයකිනි. ඇය වාසය කර ඇත්තේ සිය කිරිඅම්මා - මිත්තනිය - සමගය. ඒ නිසා මේ තරුණයා අතරමඟකදී හමුවූ වෙලාවක,"... තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න එන්න..." කියලා කිරිඅම්මා ආරාධනා කරලා. තරුණයාට මේක "..ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙද.." කිව්වා වගේ. ඇගේ ගෙදර ගිහිං කෙල්ලටත් බැලුම්දාලා, "... තිබ්බටු ආනමත් එක්ක පිට්ටුත් කාලා..." ඇවිත්. ඒ කියන්නේ මඟුල ආයි නොකැඩෙන්නම ස්ථීර වෙලා තිබිලා තියෙනවා. එහෙව් මඟුලක් තමයි මේ අවාසනාවන්ත චණ්ඩ කුණාටුවකට හසුවෙලා තියෙන්නෙ... කවියක මා දුටු ජීවන සංසිද්ධියක් සංකේතවත් කරණ තවත් අපූරු නැවුම් යෙදුම් කීපයක් මෙහිදී හීමූ යොදාගෙන තිබෙනවා.

නමුත් අවසානයේ මෙලෙස කොතෙක් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටියත්, කල්ගතවෙන කොට, ("...හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ..." ) තවත් කෙනෙකු සමග ඇය හොරෙන්ම පැනගොස් තිබෙන්නේ, ආදරය හා අනුරාගය නිසා ඇති වන මහා දුක් ගින්දරක් හදවතේ ඇතිකර, එය උතුරා පිටාරා ගැලීමට සලස්වලා. ".. මගේ හදවත රිදෙව්වේ, පෑරෙව්වේ ඇයි..." කියලා අහන්නේ ප්‍රබල නාටකීය අවස්ථාවක් නිර්මාණය කරමින්ය. කවියේ උපරිමස්ථානය එයයි.
.
"...ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ

....දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
....දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ..."
.
හීමූ මෙයින් ඉතාම වේදනාත්මක සංවේදනාවන් රැසක් අපතුළ ඇති කරමින්, විරහා වේදනාවක අභ්‍යන්තරය, ගැඹුර, ඉතාමත් කලාත්මකව ස්පර්ශ කරයි.මෙය හුදෙක් දිගු වෘතාන්තයක්, කියන්නන් වාලේ කියාපෑමක් නොවේ. හිමූ ඒ මානව සංසිද්ධීන්ට මුහුණ දුන්නාවූ චරිත දෙකක අභ්‍යන්තර හැඟීම්, කලාත්මකව, කාව්‍යයට උචිත ලෙසින් කියාපෑමකි. එක් අතකින් එය මනෝ විද්‍යාත්මක විවරණයකි. සඳැස් කවිය තුළ හිමූ ගේ සුවිශේෂී අනන්‍යතාව, හීමූ ලකුණ, කදිමට නිරූපණය කරණ, ඉතා උසස් විචිත්‍ර පද්‍ය නිර්මාණයකි. මා ඉහත සඳහන් කළාක් මෙන් සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවීම පහත් යැයි නොසිතා, හිමූ මෙම කවි පෙළ ඉදිරිපත්කරන නැවුම් නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට, ඕනෑම කෙනෙකුට මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
'
එලෙසින්ම, ගමක එදා සිදුවුණු ජීවන සංසිද්ධි, ගමෙන්ම උපත ලද උපමා රූපක, කියුම් කෙරුම්, සංකේත භාවිතයෙන්, ව්‍යංගය තුළින් උපරිම ඵල නෙලාගනිමින්, එම ගැමි ආර නොකෙළසමින්, අපේ පහන් සංවේගය සඳහා ඉදිරිපත් කිරීමට හීමූ තුළ ඇති හැකියාව හා දක්ෂතාවත්, කවියේ රසවත් බව , කුතුහලය හා අවධානය රඳවා තබාගැනීමට ඉවහල්වන එක්තරා විධියක නවීන ආකෘතික ලක්ෂණ යොදාගෙන, තමන්ටම ආවේණික ශෛලියක්, අනන්‍යතාවක් තහවුරු කරගැනීමට කිවියෙකු ලෙස හීමූ සමත්ව ඇති බව කිව යුතුමය.

හීමුට මෙලෙස සුබ පතනා ගමන්, (( අවංකවම පසුගිය කාලයේ මා දුටුවේ නෑ... මූණුපොතට මගේ පැමිණීම අඩුනිසා වන්නටත් පුලුවනි.)) මෙවැනි සුවිශේෂ කවි අනන්‍යතාවක් සහිත කවියන්වන, ධර්මලතා, සාන්ත රාජපක්ෂ, ගයනි දික්කුඹුර, ශාන්ත විජේසිංහ, ලක්ෂ්මන් නයනකාන්ත ආදී කියූ නොකියූ කිවිකිවිඳියන් රැසක් අන්තර්ධාන වී සිටීම ගැනත් දුක්වෙමි.

ඒ වගේම
....
මට විවේචන කිරීම, විචාර කිරීම දැන් එපා වෙලයි තියෙන්නේ... අද මාක්ගෙ පොත් නිකුතුව සිදුවූ සලජාකසයේ බටහිර පළාතේ රැස්වීමට ගිය වේලේ මට පැවරුණා "මාක් කිවිඳු" ගැන, ඔහුගේ "කවිය" ගැන අගැයීමක් කරන්න. අනේ ඉතිං කියලා වැඩක් නෑ. කිසිම කෙනෙක් ඇහුන් කන් දෙන බවක් පෙනුනේ නෑ. බාධා අපමණ...අන්තිමට මටත් කියාගන්න ආපු දෙවල් පැටළුණා. ඒකෙන් අසාධාරණයක් සිදුවුණා නම් සිදුවුණේ මාක්ටයි. මං ඔහුගෙන් සමාව අයදිනවා එයට.
.
තමන්ගෙ කවි ගැන විතරයි මේ වැඩි දෙනෙක් හිතන්නෙ. උනන්දුවෙන්නෙ. මහකොළඹේ ප්‍රවීණ පරසිදු මහ කවියෝ යැයි නම් දරා සිටින කී දෙනෙක් මේ රසවිඳීම කියවා "අකමැතියි" හෝ කියා තිබෙනවාද? නැත්නම් මටත් වඩා මානයකට ගොස් මෙය රසවිඳ තිබෙනවාද? පැහැදිලිව තේරෙනවා තවත් කෙනෙකුගෙ කවියක් රසවිඳිනවාට මේ වැඩි දෙනා කැමති නෑ.
.
රසවිඳ ඇති බව දැක්කත් එවැනි විචාර කියවන්නෙත් නෑ... දැකලා, එය කියෙව්වත්, නොකියවූ ලෙස නිකං ඉන්නවා.
එය මොන තරම් කුහක සිතුවිල්ලක්ද ???
මං මේ තත්ත්වය නිරික්ෂණය කළා බොහෝ කාලයක සිට.


ඒ නිසා
දැන්නම් මං නිකමටවත්, අනුන්ගේ කවි නොකියවන, අනුන්ගේ විචාර නොකියවන, විචාර නොඉවසන,"බොරු මිතුරුදම් පවත්වන" කවියන්ගෙ කවි වලට "ලයික් " එකක්වත් ගහන්නෙ නෑ...

මහ කවින් හා හොඳ මිතුරන් යැයි සිතා සිටි එවැනි බොරු, කුහක, ප්‍රවීණ මිතුරන් කීපදෙනෙක් මට මහ කොළඹින්ම හමුවුණේ නොසිතූ විලසයි.  පුදුමය නම් ඔවුන්ගෙ කවි නම් හොඳයි ....
නමුත් හදවත නම්........................
කියලා වැඩක් නෑ !

.

විපුල සුමනසේකර
2013 ජූලි 5දා මධ්‍යම රාත්‍රියේ 12.20 ට විතර....