Translate

Monday, August 13, 2012

මගේ සිතිවිලි: අනුරාධාගෙන් ලොකු පුතාට...

මගේ සිතිවිලි: අනුරාධාගෙන් ලොකු පුතාට...: අනුරාධාගෙන් ලොකු පුතාට... මේ කියන්නේ අපිව මෙලොවට බිහිකළ සාමාන්‍ය ජීව විද්‍යාත්මක අම්මා ගැන නම් නොවේ මට දැනෙන විදියට. ලක්මවගේ - මිහිමවගේ ස...

අනුරාධාගෙන් ලොකු පුතාට...

අනුරාධාගෙන් ලොකු පුතාට...

මේ කියන්නේ අපිව මෙලොවට බිහිකළ සාමාන්‍ය ජීව විද්‍යාත්මක අම්මා ගැන නම් නොවේ මට දැනෙන විදියට. ලක්මවගේ - මිහිමවගේ සදාකාලීන උරුමය දුක්ඛ යථාර්ථය කැටිව ලියවුණු අපූරු, විචිත්‍ර, විශිෂ්ට කවි සිතුවිල්ලක්. නිසඳැසක්.


නිසඳැසක හෝ සඳැසක හෝ වේවා ව්‍යංගයේ උපරිම ස්ථානය. එය කලාත්මකව සිදුකිරීමයි මා දකින අනුරාධාගේ විශිෂ්ට කාව්‍යමය ප්‍රතිභාව.


දිනෙන් දින වියපත් වෙමින් - මහළුවෙමින්, හිසට සෙවනක්ද අහිමිව, දීගයක යා නොහැකිව රටේ ලොවේ විළි වැසීමට නිදහස් වෙළඳ කළාපයේ ඇඳුම් මසන අක්කා, රටට ලොවට පෙනෙන්නට විළිවසාගන්නට උත්සාහ කරන, අනුන්ට නිවාස සාදාදෙන මංත්‍රි පුතා සහ මේ දුක්ඛිත යථාර්ථයට හරිහමන් අරමුණකින්, දැනුමකින් හා සුදුසු නායකත්වයකින් තොරව විරෝධය දක්වන බාල පුත්‍රයා, මොවුන්ට ජීවය දුන්, ජීවිතය දුන් සංසාරණ්‍ය යේ නිරන්තරයෙන්ම සැරිසරණ අප කවුරුත් දන්නා අපේ අම්මා. දාරක ප්‍රේමයෙන් යුතුව සියලු බර සිත්හී දරාගෙන, උපේක්ෂාවෙන් මෙත් වඬන අම්මා - ලක්මව - මිහිමව.

අපූරු චරිත සොයා යෑමක්.....


නිසඳැස් වේවා, සඳැස් වේවා,මෙවැනි කවි විරළයි මූණුපොතේ. සඳැස හා නිසඳැස සඳහා වෙන්වුණු කවි පිටුවල නිතරම දක්නට ලැබෙන්නේ ජීවිතය මතුපිටින් අනුදැන, මතුපිටින් අතගා ලියන ගැඹුරකින් තොර කාව්‍ය නිර්මාණ. ඒවායින් රසවිඳින අපට ලැබෙන ආනන්දය හා ප්‍රඥාව කවරෙක්ද යන්න මට නිතර සිතෙන දෙයක්. එවන් පසුබිමක මේ කවිපෙළ අපගේ හදවතේ හා මනසේ සියුම් සසල කිරීමක් සිදුකරයි.


මෙලෙස අපේ දුක්ඛිත යථාර්ථය පිළිබඳ විචිත්‍ර කවි සිතුවිලි ඉඳහිට හෝ නැවුම් ආකාරයකින් දකින්න හමුවන්නේ සමිත අටුවෙබැන්දෑල හා අනුරාධා වැනි ඉතාම සීමිත කවි කිවිඳියන් කීපදෙනෙකුගෙන් පමණයි. මෙයින් සමිතගේ කාව්‍යමය ප්‍රවේශය විශිෂ්ටයි සැමවිටම. සමිතගේ - කළුකුමාරයා නොහොත් කරාම ප්‍රේමය ! - කොහිල වෙළෙන්දා - හීනය - ක්‍රිෂ්ණා සහ රාධා - සිරීපාදේ - කපුටු බෝධිය - වැනි කවි කියවන ලෙස, අධ්‍යයනය කරන ලෙස,මේ සුවිශේෂී ගුණය විඳින ලෙස, මා ඇරයුම් කරන්නට කැමතියි මූණුපොතේ සැමටම.


අනුරාධා අතින් හැමවිටම පසුගිය කාලයේ මෙවැනි අර්ථාන්විත නිසඳැස් කවි ලියවුනේ නෑ. විටෙක එක දිගටම ඇගෙන් ලියවුනේ හුදෙක් විරහා කවි සංකල්පනා පමණයි. විටෙක ඒ නිසාම ඇය මගේ ද, සෙසු විචාරකයින්ගේද දෝෂ දර්ශනයට ලක්වුණා. ඒත්... ඒ හැමවිටම ඇය කවියේ ඇති ශ්‍රේෂ්ට කාව්‍යම ලක්ෂණ - උපමාරූපක, සංකේත, අලංකාර මෙන්ම කාව්‍යම වදන්, නාට්‍යම ප්‍රවේශය හා ව්‍යංගය කෙළසුවේ නෑ. එය වෙසෙසින් සඳහන් කළ යුතුමයි. ඒ නිසා ඇය කවර අත්දැකීමක් පාදක කරගෙන කවියක් ලිව්වත් එය අපගේ හදවත තුළ කිසියම් නැවුම්, සියුම් රසභාවයන් හා සංවේදනාවන් රැසක් දනවන්නට සමත් වුණා.


කොතෙක් කවි පිටු තිබුනත් කාව්‍යම ලක්ෂණ රැකගනිමින්, මෙවැනි දුක්ඛිත හා සමාජ යථාර්ථයන් සංවේදී හා කලාත්මක ලෙසින් ස්පර්ශ කරන කවි කිවිඳියන් හා කාව්‍ය නිර්මාණ විරළ මූණුපොතේ, අනුරාධාගේ මේ කවිය මෙන්ම සමිතගේ කවි සිතුවිලි රැගත් කාව්‍ය නිර්මාණ ද, අන් සැමටම මඟ පෙන්වන්නක් වේවායි ඉත සිතින් සුබ පතමි. එසේම අනුරාධාගේ කවීත්වය තව තවත් ඔපමට්ටම් වී අර්ථවත් නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවායි පතමි.


( සමිතගේ කවි හා අන් අයගේ කවි සංසන්දනය කරමින් ලියූ මේ ගැන කිසිවෙකු උරණ නොවනු ඇතැයි සිතමි. ඒ අදහස් දැක්වීමකදී මා අනුගමනය කරන නාට්‍යම ප්‍රවේශයයි...)