Translate

Tuesday, November 21, 2017

උකුස්සෙකු දුටු පෝදින වියරු යථාර්ථය


උකුස්සෙකු දුටු පෝදින වියරු යථාර්ථය
දයාසේන ගුණසිංහයන්ගේ
"කිසා ගෝතමියක නොවේ 
"

දයාසේන ගුණසිංහ මහා පුවත්පත් කලාවේදියා, ලේඛකයා, කලාකරුවා මා දැන හඳුණාගත්තේ 1979 දී පමණ ලේක්හවුස් පුවත්පත් ආයතනයේදීය. පළමු දිනය අපූරු ආරම්භයක් මය. එවකට මා සේවය කරමින් සිටියේ පොල් සංවර්ධන අධිකාරියේය. සුලු කලකින් මට අසන්නට ලැබුනේ එතුමා අලුතින් බිහි වූ "දිවයින" ඉරිදා පුවත්පතේ නියෝජ්‍ය කතෘ ලෙස සේවය කරන්නට ගිය බවයි. 


සිකුරාදා දිනක හවස මගේ සේවය නිමාවී මා ප්‍රථම වරට දිවයින පුවත්පත් කාර්යාලයට අඩිය තැබීමි. දයාසේන ගුණසිංහ ශූරීන් මෙන්ම, සුමිතුරු ජයනාත් ගුණවර්ධන, සුනිල් මාධව ප්‍රේමතිලක, චන්ද්‍රසිරි දොඩම්ගොඩ ආදී බොහෝ දෙනෙකු ඒ රැය අපූරු ඓතිහාසික දිනයක් බවට පත් කළා මට අදමෙන්ම මතකයි...ගුරුවරුන් ලෙස ඈත එපිට සේවය කළා වූ පියසේන කහඳගමගේ (කග) සහ දෙනගම සිරිවර්ධන වැනි වියත් අදීන ලේඛක කලාකරුවන් රාශියක් හඳුණාගැනීමේ භාග්‍යය මට හිමිවිය. එතැන් සිට සෑම සිකුරාදාවකම රැය පහන් වූයේ එහිදීය. 
.
දයාසේන ගුණසිංහ ශූරීන් එවකට ලියූ ජනප්‍රියම තීරු ලිපිය වූ "උකුස්සා" ගේ ඇසෙන් බේරීමට මටත් නොහැකි විය. ඒ මා පොල් සංවර්ධන අධිකාරියේ සංවර්ධන අධ්‍යක්ෂවරයාට පහර දුන් නිසායැයි කියමින්, සේවයෙන් පහකොට, මාංචු ලා, කොළඹ කොටුවේ ආදිපාද වීදියේ, ලෝක වෙළෙඳ පොළ හරහා කොටුව පොලිස් ස්ථානයට අල්ලාගෙන යන වෙලාවේ,  කොහෙදෝ සිට එය දැක, ඊට පහුවදාම "උකුස්සා" රටම ගැස්සූ නිසාය. 
.
ඉන්පසු ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රූපවාහිනී හා සිනමා කලා මාධ්‍යයන්ට මෙන්ම පුවත්පත් කලාව හරහා කෙටිකතා මාධ්‍යයට වඩාත් අර්ථවත් ලෙස දායක වීමට මට අවස්ථාව සලසා දුන්නේ දයාසේන ගුණසිංහ ශූරීන්ය. මවිසින් මෙතෙක් පලකළ "සිටු කුලයෙ ප්‍රේමයක්" නම් වූ එකම කෙටිකතා සංග්‍රහයේ මහඟු පෙරවදන ලියා දෙමින් මා දිරිගැන්වූ අයුරු අද ද බැතියෙන් සිහිපත් කරමි. සැබවින්ම මා අදීන කලාකරුවෙක්, මාධ්‍යකරුවෙක්, නිර්භය පුද්ගලයෙක්, පරමාණු බෝම්බයටත් වඩා භයානක ආයුධ රැසක්  අතැතිව සිටිනා කලාකාරයෙකු බවට පත්කලේ එතුමාය. දයාසේන ගුණසිංහයෝ සැබවින්ම පුවත්පත් කලාවේ ගෞරවය සුරැකි, අදීන, අව්‍යාජ පතාක යෝධයෙකි. අද බොහෝවිට මට පේන විදියට පත්තර කලාවේ ඉන්නේ සැබෑ අදීන, අව්‍යාජ වූ පුවත්පත් කලාවේදීන් නොව "සිඟාල පාත්තරකාරයින්ය"... 
මේ අතර අපෙන් ඉක්ම ගිය කාලයේ, බොහෝ විවේක දිනවල, වෙසක් පොසොන් නත්තල් අවුරුදු වැනි දිනවල අපි "සංචාරකයින් " ලෙස ඉබාගාතේ ඇවිදගිය අයුරු මට දැනුත් සිහිවෙයි... ලැබූ අත්දැකීම් බෙහෝයැ. ඉහත දැක්වෙන කවි පන්තිය, එතුමාගේ පද්‍ය සංග්‍රහයක පලවූ එකකි. එය නිර්මාණය වීමට පාදක වුණු අත්දැකීම, මේ ඉබාගාතේ ගිය ගමන් වලදී අත්දකින්නට ලැබුණු එකකි. එය මේ සා සුවිශේෂි සංවේදී, ප්‍රබල, කාව්‍යම වදන්වැලක් වේ යැයි මා කෙදිනකවත් හිතුවෙ නැහැ. මේ එක් වෙසක් පොහෝදින රාත්‍රියක, කොටහේන ජේතවනාරාමය අසල සිදුවූ අනුවේදනීය සිදුවීමක්. සිදුවීම මුළු රැය පුරාම අපි අත්දැකීමු... එය උම්මග්ග ජාතකය වැනි අසාමාන්‍ය දීර්ඝ පතරංග එකකි. නමුත් කවියා එයින් තෝරා බේරාගන්නේ එම සිදුවීමේ පරමාණු අංශුවයි...... මෙය කවියාගේ කලාත්මක නිර්මාණ කාර්යය, අත්දැකීම, කාව්‍යමය සිතුවිල්ල, නවක කවිකිවිඳියන්ට මැනවින් තේරුම් ගැනීමට මහඟු අත්වැලක් සපයන්නකැයි සිතුනු බැවින් ඔබත් සමග මෙසේ බෙදාගැනීමට  සිත් වූයේ, ඊයේ රැය පහන්වන තුරුම මා විඳින ලද එකී සුන්දර වූ අතීත සිදුවීම් නිසා ලද උත්තේජනයෙන් ය. මෙය එතුමාට උපහාරයක්ම වේවායි පතමි.
.
මේ ඔබ සැමට කරන ඇරැයුමයි. විඳින්න !!!

විපුල - 2017 නොවැම්බර් 21 දා ....