Translate

Monday, December 20, 2010

ඉන්දික මගේ හිතේ කෙටූ ටැටූ

හෙවත් පච්ච
ඉන්දිකයි මායි ටිකක් පරණ යාළුවෝ... ඒතරම්ම පරණ නෙවෙයි. 2008 - 2009 යන වසරවල අපි දෙන්නම එකම පවුලේ  සහෝදර ප්‍රචාරක සමාගම් දෙකක සේවය කළා. දෙකම තිබ්බේ උඩ - යට හා එකම ගොඩනැගිල්ලේ වම - දකුණේ. සමාගම් දෙකේ නම් දෙක නම් අහන්ට එපා. හැබැයි ඉන්දික කළේ ''වැඩිහිටියන්ට පමණයි'' කියලා තියෙන වැදගත් භාන්ඩ ප්‍රචාරණ වැඩසටහන්. මං කළේ ''ළමා'' වැඩසටහන්. අයියෝ කියලා වැඩක් නෑ. 1+ සහ 3+ වැනි අඳ-බාල භාණ්ඩ ප්‍රචාරණ වැඩසටහන්.  ඒ වගේම අපි කෑවෙ බීවෙත් 1+, 3+ දේවල්. ෆුල් ක්‍රීම් පාවිච්චියක් ඇත්තෙම නෑ. නමුත් ඉන්දික නම් දිනපතාම වගේ , සාමාන්‍ය කාර්යාල වෙලාවෙන් පස්සේ, හවස් වරුවේ, ටිකක් රෑ වෙන්ට, හිත හොඳ කාටත් වගේ ගොඩවදින්ට පුළුවන් ජංගම අවන්හලක් දානවා. දවසක් දෙකක් ඒකාලේ වැඩ ඇරිලා මාත් ගොඩවැදිලා ෆුල්ක්‍රීම් ටිකක් බීලා ගිහිං තියෙනවා. අපි  අන්තිමට  හමුවුනේ  ''සමර්ගාඩ්න්''  වලදි.    
                   
අපි අතර හිටිය හොඳ හිතවතෙක් සමුගෙන යන දවසේ ''සමර්ගාඩ්න්'' ගිහිං බොහොම රෑ වෙනකම්  ඉඳලා අපි කාගෙනුත් සමුගත්තා. 

ඒ කාලේ මං ඉන්දික ගේ කවි කියවලා නැහැ. ඉන්දිකගේ කවි කියවන්න පටන්ගත්තේ  බ්රූනායි ආවට පස්සේ සයිබර් අවකාශයට ඇවිත්. ඒ කවි ඉන්දික හඳුන්වන්නේ ''හිතේ කෙටූ ටැටූ '' කියලා. නම පවා අපූරු නිර්මාණාත්මක එකක්. ඇත්ත ඒවා ටැටූ නැත්නම් පච්ච සහමුලින්ම මැකිලා යන්නේ නැති. දැන් ඒක පොතක් හැටියට දෙසැම්බර් 4 දා නිකුත් වෙනවා. මට මේ උළෙලට ඉන්න නොලැබුන එක ගැන කණගාටු වෙන ගමන්ම, එය අතිශයින්ම සාර්ථක එකක් වේවායි මගේ හෘදයාංගම සුබපැතුම් පිළිගන්වන්න කැමතියි. ඒ සමඟම ඉන්දික මගේ හිතේද, හදවතේද කෙටු  ටැටූ කීපයක් මට මතක තියෙන හැටියට පහතින් සටහන් කරනවා.  ඉන්දිකගේ ටැටූ නිසඳැස් නේ. ඒ හින්දා හරිහැටි පාඩම් නෑ... සඳැස් වුනා නම් ''ලෝවැඩ සඟරාවේ '' කවි පාඩම් කලා වගේ කටපාඩමින් කියන්න තිබුනා. මොකද මේවා ඉන්දික ලියලා තියෙන්නෙත් ''ලෝවැඩ'' පිණිසමනේ. හැබැයි මං මේවා සඳහන් කරන්නේ මට මතක ඇති ලෙසට... මගේ හිතේ සේදී නොගිය  ''ටැටූ '' මතකයන් ලෙස... මේවායේ මුල්කෘති වලට ගොස් ඒවා නියම ලෙසින් උපුටා දක්වන්න බැහැ මට. වරම් නැහැ මට... ඒ නිසා මට සමාවන්න. 

'' මහා ඇදුරන් හා කලාකරුවන් ... තහනම් කළ වචන වලින් ... විකෘති ශබ්ද කෝෂයක් නිමවා ... තමන්ගේ හිතසුව පිණිස... 
නිදහස්ව රාජ්‍ය සේවය කරනු පිණිස ... 
මහ රජුන්හට පිළිගන්වයි !...''

ඉන්දිකගේ මේ ටැටූ පැදිය මං කියෙව්වේ බොහොම ඉස්සර. දීර්ඝ පැදියකින් හේදිලා යන්නේ නැතුව ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි. දැන් ඉන්දික කරන්නේ මේකේ අනික් පැත්ත. ඔහු පොත පිළිගන්වන්නේ කලාකරුවන්ට, හිතවතුන්ට...  

ඊළඟට මට මතකයි ඔහු කළ අභියෝගයක්... ඒකත් ලස්සන ටැටූ එකක්.

'' පුළුවන්නම් සිරකරන්න...බැඳලන්න... 
මා නොව, මගේ සිතුවිලි...  
දහසක් හමුදා මුරකුටි වලට ඉහළින් පියඹා ගොස්
හෙට දවස ගැන 
සුබ සිහින දකින සිත්වල ලැඟුම්ගන්නා 
මගේ සිතුවිලි...''

අපේ ආරක්ෂක සේවය දුර්වලයිනේ... තවම නම් ඉන්දිකගේ මේ අභියෝගය බාරගත් අයෙකු ලංකාවේ නැහැ. ඉන්දික දිනුම්. මට බොහෝ ටැටූ මතක් වෙනවා... ඒවා ලියන්න ගියොත් ඉන්දිකටම හානියක් වේ යැයි මට හිතෙනවා. අවසාන වශයෙන් ඉන්දික කොටපු ටැටූ ප්‍රාර්ථනයක් ගෙනහැර දක්වමින් මං නවතිනවා.

'' ...අද දින මා මෙතනම මියගියත්
මගේ හිත යළි යළිත් උපදිනවා  
මනුෂ්‍යයින්ගේ හිත් තුළ  
හෙටදින...'' 


ඉන්දික ඔබට 
මගේ හෘදයාංගම උණුසුම් සුබ පැතුම් !!! 
ජයශ්‍රී !!! 

 

Tuesday, December 7, 2010

දුරු රට ගිය අයියාට

දුරු රට සිටින අයියාගෙන්
සුභාෂිණී නඟාට
හරිම ලස්සන චිත්ත රූප මැවෙන, සංවේදී, කලාත්මක පැදිපෙළක්. පැදි තුනක පමණ එළිසමය ද සුරැකී තිබෙනවා හරි අපූරුවට. උත්සාහ කළා නම්, තව තවත් වදන් මටසිළුටු කරගෙන අනික් පැදි දෙකෙත් එළිසමය රැකගන්ට තිබුනා යසට අගේට.
 


නමුත් සඳැසක් හෝ නිසඳැසක් හෝ වේවා, මේ දෙකටම පොදු දෙයක් තමයි, ඔබ කවියෙන්  කියන දෙයෙහි වැදගත්කම. එහි මිනිස් දිවියේ යථාර්ථය, ගුණ සුවඳ (අපේ එදිනෙදා දිවියේ දුක්ඛ දෝමනස්සයන්, සතුට, දේශපාලන, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න, ගැටළු) වාහනය විය යුතුයි. මේ නංගි සිය අයියාට ලියන පැදි ලිපියෙන් එය අපූරුවට සිදුවෙයි. ලස්සන චිත්ත රූපයක් මැවෙන, මෙහි අවසාන කවියේ, අවසාන කවි පද දෙක මනසින් චිත්‍රනය කරගත හැකිවන්නේ, ගම්බද නිවසක ආලින්දය/ඉස්තොප්පුව ලෙසින් බා ඇති යාලත්තයටට ගොඩවුන, දවාලක් හෝ රැයක් නිකමට ගත කළ හෝ පහන් කළ අයෙකුට පමණී. නැතුව අප්පච්චි සඳ එළියෙන් නොතෙමී, නිවසේ තනිවී ඉන්නේ පැලේ දොර වසාගෙන නොවෙයි නේ….  
.
මම හැමදාමත් වගේම කියනවා මේ දෙය. එනම් කවි සංකල්පනාවකට අනුව, සුදුසු විරිතකට පද බෙදාගෙන, එළිසමය සුරකිමින් මාත්‍රාවන් අනුව ශබ්දාලංකාරයෙන් උපරීම ථල ලබාගැනීම හා සඳැස් නිර්මාණය කරන ලෙස. සඳැස් නිසඳැස් රටා දෙකම මිශ්‍රණය කළාම අපි කවිය පිහිටුවන්නේ කවර තලයකද? නිකං වදන් පෙළහරක් යැයි විටෙක සිතෙන නිසඳැස් මෙන් නොව, සඳැස් නිර්මාණය වනාහි කිසියම් සංකීර්ණ සුවිශාල කාර්යයක්. මෙය උපතින් ගෙනෙන්නාවූ වාසනා ගුණයක් බවයි පෙර සිටි මහ ඇදුරන් කියා ඇත්තේ. මේ විභව ශක්තීන් වැළලෙන්නට දෙන්න එපා. ඒවා වැළලෙන්නට නොදී වැඩිදියුණු කරගන්නා ගමන් නිසඳැස ද අමතක නොකර, අපූරු සඳැස් කවි නිර්මාණයටත් පෙළඹෙන ලෙස සුභාෂිණීගෙන් ඉල්ලනවා. 
.
ඔබ උපතින්ම ගෙනා වාසනා ගුණය නැති නොකරගෙන ඉන් උපරීම ඵල නෙලාගන්නා ලෙස කරුණාවෙන් නැවත ඉල්ලමි.
.
මගේ සුබ පැතුම් සුභාෂිනී ‼!


මේ ඔබේ දුරුරට සිටින
විපුලයියා

Friday, December 3, 2010


අනුරාධාගේ           සෝනියා


චන්ද්‍රාත්, අනුරාධාත්,  ලියන් දෙදෙනෙකු ගැන පැදි දෙකක් ලියලා. චන්ද්‍රා ගේ ලිය නම් ඔහු කලින් පල කළ පැදි පොතක නැටූ, රැඟූ ලියක්, නළඟනක්.
ඒ ගැන මගේ අදහස ලියා අනික් පැත්ත බලනකොට,රුසියානු මහා ලේඛක ෆියදෝර් දොස්තයෙව්ස්කි විසින් නිර්මාණය කළ ඒ අසහාය කාන්තාව, සෝනියා, අනුරාධාට  මහමඟදි  හමුවෙලා. අනුරාධාත් ඇය ගැන පදවැලක් ගොතලා. ඒ නිසා  මං  චන්ද්‍රා ගේ නිර්මාණයත් එක්කම අනුරාධාගේ සෝනියා ගැන වූ නිර්මාණයත් එකම තලයක තබා හිඳ කතා කරන්න කැමතියි.
මා කවි රස විඳින්නේ මටම ආවේණික ආකාරයකට. මේ නිසා පොදු තලයක සිට කතා කරන්න තියෙන අපහසුව නිසයි මං මේ වෙනම මගේ සිතිවිලි බ්ලොග් එකෙන් ඔබ අමතන්නේ…ඕනැම කෙනෙකුට මරාගෙන කා කොටාගන්ට පුළුවන් මාත් එක්ක මෙතැනදී. මූණුපොතේ කවි නිර්මාණයකට නිසි අවධානය යොමු නොවී සිදුවන අසාධාරණය එයින් වළකියි.
කලාත්මක  වදන්  හා  කිසියම්  අරමුණක්  සපුරාගැනීම  උදෙසාම සකස් වූ ආකෘතියකින් සුසැදි චන්ද්‍රා සොහොයුරාගේ නළඟන, මනා රූසපුවකින් යුත් සුරලොවින් බට දෙව්ලියක් බඳු එකියකි. ඇය නිරුවත්  ඇඟපසඟ  පෙන්නා  නටමින්  මිහිපිට  සුරලොවක් නිර්මාණය කරන්නිය.
ඇය කුඩා කල දී සුචරිතවත් අනෙක් ගැහැණුන් මෙන්ම ලැජ්ජා බිය දෙකම සමඟින් හැදුනු වැඬුනු එකියක්.
එහෙත් අනිවාර්යයෙන්ම පසුකාලීනව ඇය ලැබූ අනේක අප්‍රමාණ දුක්ඛිත  අත්දැකීම්  නිසාම  මේ  තත්ත්වයට  වැටුනා  විනා, සිය කැමත්තෙන්  නළඟනකගේ  භූමිකාව  රඟන්නියෙකු  නොවන බව, එවන් නළඟනුන්, අබිසාරිකාවන් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා ඉදිරියේ නම් සහතිකය.
දහසකුත් එකක් ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, දරුවන් හා ස්වාමි පුරුෂයින්ගේ ප්‍රශ්න වැනි සකළ විධ ප්‍රශ්න හමුවේ සිය ශරීරය, ලැජ්ජාව, බිය පමණක් නොව මුළු ආත්මයම කැපකරන, ඒ නිසාම ශ්‍රේෂ්ට යයි මා පිළිගන්නා මෙකී අහින්සක පීඩිත ළඳුන්ට, මව්වරුන්ට, සිය කුඩා කාලය මතක් කර දෙමින්, මේ  කුණු  ශරීරය  ගැන  දහම්  මතක්කර  දෙමින්, අනේ  නුඹේ  මේ  ලැජ්ජාව සුචරිතවත් මිනිසුන්ට විකුණන්නට එපා යයි කීම  පිළිබඳව මට චන්ද්‍රා සමඟ එකඟවන්නට නොහැකිය.
එහෙත් චන්ද්‍රා ලියු  මේ  පැදි  පෙළ, ඔහුගේ  අරමුණට  සාපේක්ෂව  හා  කලාත්මක,  කාව්‍යම  ලක්ෂණ  වලට සාපේක්ෂව අපූරු සාර්ථක නිර්මාණයක් බව නොපැකිළව කියමි. ඒ නිසා  මම  මෙසේ  ලිව්වෙමි. COMMENT කළෙමි.
හරි අපූරු කවියක්…කාව්‍යමය හා කලාත්මක වචන වට්ටෝරුවක්… එක්තරා රිද්මයකට වේගයෙන් කියවෙනවා. ඒ වේගය තුළම ජීවිතය ගැන මහා අපුලක් හා නිරුවත් නළඟන කෙරේ සියුම් ද්වේශයකුත් ඇතිවෙනවා.
ජීවිතය නම් දිරණ, කුණුවෙන, - රාගය නම් සසර දික්වෙන, අපුලමය. පිළිකුල්ය. එහෙත්, නිරුවත් නළඟන කෙරේ එල්ලවෙන ඒ ද්වේශය ගැන මට දුක සිතේ. ඔබ හා එකඟවීමටත් නොහැකිය. ඒ ඇය නිරුවත ඇතුළු සියළු දෑ අලෙවි කරන්නේ අපි ම ඇති කළ නැති බැරිකම වන නිසාවෙන්වීම හේතුකරගෙනය. ඇගේ විවාහ දිවිය, දරුවන්, අතොරක් නැති ප්‍රශ්න, මේ සියල්ලම අප - ලෝකයා නිසාම ඇති වූවකි. ඒ නිසා සසර දික් වුවත් මම ඇයට පෙම් කරමි. ලොබ බඳිමි.   







දැන් අප යොමුවෙමු අනුරාධාට හමුවූ ලිය - කාන්තාව කවර අන්දමේ කාන්තාවක්දැයි විමසා බැලීමට. අනුරාධා  කවදත් කාව්‍යයකට ප්‍රවේශවීමේදී කලාත්මකහා කාව්‍යම ගුණාංග අමතක නොකරන්නීය. ඇය සිය කවියේ මුල් පැදි තුනෙන් කියන පරිදි,   සාරය - මිහිර උරා බිව් උක් දඬු රොඩ්ඩකට සමාන වන, දුක් ගිනිගොඩක ඇවිලෙන ලියකි - අබිසරු ලියකි. නිතරම විමසිලි දෑස් දල්වා බලන්නේ මුදල් සෙවීමට මයි ලු. ඇගේ හදවත ලැජ්ජාව, විළිබිය වියළී-සිඳීගිය රළු කර්කෂක කාන්තාරයක් බඳුයි ලු. ඇගේ පැතුම් මල් පරවී මහමඟ අතරමං වී ඇති , පූජාසනයක නොරැඳෙන මලක් ලු   මේ මහමඟ දී හමුවන කාන්තාව.
මෙකී කාන්තාව විඳින්නා වූ සියළු දුක් කරදර මොනවා දැයි අනුරාධා පැහැදිලිව නොකියතත්, උරා බී සාරය - විසිකළ උක් දඬුවක - එතුණු දුක් ගින්දර - දුටිමි මහමඟ දිනයෙක   යන්නෙන් ඇය විඳි දුක්ඛ දෝමනස්සයන් හා ප්‍රශ්න අපට කිසියම් දුරකට පැහැදිලි වෙයි. එහෙත්  එය  පමණක් ප්‍රමාණවත් දැයි යන ප්‍රශ්නය මා තුළ පැන නගියි.
සිව්වන පැදියෙන් සිය කූටප්‍රාප්තියට සමීපවෙමින් අනුරාධා ළප තියෙන සඳට ගල් නොගසන සුචරිතවත් මහජනයා, මේ පරවු මල් වැනි වු ළඳුන් දකින විට දී නම් කෙළ ගසන සැටි  ” යයි කියමින් ප්‍රබල උපහාසයක් හා අපහාසයක් අපගේ සුචරිත සමාජයට එල්ල කරන්නීය. සිය අවසාන පැදියෙන් මෛත්‍රිය පිරුණු දෑසින් ඇගේ මුහුණ දෙස - ඈ විඳින දුක්ඛිත ජීවිතය දෙස - බැලීමට තරම් සංවර හිතක් මනසක් නොමැති කළ නිවන කවදත් දුර බව  කිසියම් සියුම් නාට්‍යම ගැටුමක් හා උත්ප්‍රාසයක් දනවමින් ඇය පවසන්නීය.
ඇය මේ කියන නිවන බුදු සමයේ කියන නිවන නොව, මෙවන් සමාජ ප්‍රශ්න වලට, සමාජය විසින් දෙනු ලබන පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ විසඳුම බවයි මගේ හැඟීම. එමනිසා අනුරාධා බොදු කාන්තාවක් කර, පොදු මානව දහමෙන් ඈත්කර තැබීමට යාම ඇයට කරන අසාධාරණයක් බවයි මගේ හැඟීම. කෙසේ හෝ වේවා ඇගේ කවියේ අරමුණ පැහැදිලිය. එය සැබෑ මිනිසත්කම, මානව හිතෛෂී බව වශයෙන් පිඬුකොට දැක්විය හැකිය.
එසේ කියන අතරේ, අනුරාධා වරෙක පුදසුනක නොරැඳෙන - ඇයත් මලකිය සකි සඳ යයි කරන සඳහනින්, ඇය එතෙක් ගොඩනැගුවා වූ මේ කාන්තා චරිතය පමණක් නොව සැබෑ මානවවාදී ගුණාංග හා මානවවාදීන් ද, කිසියම් ප්‍රමාණයකින් අවප්‍රමාණයකට ලක්කරතැයි හැඟේ.  
අනුරාධාම සිතන පතන පරිදි, කියන පරිදි, මේ දුක්විඳින ලියන්-කාන්තාවන් තේරුම් ගෙන, මෛත්‍රිය පිරුණු දෑසින් - සංවර හදවතකින්, මනසකින් ඔවුන්ට ආදරය, කරුණාව හා රැකවරණය ලබාදිය හැකි නම්, මෙවන් දුක්විඳින කාන්තාවන් පූජාසනයේ තබා පුදන ගරුකරන සැබෑ මානවවාදීන් සිටියි නම්, බිහිවෙයි නම්, මොවුන් පූජාසනයේ නොරැඳෙන්නේ හෝ නොරඳන්නේ හෝ නොවේ.
කෙසේ වෙතත් අනුරාධා කළ මේ කාව්‍ය නිර්මාණය, අපූරු කාව්‍යමය යෙදුම්, උපමා රූපක, සංකේත හා අලංකාරයන්ගෙන් මෙන්ම මිනිසත් භාවයෙන් ද පිරිපුන් කලාත්මක, සුවිශේෂ පද වැලක් බව මම නොපැකිළව පවසමි.
මෙහි නිරූපිත කාන්තාව  මා දකින්නේ  රුසියානු මහා ලේඛක ෆියදෝර් දොස්තයෙව්ස්කි සිය අපරාධය හා දඬුවම නැමැති සුවිසල්, සුවිශේෂී නවකතාවේ, පොලියට ණය දෙන කාන්තාවගේ හිසට පොරෝ පහරක් දී මරා දමන රෑස්කොල්නිකොව් නැමති අපූරු වීරයා පෙම්බඳින කාන්තාව වූ සෝනියා ලෙසය.
සෝනියා ඉදිරියේ රැස්කොල්නිකොව් වරෙක දණින් වැටී නමස්කාර කරයි. සෝනියා ඉන් කම්පනයටත් මවිතයටත් පත්වීම ස්වාභාවිකයි. මෙය තේරුම් ගන්නා රැස්කොල්නිකොව් එවිට කියන්නේ මා මේ නමස්කාර කරන්නේ ඔබට නොව, ඔබ තුළ පීඩා විඳින මනුෂ්‍යාත්ම භාවයටයි යනුවෙනි. 
තම ප්‍රේමවන්තයාගෙන් මේසා සුවිසල් ආදර බුහුමනකට ලක්වෙන ඇගේ ආත්මය පීඩා විඳින්නේ මන්ද ? ඇය දුක් විඳින අබිසරුලියකි. ඈ සිය ශරීරය විකුණනු ලබන්නේ තමාට පමණක් සියළු සැප සම්පතින් අනූනව ජිවත්වීමේ පරම ආත්මාර්ථකාමී අභිලාෂයෙන් නොව,ක්ෂය රෝගය සෑදී ඔත්පලව ඉන්නාවු සිය මියගිය සොහොයුරාගේ බිරිඳ හා ඔහුගේ සහජාතක දරුකැල ජීවත් කරවීම පිණිසය. එදිනෙදා කෑමට බීමට මෙන්ම එකට ගුලිගැසී ජීවත්වන කාමරයේ කුලිය ගෙවා ගැනීමටය. ඔවුන් ගත් ණය හා  ණය පොලී ගෙවීම පිණිසය. පොලීකාරිය, සෝනියාගේ පෙම්වතා වූ, කතානායක රැස්කොල්නිකොව් අතින් මැරැම්කන්නේ ද එබැවිනි…….
මේ සඳහන් සියළු දෑ මා සඳහන් කරන්නේ මට මතක තිබෙන ආකාරයටය.මා අපරාධය හා දඬුවම කියවූයේ අවුරුදු 12 පමණ වයසේදීය. එය මනසින් හා අතින් යන දෙයාකාරයෙන්ම උස්සා ගන්නටවත් බැරි තරමේ විශාල පොතකි. සිංහලයේ මහා ලේඛක මුණිදාස සෙනරත් යාපා ශූරීන්ගේ පරිවර්තනයක් වූ එහි නොතේරෙන කොටස් ඉතා රමණීය,ආශ්වාදනීය හා අහ්ලාද ජනක ආකාරයෙන් තෝරා පැහැදිළි කරන ලද්දේ මගේ ආදරණීය අම්මාය.

රුසියානු මහා ලේඛක ෆියදෝර් දොස්තයෙව්ස්කි ලියු ඒ අපරාධය හා දඬුවම නැමැති ශ්‍රේෂ්ට නවකතාව, මහමඟ සිය ගත හා මුළු ආත්මයම විකුණන අපගේ සොයුරු සොයුරියන්, ළඳුන් හා මව්වරුන් පිළිබඳව අප සිතිය යුතු ආකාරය, අපේ හදවත, විඥාණය සකස් කර ගතයුතු ආකාරය ගැන අපට පමණක් නොව ලොවටම කියා දෙන මහඟු අත්පොතක් බව මම නොබියව, නොපැකිළව සඳහන් කරමි.     

Sunday, November 28, 2010

කෙලෙස නුඹ ලොව සනසවන්නේ....


by Udaya Kumara Jayawardhana on Saturday, 27 November 2010 at 13:46
නොදැමි සිත් තුළ වෛර සිතිවිලි
අඳුරු කර ගෙන ගොර බිරම් චණ්ඩව
ඇදී එන මහ මේඝයක් වැනි
පොළව නුබ කුස ගුගුරුවා ලන....


හිරුගෙ සැඩ රැස් කිසිත් නොසිඳම
ගිම් නොනිව මද සිහිල් සුළඟව
සැනසුමක් නොවි ඉරි තැළුණු පොලවට
වැලි කුණාටු තව මවනු ඇයි ලොව....


අවැසි කල කිසි විට නොආවා
වෛරයේ ගිණි පුලිඟු නංවා
කෙලෙස නුඹ ලොව සනසවන්නේ
ගම් දනව් මර බියෙන් පුරවා....


කලට වැසි මෙන් දයාවෙන්
සරණ වී සරුකොට ක්‍රියාවෙන්
අඳුරු නොකරමු ඉදිරි ලෝකය
පතුරවා මනු දම් අමාවෙන්...

    • Wipula Sumanasekera
      මුළු උදය කාලයම දවා හළු කළ දොමනස්ස ස්වභාවය පහ කලේ මේ කවියයි.. උදයගේ මේ නැඹුරැව මූණු පොතේ හැම කවියෙකුට ආදර්ශයක්... අපේ සමස්ත මානව ක්‍රියාදාමයම උදය වචන 8 කින් හකුළුවා කියයි... අපට ඊට වඩා දෙයක් කළ හැකිද ? පුළුවන්නම් ඈවිත් කරන්න...


      '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය                                                                                        පතුරවා මනු දම් අමාවෙන්...''

      ඉඩ ලැබෙන සැටියට මගේ බ්ලොග් එකේ වැඩියමක් කියමි.


      (( මා මේ හදන්නේ එම පොරොන්දුව ඉටු කරන්නයි ))




      උදය මේ කරන ප්‍රකාශනය අතීතය, වර්තමානය හා අනාගතය දුටු සෘෂිවරයෙකුගේ දෘෂ්ඨියකි. නොදැමි යන පදය අධාර්මික මෙන්ම නොදැමුනු නැත්නම් දමනය කරගත නොහැකි යන අර්ථ නංවයි. අහස පොළව උසුලන්නේ නැති මහා විනාශයන් සිදුවන්නේ මිනිසුන් තුළ ​වෛර සිතුවිලි නැගෙන නිසා බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. මෙවැනි ​වෛර සිතුවිලි වලින් සිදුවන්නේ භූමිකම්පා, සුනාමි සහ මහා සුළිසුළං වලින් සිදුවන හාණියට නොදෙවෙනි හානියකි. 

      අපේ මිනිස් චිත්ත සන්ථානයේ ඈතින්නාවු ​​වෛරය නැමති භූමිකම්පා හා සුළිසුළං කුණාටු වලින් අපි දිනෙන් දින විනාශ මුඛය කර ඈදෙමින් සිටිමු... හිරු සඳු ඈතුළු සියළු ග්‍රහයින්ගේ ස්වාභාවික බලපෑම් වලින් මුළු මහත් ලෝකයද , මනුෂ්‍ය වරිගයාද ප්‍රයෝගිකව විනාශ වී ඈති කලෙක , අපට අවශ්‍ය වන්නේ ඒවාට සිසිල් පවන් සලමින් සමනය කළ හැකි දෙයක් මිස, සිදුව ඈති විනාශයන්, විභේදනයන් තව තවත් තීව්‍ර කරන ​​වෛර සිතුවිලිද යන්න උදය පුශ්න කරයි...​

      ස්වභාව ධර්මය හා අනෙකුත් බලවේග අපට පාලනය කළ නොහැකි වෙයි.  අපට පාලනය කළ හැක්කේ අපගේ මනසේ පාලනය පමණි. අප එහෙව් මනසින්, අනෙකුත් මනුෂ්‍යයින් කෙරෙහි මානව හිතවාදී ලෙස, මානව දයාවෙන් යුතුව බලා සිදුව ඈති විනාශයන්ට පිළියම් යොදන ලෙස උදය අපගෙන් ඉල්ලා සිටී. එසේ නොවුනහොත් අපේ ඉදිරි මානව පැවැත්ම - මිනිස් ලොව අනාගතය - විනාශ විය හැකි බවට උදය අනතුරු හඟවයි. ඔහු අවසානයේ '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය - පතුරවා මනු දම් අමාවෙන්... '' යනුවෙන් අප වෙත ආයාචනයක් කරන්නේ එබැවිනි.

      තාරුණ්‍යයේ පසුවන උදය වැන්නෙකුගෙන් මෙවැනි පරිණත ජීවන දෘෂ්ඨියක් , ලෝක දෘෂ්ඨියක් මෙවැනි කුඩා නිසඳැස් පැදියකින් හෝ ප්‍රකාශ වීම පිළිබඳව මම මහත්සේ සතුටු වෙමි. මන්ද, උදය මෙන් සිතන නව පරපුරකින්, පැහැබර ලොවක් හා පැහැබර දීප්තිමත් අනාගතයක් මේ ලොව ජීවත්වන සියළු මනුෂ්‍යයින්ට උදාවෙනු ඈතැයි යන චිත්ත ප්‍රීතියෙන් යුතුව මට මතු දිනක මිය යා හැකි බැවිනි. 

      මේ නයින් බලන කළ උදය කළ මේ පැදි නිර්මාණය සේයා රූ, චිත්‍ර හා රූප සටහන් ආදි ආලවට්ටම් නොමැති උවද ස්වාධීනව නැගී සිටින, ජීවිතය හා මානව පැවැත්ම පිළිබඳ දහමක් ද, පුළුල් දේශපාලන හා සමාජයීය දර්ශනයක් ද රැගත් නිර්මාණයක් බව මම නොපැකිළව කියමි. 















Saturday, November 27, 2010

චිරන්තගේ  '' අග හිඟ වැහි '' 
ගැන මගේ අනාවැකිය





ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය
ඒ එළියත්  නිවා  ඉර  පලවා     හැරිය  
මේ  වැහි අඳුර වළකන දින බෝ දුරය


           යුග  ගණනක  පරපුරු  ඈට  කටු  වළලා  
           ඉදි කළ සිටුමැදුරු  ඈත  නිල් නුබ සිඹලා 
           මේ  යායට  රබර්  වැටුනට   වැහි   ගුගුරා 
           එපියසි  මත  කුඩු  වැහිවත්  නෑ     ඉහිලා 


පොඩි උන්ගේ ඈස් මත කඳුළක්  තියලා
දීපාවලී   කෝළම්     වැස්සට    මැකිලා
අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
                 බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු  
                 ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
                 කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු
                 නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ






චිරන්තගේ ඉහතින් සඳහන්, සඳැස් ගණයේ ලා සැලකිය හැකි පැදිපෙළ මා නැවත මට පුළුවන් හැටියට නිවැරදිව ලේඛන ගත ක​​ළේ ඔහු අතින් එහි බොහෝ සිංහල අක්ෂර දෝෂ සිදුවී ඈති නිසාය. මා නිවැරදි කළ මෙහිද වැරදි ඈත්නම් පෙන්වා දීම කියවන ඔබගේ යුතුකමකි. එය පෙන්වා දුන් සැණින් මම නිවැරදි කරන්නෙමි. 

චිරන්ත පළමු කවියෙන් අපේ සිත්වල මවන්නේ සැමදාම අඳුරු තුරු වදුලක ජීවත්වන්නාවු මිනිසුන් කොට්ඨාශයකි. ''වැද්දෝ'' නොවෙත් නම් ඔවුන් කවුරුද? මෙය අපේ කුතුහලය ඈද බැඳ තබාගැනීමට චිරන්ත කළ නිර්මාණාත්මක උපක්‍රමයකි. එමෙන්ම ඔහු මෙම පැදි පෙළ අපට කියන්නේ, එම තුරු වදුල යට ජීවත්වන්නාවූ මිනිසෙකු ලෙසය.

ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය 
ඔවුන් කවුරුන් වුවත් ''අපේ ජීවිත වලට එළිය වැටෙන්නේ එහෙමත් කලාතුරකින් '' බව පැවසීම අප සිත්තුළ මහත්වූ දුකක් සාංකාවක් ඈතිකරයි. දෙවන කවියෙන් ඔහු ඒ ගණතුරු වදුල කුමක්ද යන්න අපට හෙළි කරයි. මේ ''රබර් '' තුරු වදුලක්. ඒකියන්නේ රබර් වත්තක ඈති නිවාස (ලයින්පේලි) වලට කලාතුරකින් වැටෙන හිරු එළිය ගණ වැහිවලාවකින් වැසී ඈති බවත්, එම අඳුර තව බොහෝ දවසක් යන තුරුම පවතිනු ඈති බවත්, ඔහු කලාත්මකව - කාව්‍යයකට උචිතවන ආකාරයෙන් පැවසූ අයුරුයි ඒ.

දෙවන කවිය අති ප්‍රවේගවත් එකකි. පරම්පරා ගණනක් තිස්සේ අපේ මිනිසුන් කඹුරන ලද ශ්‍රමයෙන් නිල්වන් අහස් කුස සිඹගන්නා සිටු මැදුරු ඉදිවී ඈති බවත්, රබර් යායට මහා වැසි ගුගුරා ඈද හැලුනත්, මේ සිටු මැදුරුවල වහලවල් මත නම් එකදු වැහි කුඩක් හෝ ඉතුරුවී නොමැති බවත් පවසයි. එය එකී සිටු මැදුරුවල ජීවත්වන ''සිටුවරයන්ට'' එල්ලකරන ලද උපහාසය දනවන චෝදනාවකි. 
(( කවුද මේ සිටුවරු ??? )) 

ඊළඟ කවෙන් ඔහු වැස්ස නිසා දීපාවලී අවුරුද්ද වෙනුවෙන් ගෙමිදුලේ ඈඳුනු විසිතුරු කෝළම් සේදී යාම නිසා කුඩාවුන්ගේ නෙත් අග කදුළක් නැගී ඈති බව අපට කියයි. එය අපේ දෑසට ද කඳුළක් නංවන සුළුය. තත්ත්වය වඩාත් ශෝචනීය වන්නේ, ලයින් පේළිවල ඉන්නා මෙකී කුඩා දරුවන් පාසැල් වලට යනෙන පාලම්, ඒදඬු කැඩී ඈති නිසාය. 

අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා 
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
ඔවුන් ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය ද විසින් ද කිරි කැපීම සඳහා මේ දරුවන් තල්ලු කරදමා ඈති බවත් ඔහු කියන්නේ ගැඹුරු උපහාසයත්, අපහාසයත්, වතු කම්කරුවන් කෙරේ දරුණුම අනුකම්පාවකින් හා වේදනාවකිනි. ඉන් ජනිත වන්නේ ගැඹුරු උත්ප්‍රාසයකි.

ඔහු සිය අවසාන කවෙන් කියන්නේ පොත් වැස්සට තෙමී දිය වුනත් , පාලම් ඒදඬු කැඩී මොනවා වුනත් ඉගෙනීම, අධ්‍යාපනය නතරකරන්න නම් එපා !

බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු 
ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
 
 එසේ කියන ඔහු පැදිපෙළ අවසාන කරන්නේ, ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය විසින් ද හැමදාම ජන්ම උරුමයෙන් ජීවිත භුක්තියට - සින්නක්කරයට ලියා දෙන මේ දුක්ඛිත ජීවිතය, එනම් කැහැටු කෙට්ටු සිරුරකින් යුතුව හැමදාම උල් පිහි කටු වලින් කරන රබර් කිරි කපන ජීවිතය, ''නුවණ '' නැමති හස්තයෙන් උදුරා දමන්නයයි ඉල්ලමිනි.

කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු  
නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ
චිරන්තගේ මෙම පැදිපෙළ මා දකින්නේ, අප රටේ නිරන්තරයෙන් දුක් විඳින, නිර්ධන ජන කොට්ඨාශයක්වන, රබර් වතු කම්කරුවන්ගේ දුක්ඛිත දිවියේ යථාර්ථය ඉතාම සංවේදී ආකාරයෙන් කියාපාන ගැඹුරු දේශපාලන හා සමාජයීය අරුතක් ගැබ්ව ඈති පැදි පෙළක් ලෙසය. මේ පැදි පෙළ කියවන ඕනෑම අයෙකුට චිරන්ත අපූරු මානව හිතවාදි කලාකරුවෙකු බව මොනවට පසක් වෙයි. ඔහුට මගේ ආචාරය හිමිය.

 එහෙත් කිවයුතු තවත් වැදගත් කරුණු කීපයක්ද ඈත. මෙම පැදි පෙළ ලියා ඈත්තේ සඳැසක් ලෙසය. එහෙත් සඳැසක දී පිළිපැදිය යුතු ''කාව්‍ය ව්‍යාකරන දෝෂ, යවහන් දෝෂ, එළිසම දෝෂ, විරිත් දෝෂ, ගණ හා මාත්‍රා දෝෂ මෙන්ම අක්ෂර දෝෂ'' මෙහි බහුලය. ඒවා නිවැරදි ගන්නා ලෙස ද ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අයැද සිටිනවා. මූලිකවම සඳැසක් වීමට නම් එය එලිසමය සුරැකි, කිසියම් විරිතකට අනුව ලියවුනු, මාත්‍රා ගණන සමාන වුනු සමාන පද පේළි 4 කින් සමන්විත විය යුතුය. මේ ගැන සැලකිලිමත්වීම වටී. අනෙකුත් දෝෂ අත්‍යාවශ්‍යම නොවේ. මේ දෝෂ ඈත්නම් කවිය කියවෙන්නේ නැත. මේ මූලික වැරදි ටික හදාගතහොත් එයින් ඔබගේ නිර්මාණ තව තවත් ඉහළට එසවෙනවාට කිසිම සැකයක් නෑ.


Wednesday, November 24, 2010

අනුරාධාගේ කවිය ගැන මට හිතුන දේවල්

අපේ කාලයේ පටාචාරාවක්......

මෙය අපේ සමකාලීන සමාජයේ සුලභ අත්දැකීමක්. නමුත් අනුරාධා ඒ ගැන සිතන අයුරු කිසියම් නැවුම් බවක් ගනී. ඊළඟට ඇය, ඈගේ සිතුවිලි කවිපද බවට පත් කරනවිට මෙය සුලභ අත්දැකීමක් යන සිතුවිල්ල අපෙන් පහවයයි.

ස්වාමියා හැරගිය අසරණ මවක් සිය සැමියා හා දරුවන් ගැන සිතන්නී , ඈය තවත් එක් අසරණ මවක් නොවේ... ඈය පත්ව ඈත්තේ පෙර කල පටාචාරාව පත්වූ තැනටමය.  එනම් සියදිවි නසාගන්නා තැනටය. 

මෙවන් විටෙක දරුවන්ද සමගින් සිය දිවි තොර කරගන්නා ලද මව්වරුන් ගැනද, දරුවන් වැසිකිළි වලවල්වලට හා ගංගා ඈළදොළ ආදියට දමා මරා දැමූ මව්වරුන් කරා ද අපේ සිත් යොමුවෙයි.  

තනිවී හදවතින් වැළපෙන ඈයගේ රාත්‍රිය ඉතා දිගුය. ඈයට එය කෙටිකරගැනීමට උවමනා වන්නේ පසුදා එළිය වැටෙන්නට පෙර ඈය ක්‍රියාත්මක කිරීමට යන අදහසක් කරා යොමුවන්නටය.

ඈගේ සිත මැසිවිලි නගයි...අහස් කුස අඳුරුයි පාළුයි...රැහැයියෝ වැළපෙමින් ඈගෙන් කඳුළු සලන්නේ ඈයි දැයි විමසනවාලු... මං විඳවන දුක ගැන වගේ වගක් නොමැතිව නුඹ ඈයත් සමග නිදියනවා ඈති යයි ඈය කියයි... මෙය ඕනෑම අයෙකුගේ සිතේ සියුම් වේදනාවක් ඈති කරන සුළුයි...

නුඹේ පෙම නැතිවුනේ, මැකුනේ කෙළෙසදැයි, ඈය කළ වරද කුමක්දැයි ඈය තාමත් නොදනියි... ඈගෙන් කවර වරදක් සිදු වුනාද මෙලෙස දඬුවම් ලබන්නට යයි ඈ ප්‍රශ්න කරයි. පුදුමවෙයි.  


කිසිදු වරදක් ඈයට සිතාගන්නට බැරිවීම ගැන මට ද පුදුම සිතේ. කිසිදු දෙයක් නොකියා පිරිමියෙකු ​දරැවෙක් හා ගැහැනියක් අතහැර යයි ද යන පැණය මසිතට නැගේ. එය දැන් මොහොතකට අමතක කරමු.


කෙසේ වුවද, ඈය තුළ ඈති දුක්ඛ දොමනස්සයන් හා අසරණකම තව තවත් තීව්‍ර කිරීමට අනුරාධා කියන මේ පදවල ප්‍රබල බලයක් ඈතැයි මට සිතේ... ඒ පද අරුත්බරයි.  

ඈ පිළිබඳ අනුරාධා ගොඩනඟන මේ අසරණකම - අනුකම්පාව ඈය අවසානයේ කිසියම් භූමිකම්පාවක් කරා ගෙන යන සැටි අපූරුය. එය නිර්මාණශීලී උපක්‍රමයකි.

ඈයගේ අසරණ බව කෙරේ අපව මානසික වශයෙන් ඈද බැඳ තබාගැනීමට දිගින් දිගටම උත්සාහ කරන අනුරාධා දෙනෙතට ගැලූ කඳුළු කැටය ඔහුම බවත්, ඒ නිසාම දෙතොල සිනාවකින් තොරව පාළු වී ඈති බවත් පවසමින් මහත් වූ සංතාපයක් අප සිත් තුළ ඈති කරවමින්, කවියේ කූටප්‍රාප්තිය වෙත ක්‍රමයෙන් සමීප වෙයි. 

පසුදා හිරු නැගෙන්නට පෙර සෙනෙහසේ බැඳීම් අහිමිව, තැළුන පෑරුන සිතත් රැගෙන අඳුරේම නිවසින් පිට මං වන බව ඈය පවසයි. මේ යන්නේ කොහේද ? සිය සිවි නසා ගැන්මටද? 

ඈට දරුවෙක් සිටිනා බවක් මෙතෙක් - මුල් කවි 5 තුළදීම ඈ පවසා නොමැත. අවසාන කවියේදී අනුරාධා ඒ බව හෙළිකරයි... 

( පැදියේ වම් පැත්තේ සිතුවමක් ඈත. පැදි වලට සිතුවම්/සේයා රූ දැමීම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. කවිය සේයාරුවක් නොමැතිව පෙනී සිටීමේ ශක්තිය තිබිය යුතුය. සේයාරුවකින් හෝ චිත්‍රයකින් අර්ථ දැක්වීමට ගොස් කවිය කිහිලි කරුවලින් යන විකලාංග ආබාධිතයෙකු නොකරන මෙන් මං කවීන්ගෙන් ඉල්ලා සිටිනවා. )

මව්පිය සෙනෙහෙ බිඳීම නිසා දරුවාගේ නෙතඟ කඳුළක් නැගී තිබෙනු දකින ඈය දිව්රුමක් දෙන්නේ, ''සිරුර හැර තමා සතු සියළු සන්තකය විකුනා හෝ දරුවා රකින බව'' ඈය සපථ කරයි. ​

මේ මව අපූරු මවකි. අප අසා ඈති , කියවා ඈති බොහො කතාවල එන්නේ දරුවන් වෙනුවෙන් සිය ශරීරය පවා විකුණූ අම්මලාය. මැය චරිතවත් මවකි. ආත්ම විශ්වාසය ඈති මවකි. ශරීරය විකුණන තැනට නොවැටෙන බව විශ්වාස මවකි. ඒ සියළු කැපකිරීම් කර ඈය දරුවා සුරකිමින් රැකගැනීමට සපථ කරන්නේ ආදරයේ සුවඳයි.නො එසේනම් ඒ දරුවාය.
 
දරුවා පිළිබඳ අවසානයේ හෙළිකිරීම කිසියම් තීව්‍ර නාට්‍යම අවසානයක් කරා අප කැඳවාගෙන ගියද, පැදියේ මුල් කවි 5 දීම, තනිකරම ආදරය හා ඈය ගැනම සිතමින් රාත්‍රියේ පසුතැවෙන මවට නිකමටවත් සිය දරුවා සිහිපත් නොවීම යථාර්ථයෙන් ඇත්වූ , කිසියම් අභව්‍යයකැයි සිතේ. අනෙක් අතට මවගේ අසරණකම තවත් වඩා හොඳින් තීව්‍ර කිරීමට තිබුණු අවස්ථාවක් ඈය අතින් මේ නිසා ගිළිහෙන බව  පෙනේ. මේ නිසා කිසියම් අඳුරු සෙවනැල්ලක් පැදියට එක්වේ යයි මට හැ​ඟේ. 

එසේ නොවන්නට මෙන්ම ඉහත සඳහන් සුළු අඩුපාඩුවක් හැරුනුවිට මෙම කවිය අපූරු මවක් වටා ගෙතුනු, අපූරු කාව්‍යයක් වන්නට  ඉඩ තිබින. සමස්තය ගැන සලකා බලන කල මෙයද අනුරාධා විසින් විරචිත අපූරු සාර්ථක කාව්‍යයකි. එය අපගේ සිත් බෙහෙවින් සසල කරන බව මම නොපැකිලව කියමි.