Translate

Monday, March 7, 2011

21වන සියවසේ කාන්තාව හා මාතෘත්වය

21වන සියවසේ
කාන්තාව හා මාතෘත්වය
අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.
මට උදෙන්ම කියවන්න ලැබුනේ සමිතගේ ''කුවේණි අස්න''. මෙය නමක් නොමැති වුවත් ''අපේ කාලයේ කාන්තාවක්'' පිළිබඳ පැදියක් 

මුළුමනින්ම ගැඹුරු හාස්‍යයක්, උපහාසයක් සමඟින් ඉතා ප්‍රබල උත්ප්‍රාසයක් දනවන විශිෂ්ට කාව්‍යයක්. 

''පිරිමි පුතෙක්'' ලබන්නට සිහින දුටු විවාහක කාන්තාවකගේ එක් ශෝචනීය ඉරණමක් මෙයින් නිරූපණය වෙයි. ඇය දෙවියන්ට භාරවී දෙවියන්ගෙන් ගෞරවණීය ලෙස පිරිමි දරුවෙකු අයදියි. එහෙත් දෙවියන් ඇයට පිහිට නොවෙයි. ඇය එය හාස්‍යයෙන් වදනට නංවන අයුරු අප තුළ ඇති කරන්නේ ගැඹුරු උත්ප්‍රාසයකි.

අහළ පහළ සිව් දිසාවේ හා ඉහළින් වැඩ ඉන්නා දෙවිවරුන් ගෙන්,  ''කයිය ගහ ගහා'' ඉන්නවා ? මගේ ඉල්ලීම ඇහුනේ නැද්ද ? මං දුන්නු පඬුරු පාක්කුඩම් මදිද ? මං පේවෙලා ආවේ නැද්ද ? අද කෙම්මුර දිනයක් නෙවෙයි ද? තිස්තුන් කෝටියක් ඉඳලත් එක්කෙනෙක්වත් දරුවෙකු නැති සොවින් තැවෙන මගේ හදවත දැක්කේ නැද්ද? නැත්තම් දැකලත් නොදැක්කා වගේ හිටියද? '' ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් අසයි. එය එක්තරා විදියක දෙස්දෙවොල් තැබීමකි. මේ වදන් ප්‍රකාශ කරන ඇය අවසානයේ වියරු වූ ලෙසක් පෙනේ.  

'' රන් කහවණු - මුදල්හදල් , රසමසවුළු - දිව්‍ය භොජුන්  කොතරම් තිබුණත් ඇති ථලය මොකක්ද? ඉදින්, පුතෙක් නැති මේ පතිවත රැක්මෙන් ද ඇති ඵලය කුමක්ද දෙවියනේ? '' යයි අසන ඇය කිසියම් දරුණු පියවරක් තැබුවා හෝ තබන්නට සුදානම් වනු පෙනෙයි.

පුතුන් සියයක් ඇකයේ හොවාගෙන, දෙතනේ - ළමැදේ පිරෙන ''රුහිරු'' පොවන්නට සුදානම්වන ඇය '' දෙවියනේ ... අයේ මින් මතුවට නම්  මං නුඹලාගෙන් පින් අයදින්නේ නෑ'' යයි කියයි.

කවියේ උපරීම ස්ථානය හා අපූරු නාට්‍යම අවස්ථාව උදාවෙන්නේ ඉන්පසුයි.
''ඇස් දෙකක් ලැබිලත් නොදැක්කා සේම, කන් දෙකක් ලැබිලත් නොඇසුනා සේම, වැරදුන මඟ යළි - නැවතත් මා දුටුවෙමියි '' ඇය දෙවියන්ට කියයි.

මෙහි ඇති අපූර්වත්වය කුමක්ද? 

ඇය පතිවත පසෙක ලා පිරිමින් හඹාගොස්, පිරිමි දරුවෙකු ලබාගැනීමෙන් පසු, දරුවෙකු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, ආසාවෙන් දේවාල කරා යාම, දෙවියන් පසුපස යාම, නිර්ථක කාර්යයක් බව පසක් කර ගත්තාද ?

නොඑසේනම්, දෙවියන් සිය බලාපොරොත්තු ඉටු නොකිරීම නිසා, පතිවත පසෙක ලා, පිරිමින් හඹා ගොස්, එයින්ද පිරිමි දරුවෙකු ලබාගත නොහුනු ඇය, තමන්ට මඟ වැරදුන බව  මෙනෙහි කරද්ද ? 

මේ අන්ත දෙකෙන් කවර හෝ අන්තයක්, අපට රිසි අයුරින් සිතාගැනීමට ඇගේ මේ කාව්‍ය ප්‍රහසනයේ විවෘත අවසානය අපට ඉඩ සලසයි. මෙය උපක්‍රමශීලී කාව්‍යම හා කලාත්මක, ශිල්පීය අවසානයකි.

තත්ත්වය මෙසේ වුවද, මෙහි ''පිරිමි පුතෙක්'' යන යෙදීම කිසි ලෙසකින් යෝග්‍ය නොවන, රිද්මය පවත්වා ගැනීමට යොදන ලද  ''සක්ක පදයක් '' ලෙසින් කැපී පෙනේ. මන්ද පිරිමි පුතුන් මිසක් මෙලොවේ ගැහැණු පුතුන් නොවන බැවිනි. මෙය පහසුවෙන් වළක්වාගත හැකිව තිබුනු දෝෂයකි. 6වන කවියේදී ඇය, යළි දෙවියන්ගෙන් කිසිදා ''පින්'' යැදීමක් නොකරන බවක් පවසයි. ඇත්තටම මෙහිදී ඇය පින් අයදින්නෙ නැතැයි කීවාට වඩා ''පිහිට'' අයදින්නේ නැතැයි කීවා නම් තමා වඩාත් උචිතවන්නේ. මන්ද දෙවියන්ගෙන් අප යදින්නේ පින් නොව පිහිට වන බැවිනි.

කෙසේවතුදු, මේ සුළු අඩුපාඩුව හැරුනු කොට, සමස්තයක් ලෙස ගත් කල මෙම පැදිය අන්තර්ගතයෙන් අපේ කාලයේ ළඳකගේ හදවත විවර කරන ඉතාමත් යථාර්ථවාදී මෙන්ම එඩිතර නිර්මාණයක්, උත්සාහයක් වන්නාහාම, කලාත්මක පැදියේ නිම්වළලු පුළුල් කරන, ශිල්පීය වශයෙන් හා කලාත්මක වශයෙන් උසස් නිර්මාණයක් බව පැවසීම යුක්ති සහගතය.  

ගායනා කිවිඳියක සේ පෙරට තබන පියවර  සාර්ථක වී  
සිංහල කවියේ මඟ හෙළිපෙහෙළි වේවා ! බැබලේවා !!!    



අපේ කාලයේ කුවේණි අස්න

අපේ කාලයේ 
            කුවේණි අස්න

සමිතගේ මේ නිර්මාණය ඔහුගේ අනෙක් විශිෂ්ට නිර්මාණ හා සමඟ එක පෙළට තැබිය හැකි, ප්‍රබල සංවේදනාවන් රැසක් අප සිත් තුළ ජනිත කරවන රස මවන අපූරු කලාත්මක පැදි පෙළක්.

විචිත්‍ර සංසන්දනාත්මක උපමා රූපක ද්විනිතාර්ථ නංවන්නේ හද සසල කරන හැඟීමක්. අතීත කතාව හා අපූරු රන් හුයකින් බැඳ ඔබ කියන මේ සමකාලීන කුවේණියගේ කතාව, කවිය සතු ව්‍යංගාර්ථයේ උපරිම යයි සිතමි.

මේ විජය, කුවේණිය හා දරුවන් හැරපියා ගොස් ඇත්තේ අතීතයේ හුන් විජය කළ පරිද්දෙන් නොව රිය අනතුරකිනි. ඒ ජීවහස්ත දීසාලා උපදින්නටත් පෙරය. වත්මන් සංකීර්ණ සමාජ ක්‍රමය තුළ මේ කුවේණියට හා දරු දෙදෙනාට අත්වන ඉරණම ගැන සිතන විට අප සිත් තුළ ඇතිවන්නේ කිව නොහැකි සංවේගයකි. එය මේ පැදියේ මුඛ්‍යාර්ථයයි.

ඉතාම සියුම් මානුෂීය නාට්‍යම අවස්ථාවක් ඔබ අවසානයේ අප ඉදිරියේ නිර්මාණය කරයි. ඒ මුල්වරට සිය දරුවන් දෙදෙනාට සිය පියා වූ විජයගේ සේයාරුවක් පෙන්වීමේ අවස්ථාවයි....

පෙර අපර කතා මෙන්ම මතුපිටින් පෙනෙන කතාවන්ට යටින් දිවෙන අපූරූ, විචිත්‍ර සංසන්දනාත්මක වෘතාන්ත තුළින් ව්‍යංගාර්ථය උපරීම ලෙස ස්පර්ශ කරමින් පැදි නිර්මාණය කිරිමේ ශෛලිය සමිතට ම ආවේණික වුවක් යයි මට සිතේ. මන්ද, මූණු පොතේ අනෙක් කවියන්ගෙන් මා එවැනි කවි නොදකින නිසාය. අනුරාධා සොයුරිය ඉඳහිට ලියන කවියක මෙවැනි පැරැණි ඓතිහාසික කතාවක චරිත හා බැඳුනු සංසන්දනයක් ඉතා අල්පමය වශයෙන් දක්නට ලැබෙයි.

එහෙත් සමිත බෙහෝවිට මේ ශෛලියට අනුගතව අපූරු විචිත්‍ර පැදි මගින් අපට ළංවෙයි. අප හඬවයි. මේ ශෛලිය ඔහුගේ කවියේම ස්වභාවය නැත්නම් අනන්‍යතාවක් බවට පත්කර ගනී. එයම සමිතගේ නිර්මාණ ප්‍රතිභාව හා කවිත්වය අපට කියාපාන අපූරු නිමිත්තකි.

ඔබට මෙන්ම සිංහල කවියේ ඉදිරිගමනට 
මගේ සුබ පැතුම් !!!  

Saturday, March 5, 2011

''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි''

                       
''ගෙදර බුදුන් අම්මා නොව 
                  අපේ අක්කයි''
                                                     
සුදීපා මිහිරි කිවිඳිය, මේ පැදි නිර්මාණය එවන්නේ හේනක් තියා බොරළු කාෂ්ඨක පොළවක් පේනතෙක් මානයක නැති , එහෙව් පොළවක දාඩිය පෙරාගෙන, නැහීගෙන සිය ජීවිතයම කැපකරනා මෙවන් සොයුරියක් සිටින්නේ දැයි නොදන්නා , මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස්  සරසවියේ සිටය.  

සිය සොයුරු සොයුරියන් රැකබලා ගැනුමට අම්මා කෙනෙකු වූ ''අක්කා'' කෙනෙකුට පිදෙන උපහාරයක්. මේ කවියෙන්, ඉතාම සියුම් සංවේදනා ගෙන දෙන,  ඛේදනීය ඉරණමකට මුහුණදෙන, මුළු දිවියම ශෝකාන්තයක් වූ කාන්තාවක් කරණ මානුෂීය කැපකිරීමක් චිත්‍රණය වෙයි. 


                ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි'' යනුවෙන් මිහිරි ඒ කවිවැල නිම කරන්නේ ඊට කලින් ඇති වචනයක් පාසා ඒ නිගමනයට ඈ පැමිණියේ ඇයිද යන්න සාධාරණීකරණය කිරීමෙනි. සිදුවිය යුත්තේ එයයි. කවියේ ගොඩනැගෙන උපරිම අවස්ථාව හා සියුම් නාට්‍යම ගැටුම උපරිම ස්ථානයකට පැමිණෙන්නේ මෙහිදීය. එය කිසියම් මට්ටමකින් සිදුවී ඇත.

නමුත් ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි'' යන්න කියන විට ඇතිවන නාට්‍යම අවස්ථාව, මානුෂීය ලෙස තවතවත් ඉතා තීව්‍රකරගැනීමට තිබුනු අවස්ථාවක්, මිහිරි අතින් නොදැනීම ගිළිහී ඇති බව පෙනේ.  


අපට මේ කතාව කියන නංගිගේ හෝ මල්ලිගේ, එනම් මේ සියළු කැපකිරීම් කරන අක්කා ඇතුළු මුළු පවුලේම ''අම්මා හා තාත්තා'' කිසියම් ලෙසකින් අහිමි වී ඇත. සමහර විට දෛයිවෝපගත ''ස්වාභාවික ඉරණමකට'' ඔවුන් දෙදෙනා මුහුණ දුන්නා විය හැකිය. මේ පිළිබඳ කිසියම් ඉඟියක් මේ පැදියට එක් කළේ නම් ''අක්කා'' කරන ලද සුවිශේෂ කැපවීම තවතවත් තීව්‍ර වෙනු ඇති. මූර්තිමත් වනු ඇති. එයින් මිහිරි අවසානයේ සාධාරණීකරණය කරන මානුෂික පණිවිඩය වන ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි''  යන්න තව තවත් ඔප් නැංවී, සියුම් නාට්‍යම අවස්ථාව වඩාත් තීව්‍රකරමින්, අක්කා හා ඇය කරන ලද කැපකිරීම වඩාත් සංවේදී ආකාරයෙන් අපගේ හදවත් වෙලාගන්නවාට කිසිදු සැකයක් නැත....

මෙය විරිත, රිද්මය රැකගත් සඳැසකි. ඉදිරිපත්කර ඇති ආකාරයෙන් නම් පෙනෙන්නේ නිසඳැස් ස්වරූපයකි. කවියේ ප්‍රධාන මෙවලම හා බලය ඇත්තේ තම සංකල්පනාවේ හා වදන් පෙළ මතයි. එය මැනවින් හැසිරවීම මතයි. 


සිය කාව්‍යම සංකල්පනාව සංවේදී පද පෙරළියකට හසුකරගැනීමට ඈ මෙහිදී පලකර ඇති නිර්මාණ ප්‍රතිභාව කිවිඳියක ලෙස ඈ සතු අනාගතය කෙබඳු එකක්දැයි අපට මොනවට පසක් කරයි. 
මගේ සුබ පැතුම්....     

Monday, January 31, 2011

මගේ සිතිවිලි: හීමුගේ  ' විස්කම් ' මට පෙනෙන හැටි.... ''ඉසිඹු ...

මගේ සිතිවිලි: හීමුගේ ' විස්කම් ' මට පෙනෙන හැටි....




''ඉසිඹු ...
: "හීමුගේ ' විස්කම් ' මට පෙනෙන හැටි.... ''ඉසිඹු ලන සඳ මලානික හද - තිසා වැව ළඟ බලාගෙන මඟ'' ... සඳපානක මහත් අමාරුවෙන් තිසා වැව් ඉවුරට ග..."
හීමුගේ  ' විස්කම් ' මට පෙනෙන හැටි....





''ඉසිඹු ලන සඳ මලානික හද - තිසා වැව ළඟ බලාගෙන මඟ'' ... සඳපානක මහත් අමාරුවෙන් තිසා වැව් ඉවුරට ගොඩවුනු කවියා, විවේකයක් ගෙන මදක් වෙහෙස නිවාගන්නවා.


''පෙරා මඳහස ගෙනේ මඳ නල''.... මේ වෙලාවේ හමා එන්නේ ලිහිල් - සිසිල් මද නලක්. එයින් දැනෙන සුවයට සනීපෙට ඉබේටම වගේ නැගෙනවා ඔහුගේ මුහුණේ සියුම් මඳහසක්....  


''ඔබේ සුදු වත වගේ රළ නැග ''...  ඔහු ළඟ කාන්තාවක් ඉඳලා තියෙන හැඩයි. ඇය සුදු හෝ කළු ළදක් වුවත්, නැතත් , ඇගේ මුහුණට සඳ එළිය වැටී සුදු පැහැගැන් වී ඔහුට පෙනුනා විය හැකියි. මද සුළගේ සිහින් රැළි නංවන වැව් දියමත සඳ එළිය වැටුනාම සුදේ සුදට දිළිසෙමින් අපූරූ සිත්තමක් මැවෙයි...  


''සරා සඳ ළඟ තබා උගසට - සෙනෙහෙබර සිතිවිලි පරාසය'' ... මෙහිදී සරා සඳ යන්න සරත් කාලයේ - සෘතුවේ, නැගෙන සඳ යන්න හා ''සරාගී, රාගික හැඟුම් දනවන සඳ'' යන්න ලෙස ද්විත්වාර්ථ නැංවෙයි. උදාවූ අවස්ථාවේ හැටියට, ඓතිහාසික ඉසුරුමුණි විහාරයට ආවත්, කවියාගේ සිතෙහි කිසියම් රාගික හැඟීමක් මතුව ආ සැටියක් ඉවෙන් වගේ මට මෙයින් දැනේ....(( එළිමහනේ නෙළා තිබුනු පෙම්යුවල දැන් තබා ඇත්තේ ''අඳුරු'' කුටියක නිසා ඕනෑම අයෙකු තුළ කිසියම් රාගික හැඟීමක් ඇතිවෙයි. කවියා මෙය නැරඹීමෙන් පසුව තිසාවැව් ඉවුරට ආවාම රාගික හැඟීමක් ඇතිවන එක පුදුමයට කරුණක් නොවේ.))...  
නැත්නම් අහවල් දෙයකටද ඔහු තමාගේ සෙනෙහස ආදරය හඳට උගස් කරන්නේ ?  

(( මං මේ කවි පන්තියේම දකින අප්‍රියම වචනය මේ 'උගසට' යන වචනයයි. මෙයට වඩා හොඳ වචනයක් හීමූට හොයාගන්න බැරිවුන හැටි ! )) 

මගේ සැකය - ඉවෙන් දැනුන දේ නිවැරදියි. ''නුරා ගිනිදැල් බුරා ඇවිලෙන - සෙනේහය මත දවා අළු කර ''... කවියා ඊළඟට කරන්නේ තමාගේ සිතේ නැගුනාවූ, ඇවුළුනාවූ ඒ රාගික හැඟීම් සියල්ල, සෙනේහය මත හොවා සම්පූර්ණයෙන් දවා අළුකර දැමීමයි. ..... ((ඔන්න පන්සල් ආවයි කියලා මතක් වුනාම කළ දේ... හරි අපූරුයි...  සැබෑ ආදරවන්තයොත්, භක්තිවන්තයොත්, මෙහෙම තමයි තමන්ගේ සිත් දමනය කරගන්නේ මේ ‍වගේ වෙලාවල්වල.)) මේ මානසික ස්වභාවය කවියා අව්‍යාජව විනිවිද දැක, කලාත්මකව පැවසූ අයුරු හරිම චමත්කාර ජනකයි. 


එසේම මේ තෙවෙනි කවිය හා සිව්වෙනි කවිය අතර වර්තමාන කවියා මුහුණ දෙන අවස්ථාවට හා අතීතයේ පිළිම නෙළු කැටයම් කලාකරුවා මුහුණදුන් අවස්ථාව සමඟ අනිච්ඡානුග සහසම්බන්ධයක් ඇති බව හැ‍ඟේ. ඒ නිසයි ඔහු ඊළඟට කියන්නේ   ''...සදාකාලික ශෛලපිට මත - නෙළා කැටයම වෙළා ගතතර - විහාරය ළඟ ඉසුරුමුණිවර - කළා රන්මසු පොකුණ අබියස... '' වශයෙන්.


කලින් කවියේ ඇති අනිච්ඡානුගත සහසම්බන්ධය නිසා මට හැ‍ඟෙන්නේ, මෙලෙස ඉසුරුමුණි පෙම් යුවල නෙළු කලාකරුවාද, සියළු සෙනේබර හැඟීම් සඳට උගස්කර, ඔහු තුළ ඇතිවූ රාගික හැඟීම් ඒමත හොවා, දවා හළුකරමින්, සුපහන් වීතරාගී හැඟීමකින් යුතුව, ඉසුරුමුනි විහාරය අසල ඇති, රන්මසු උයන ඉදිරිපිට සදාකාලිකව පවතින සේ මෙම පිළිමය නෙළා ඇති බවයි. එම ගල්තලාව තරයේම වෙළාගෙන ඇති පරිදි මේ කැටයම ‍නෙළා ඇති බවයි. (( ගලේ කෙටූ දෙයක් ඉරහඳ පවතිනා තුරු වෙනස් නොවන බව අපේ ජන ජීවිතය තුළ ඇති විශ්වාසයක් නේ. කවියා මෙයින් යම් ආලෝකයක් ලබා ඇති බව පෙනෙයි.))


((නමුත් මේ සියළු කලාකරවන්ට, කවියන්ට හා ජන විශ්වාසයන්ට සරදම් කරමින්, ''සදාකාලික ඒ පෙම්යුවළ '' තමන් උපත් ලද, තරයේ වෙළාගෙන සිටි ගල්කුල ද අහිමිකරමින්, අද අඳුරු කුටියක සිරකර තබා ඇති බව චින්තක අබේරත්න සොයුරාගේ කමෙන්ටුව සාක්ෂි දරයි. මීටත් වඩා දෛවයේ සරදමක් තවත් තිබේද?))


මේ හීමුගේ පැදිය මට දැනුන අයුරුයි. හීමූද මෙලෙසින් සිතා මේ පැදිය රචනා නොකලා විය හැකියි. එසේම තවත් කෙනෙකුට මෙයට වෙනස් තලයකට පිවිස මේ පැදිය - නිසඳැස රසවිඳීමට මගේ ප්‍රකාශනය බාධාවක් නොවනු ඇතැයි හඟිමි. 

අවසාන වශයෙන්, මේ පැදිය චිත්තරූප මවමින්, ව්‍යංගය හා උපමා රූපක තුළින් කවි සිතක් අව්‍යාජව අනාවරණය වූ , නැතහොත් නිරාවරණය කළ,  සොඳුරු අවස්ථාවක් බවත්, කාව්‍යකරණයේ පද බෙදුම හා යෙදුම මෙන්ම රිද්මය ද සමගින් කිසියම් අපූර්වත්වයකින් කළඑළිදුටු තවත් විශිෂ්ට නිසඳැස් නිර්මාණයක් බවත් නොපැකිළව සටහන් කරමි. 

ඔබේ නිර්මාණශීලී දිවිය තව තවත් සරුවේවා !!!   






Sunday, January 16, 2011

කමළසිරිගේ කවිය මා දකින හැටි....


කමළසිරිගේ කවිය 
            මා දකින හැටි



ආදරණීය මවක්, ගිහිගෙය හැරපියා ගොස්, මතු බුදුබව පිණිස හෝ දැන් විඳින දුක්කන්දරාවෙන් සියළුදෙන ගලවාගනු පිණිස මේ ආත්මයේම බුදුවීමට මහණදම් පුරණ පුතෙකුට තම දිවියේ යථාර්ථය පහදා දෙමින් විවරණ දෙන සැටියි මේ.

සිය මව විසින්  '' දුක නිවන මග - නිවන - සොයන බුදු පුතේ '' යයි අමතන මේ යතිවර පුත්‍රයා සිටින්නේ එසේ මෙසේ  තැනෙක නොවේ. වෙහෙර දාගැබ් හතර වටේ තිබුනත්, බුදුවෙන්නට සිතන කිසිම කෙනෙකු (පසේබුදුවරයෙකු)  අඩිය නොගැසූ, නොපැමිණි, කඳුහෙල් පිරි ඝන වනාන්තරයක ඇති ගල්ගුහාවකයි.

දෙවැනි කවිය, එහි ව්‍යුහය අනුව අර්ථ දෙකකින් රසවිඳිය හැකිවෙයි.

පළමුවන විධිය මෙසේය .... ''නුඹේ පියා, සඟරුවනට පළමු තැන දෙමින්, ඔවුන් සැමවිටම හිස් මුදුනේ තබාගනිමින්, පංසලේ බෝධියේ ආතේවකම් කර කර, අත්දෙක දිය වෙනතුරු බොහෝ කල් බෙර වයමින් සිට, ආහාරවල ඉඳුල් සුවඳ ඉවකරමින් ඉඳලා අන්තිමට කන්ට නැතිවයි මැරුනේ ! '' 

''නුඹේ පියා, පංසලේ බෝධියේ ආතේවකම් කර කර, ආහාරවල ඉඳුල් සුවඳ ඉවකරමින් ඉඳලා අන්තිමට කන්ටත් නැතිවයි මැරුනේ... නුඹේ අත්තලා නැත්නම් සීයලා, සඟරුවනට පළමු තැන දෙමින්, ඔවුන් සැමවිටම හිස් මුදුනේ තබාගනිමින්, අවුරුදු ගාණක් බෙරගහලා අන්තිමට පන්සලටම දියවුනා..! '' යන්න දෙවැනි විධියයි.
 
මේ දෙවිධියෙන්ම ඉතා සංයමයෙන් වුවද ප්‍රබල ආකාරයෙන්, කවියා ව්‍යංගයෙන් නොකියා කියන්නේ ''නුඹේ පියා, සීයලා, (අත්තලා) ඇතුළු කිසිම කෙනෙකුට අපේ පවුල්වල දුක්ගිනි නිවන්නට, නිවන් ළඟාකරගන්නට නොහැකි වුනා. පුතේ නුඹ කරන්නෙත් නිරර්ථක නිස්සාර දෙයක් ''  බවයි. මේ කවර විධියකට හෝ වේවා ගොඩනැගෙන හාස්‍යය හා  උපහාසය මුසුව නැග එන,  කුරිරු වූ දේශපාලනමය හා සමාජ යථාර්ථය කිසියම් අනුවේදනීය පහන් සංවේගයක් අප සිත්තුළ ඇතිකරවයි.  

තෙවැනි කවියේ මුල් පද කීපයෙන් ඇය සෘජු ලෙසම දමාගසන්නී, ''නුඹේ නංගිගෙයි මල්ලිගෙයි පොත් ලැයිස්තුව දිගට දිගයි. අහසට උසයි. ඉගෙනගන්න, පාසැල් යන්න බැරිව උන් වැළපෙනවා ...'' යයි පවසමිනි.

එහෙත් අවසාන කොටසින් කවියා වඩාත් ව්‍යංගයෙන්, උත්කෘෂ්ඨ වූ නාට්‍යම අවස්ථාවක් නිර්මාණය කරමින්, දේශපාලන හා සමාජ යථාර්ථය විනිවිද දකිමින්, යටිපෙළ අරුත් ගණනාවක් මවමින් ...'' කන්ඩ බොන්ඩ හිඟ නිසා වැහැරුන නුඹේ මවට, මට,  දැන් දරුවන්ගේ බර දැනෙනවා. අපි අන්තිමට දන්සැලේ පෝලිමේ....'' යනුවෙන් කියන්නේ අපේ හදවත පාරවමිනි. ගහට වැලට පලය-ගෙඩිය බර නැති බව අපේ සමාජයේ එදා සිට මුල්බැසගෙන ඇති සම්මතයන් කවියාගේ වියරු උපහාසය නිසා උඩුයටිකුරු වෙයි.

මෙහිදී යටි පෙළේ  ගැබ්වන තවත් අරුතකි '' අප හේවිසිකාරයෝ වූ නිසාවෙන් දන්සැලේ පෝලිමේත් හිමිව ඇත්තේ අන්තිම බව, අවසානය බව ''. මදක් සිතන්න, කවියා මෙය කියන ව්‍යංගය, කවිය තුළ උපරීම නාට්‍යමය අවස්ථාවක් නිර්මාණය කරමින්, කවිය ඉහළම තලයකට ගෙනයන අයුරු.

''.....මහ පොළව නිසරු වී - පල වැලට බර දැනී 
  අපි පෙළේ අන්තිමට දන්සැලේ ...................''   

ඉතා විශිෂ්ටතම නාට්‍යම අවස්ථාවක් නිර්මාණය කරමින් කරුණාව, දයාව හා හාස්‍යය මෙන්ම උපහාසය ද මිශ්‍රවී ගොඩනැගෙන, ගැඹුරු එහෙත් වියරු උත්ප්‍රාසය අපේ ලේ, මස්, ඇට, නහර දිගේ දුවවිත් ගත සිත දෙකම හිරිවට්ටවා,  කවියා අපේ සිත් හා ජීවිත ගල්කරන්නේ,  මේ ජරාජීර්ණ ලොව - සමාජය තුළ කැකෑරෙන අසමාන, අමනෝඥ දේශපාලන හා සමාජමය යථාර්ථය විශිෂ්ට කවියෙකු ලෙස ග්‍රහණය කරමින් අපට ඒත්තු ගන්වමිනි.