Translate

Monday, December 20, 2010

ඉන්දික මගේ හිතේ කෙටූ ටැටූ

හෙවත් පච්ච
ඉන්දිකයි මායි ටිකක් පරණ යාළුවෝ... ඒතරම්ම පරණ නෙවෙයි. 2008 - 2009 යන වසරවල අපි දෙන්නම එකම පවුලේ  සහෝදර ප්‍රචාරක සමාගම් දෙකක සේවය කළා. දෙකම තිබ්බේ උඩ - යට හා එකම ගොඩනැගිල්ලේ වම - දකුණේ. සමාගම් දෙකේ නම් දෙක නම් අහන්ට එපා. හැබැයි ඉන්දික කළේ ''වැඩිහිටියන්ට පමණයි'' කියලා තියෙන වැදගත් භාන්ඩ ප්‍රචාරණ වැඩසටහන්. මං කළේ ''ළමා'' වැඩසටහන්. අයියෝ කියලා වැඩක් නෑ. 1+ සහ 3+ වැනි අඳ-බාල භාණ්ඩ ප්‍රචාරණ වැඩසටහන්.  ඒ වගේම අපි කෑවෙ බීවෙත් 1+, 3+ දේවල්. ෆුල් ක්‍රීම් පාවිච්චියක් ඇත්තෙම නෑ. නමුත් ඉන්දික නම් දිනපතාම වගේ , සාමාන්‍ය කාර්යාල වෙලාවෙන් පස්සේ, හවස් වරුවේ, ටිකක් රෑ වෙන්ට, හිත හොඳ කාටත් වගේ ගොඩවදින්ට පුළුවන් ජංගම අවන්හලක් දානවා. දවසක් දෙකක් ඒකාලේ වැඩ ඇරිලා මාත් ගොඩවැදිලා ෆුල්ක්‍රීම් ටිකක් බීලා ගිහිං තියෙනවා. අපි  අන්තිමට  හමුවුනේ  ''සමර්ගාඩ්න්''  වලදි.    
                   
අපි අතර හිටිය හොඳ හිතවතෙක් සමුගෙන යන දවසේ ''සමර්ගාඩ්න්'' ගිහිං බොහොම රෑ වෙනකම්  ඉඳලා අපි කාගෙනුත් සමුගත්තා. 

ඒ කාලේ මං ඉන්දික ගේ කවි කියවලා නැහැ. ඉන්දිකගේ කවි කියවන්න පටන්ගත්තේ  බ්රූනායි ආවට පස්සේ සයිබර් අවකාශයට ඇවිත්. ඒ කවි ඉන්දික හඳුන්වන්නේ ''හිතේ කෙටූ ටැටූ '' කියලා. නම පවා අපූරු නිර්මාණාත්මක එකක්. ඇත්ත ඒවා ටැටූ නැත්නම් පච්ච සහමුලින්ම මැකිලා යන්නේ නැති. දැන් ඒක පොතක් හැටියට දෙසැම්බර් 4 දා නිකුත් වෙනවා. මට මේ උළෙලට ඉන්න නොලැබුන එක ගැන කණගාටු වෙන ගමන්ම, එය අතිශයින්ම සාර්ථක එකක් වේවායි මගේ හෘදයාංගම සුබපැතුම් පිළිගන්වන්න කැමතියි. ඒ සමඟම ඉන්දික මගේ හිතේද, හදවතේද කෙටු  ටැටූ කීපයක් මට මතක තියෙන හැටියට පහතින් සටහන් කරනවා.  ඉන්දිකගේ ටැටූ නිසඳැස් නේ. ඒ හින්දා හරිහැටි පාඩම් නෑ... සඳැස් වුනා නම් ''ලෝවැඩ සඟරාවේ '' කවි පාඩම් කලා වගේ කටපාඩමින් කියන්න තිබුනා. මොකද මේවා ඉන්දික ලියලා තියෙන්නෙත් ''ලෝවැඩ'' පිණිසමනේ. හැබැයි මං මේවා සඳහන් කරන්නේ මට මතක ඇති ලෙසට... මගේ හිතේ සේදී නොගිය  ''ටැටූ '' මතකයන් ලෙස... මේවායේ මුල්කෘති වලට ගොස් ඒවා නියම ලෙසින් උපුටා දක්වන්න බැහැ මට. වරම් නැහැ මට... ඒ නිසා මට සමාවන්න. 

'' මහා ඇදුරන් හා කලාකරුවන් ... තහනම් කළ වචන වලින් ... විකෘති ශබ්ද කෝෂයක් නිමවා ... තමන්ගේ හිතසුව පිණිස... 
නිදහස්ව රාජ්‍ය සේවය කරනු පිණිස ... 
මහ රජුන්හට පිළිගන්වයි !...''

ඉන්දිකගේ මේ ටැටූ පැදිය මං කියෙව්වේ බොහොම ඉස්සර. දීර්ඝ පැදියකින් හේදිලා යන්නේ නැතුව ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි. දැන් ඉන්දික කරන්නේ මේකේ අනික් පැත්ත. ඔහු පොත පිළිගන්වන්නේ කලාකරුවන්ට, හිතවතුන්ට...  

ඊළඟට මට මතකයි ඔහු කළ අභියෝගයක්... ඒකත් ලස්සන ටැටූ එකක්.

'' පුළුවන්නම් සිරකරන්න...බැඳලන්න... 
මා නොව, මගේ සිතුවිලි...  
දහසක් හමුදා මුරකුටි වලට ඉහළින් පියඹා ගොස්
හෙට දවස ගැන 
සුබ සිහින දකින සිත්වල ලැඟුම්ගන්නා 
මගේ සිතුවිලි...''

අපේ ආරක්ෂක සේවය දුර්වලයිනේ... තවම නම් ඉන්දිකගේ මේ අභියෝගය බාරගත් අයෙකු ලංකාවේ නැහැ. ඉන්දික දිනුම්. මට බොහෝ ටැටූ මතක් වෙනවා... ඒවා ලියන්න ගියොත් ඉන්දිකටම හානියක් වේ යැයි මට හිතෙනවා. අවසාන වශයෙන් ඉන්දික කොටපු ටැටූ ප්‍රාර්ථනයක් ගෙනහැර දක්වමින් මං නවතිනවා.

'' ...අද දින මා මෙතනම මියගියත්
මගේ හිත යළි යළිත් උපදිනවා  
මනුෂ්‍යයින්ගේ හිත් තුළ  
හෙටදින...'' 


ඉන්දික ඔබට 
මගේ හෘදයාංගම උණුසුම් සුබ පැතුම් !!! 
ජයශ්‍රී !!! 

 

4 comments:

  1. බොහෝම ස්තුතියි විපුල, මා වෙනුවෙන් කාලය මිඩංගු කරගෙන මේක ලිව්වාට. ඔබව කෙසේ හෝ සම්බන්ධකරගන්න මම උත්සාහ කරනවා. ඔබට ජය.

    ReplyDelete
  2. ඉන්දික ඔබට මගේ මේ සුළු උත්සාහය යම් පමණකින් ආත්මවිශ්වාසයක් හා ආත්මාභිමානයක් ගෙන ආවා නම් එය මට සතුටකි. ඔබට නිති ජය!!! ඔබේ සද්කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    ReplyDelete
  3. අනේ මට මේ ටික ඔක්කොම කියවන්න ඕනේ..... මම දන්න කෙනෙක් කිව්වේ මට මේක හොයාගෙන කියවන්න කියලා... ඒත් මට පොතක් හොයාගන්න බැරි උනා..... මට මේක කියවන්න පුළුවන් සයිට් එකක් කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.....

    ReplyDelete
  4. මූණුපොතට ගිහිං, ඉස්සෙල්ලම ඉන්දික එක්ක යාළුවෙන්න. ඊට පස්සේ ඔහුගේ ප්‍රෝෆයිල් එකට ගියාම මේ කවි කීපයක් කියවන්න පුළුවන් වේවි. ඉතුරුවා කියවන්න නම් ඉතිං පොත් සාප්පුවකට ගිහිං පොතක් මිලදී ගන්න... ඒක ඉන්දික වගේ කවියෙකුට ආර්ථික වශයෙන් කරන විශාල උදව්වක්..

    ඔබට බෙහෙවින්ම ස්තූතියි ‘ඇනොනිමස්‘...

    ReplyDelete