Translate

Saturday, July 6, 2013

*** හෙවනැල්ලත් ඇද වුනාලු ***




*** හෙවනැල්ලත් ඇද වුනාලු ***

කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැළක් වාගේ
සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ
නැංගුරමක් නැති වුනදා වාන් දමන වේගේ

ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ
උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ
පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ

තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න කියලා
කිරි අම්මා එන්න කිව්වෙ පාරෙදි මුන ගැහිලා
දියට දාන ඉබ්බත් මොන ඇන්නෑවද හිතලා
ඈඳි ගත්තෙ වටපිළ උඩ ඔයා දිහා බලලා

හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ
ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ
දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ

(
පඬුවස්නුවර හිමු ආරියවංශ)

පඬුවස්නුවර හිමු ආරියවංශ කවියාගේ "...හෙවනැල්ලත් ඇද වුනාලු..." යන පැදි සතර, ඉතාම විචිත්‍රවූ වදන් හරඹයක් මෙන්ම ප්‍රාණවත් කවි සිතුවිල්ලක් සහිත විශිෂ්ට නිර්මාණයක් බව මුලින්ම කියන්න ඕනේ. කවි සිතුවිල්ල, සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවී, ඉදිරිපත්කරන නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට බොහෝ කිවි කිවිඳියන්ට පරමාදර්ශයක්වන තරමේ කවි පන්තියක්. නිර්මාණයක් !
.
හිමූ පළමු කවියෙන්ම, අපගේ කුතුහලය රඳවා තබාගනිමින්, ආදර සම්බන්ධතාවක් කැඩී බිඳී විනාශ වුණු තරුණයෙකු දැන් සිටිනා මනෝභාවය ගෙනහැර දක්වයි.. මානසික තත්ත්වය හිමූ ප්‍රකාශ කරන්නේ අපූරු උපමා උපමේය රැසකිනි.
.
"....කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැලක් වාගේ

.....සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
.....හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ..."
.

ආදර සබඳතාව බිඳ දැමීම හරියට මකුළු දැලක් පිසදැම්මා වගේ යැයි ඔහු කියයි. ඒක සිදුවෙලා තියෙන්නේ ක්ෂණිකව. මකුළුදැල් කඩන්නෙ එහෙමනෙ... මේ සිදුකළ ඉතාම අකාරුණික ක්‍රියාව තුළින්, ආදරවන්තියගේ චරිතය කෙබඳු එකක් දැයි අප තුළ මහා සසලවීමක් ඇති කරමින්, කතානායකයා කවිය කියවන අපගේ ආදරය අනුකම්පාව දිනාගැනීමට සමත්වෙයි. ඔහුගේ නැත්නම් ඒ තරුණයාගේ මනස, එහි ස්වභාවය හිමූ ඊළඟට නිරූපණය කරන්නේ ඒ හා සමානම තවත් ප්‍රබල උපමාවක් යොදාගනිමිනි.
.
"... නැංගුරමක් නැති වුණදා වාන් දමන වේගේ..."
.

මේ තරුණයා සුළඟට හා දියරැලිවලට අසුවෙමින් මුහුදේ එහාමෙහා පාවෙන, ගසාගෙන යන, ඉරණම අවිනිශ්චිත, නැංගුරමක් නොමැති නැවක් වැනි යැයි හිමූ පවසයි. මෙම උපමා රූපක සංකේතය මූණුපොතේ  කවියක මා දුටු අලුත්, නැවුම් යෙදුමකි.
.
මෙවන් විපරීත ජීවන සංසිද්ධියක් කියමින් අපේ හදවත සසල කර, කුතුහලය හා අවධානය දිනාගන්නා හිමූ ඊළඟට වහාම පිවිසෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති ආදරය සිහිපත් කරණ ඉතාම සුන්දර වූ අතීතාවලෝකනයකටයි.
.
".....ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ

......උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ..."
.
ගමේ ගොඩපරගස් හෙවනකදි තෑගිබෝගත් හුවමාරුවෙලා. උණ පඳුරු අස්සේ " සිංදුත් " කියලා තියෙනවා. තව තවත් දේවල් හුවමාරුවෙන්න ඇති. සියුම් හාස්‍යයක් සමඟ නැගඑන්නේ මේවායින් සිතේ මැවෙන චිත්ත රූප වෙතයි. ඒවායින් ධ්වනිත වෙන යටිපෙළ අරුත් වෙතයි. "... ඒවා තේරුම්ගන්න නම් ගමකම ඉපදිලා මේ අත්දැකීම් ලබන්නම ඕනේ..."
".....පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
......දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ..."
.
මේ දෙපදයෙන් ඇය දියනා එන විට පාර දෙපැත්තේ ඇති ගස්, වැල්, මල් හිනාවුණා යන වාච්යානර්ථය අභිබවා කියන්නේ මේ සබඳතාවට "දෙපැත්තේම" ආශීර්වාදය හිමිවී තිබූ බවක් යැයි මට හිතෙනවා. එය සනාථ කරණ කරුණක්, සිදුවීමක් තමයි ඊළඟට හිමූ චිත්‍රණය කරන්නේ..
.
මෙවැනි සබඳතාවන්ට ස්ත්‍රී පාර්ශ්වයෙන් ආශීර්වාදය ලැබීම සංකේතවත් කරන්නේ, "ආහාර වේලකට" නිවසට පැමිණෙන ලෙස මනාලයාට කරණ ආරාධනයකිනි. ඇය වාසය කර ඇත්තේ සිය කිරිඅම්මා - මිත්තනිය - සමගය. ඒ නිසා මේ තරුණයා අතරමඟකදී හමුවූ වෙලාවක,"... තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න එන්න..." කියලා කිරිඅම්මා ආරාධනා කරලා. තරුණයාට මේක "..ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙද.." කිව්වා වගේ. ඇගේ ගෙදර ගිහිං කෙල්ලටත් බැලුම්දාලා, "... තිබ්බටු ආනමත් එක්ක පිට්ටුත් කාලා..." ඇවිත්. ඒ කියන්නේ මඟුල ආයි නොකැඩෙන්නම ස්ථීර වෙලා තිබිලා තියෙනවා. එහෙව් මඟුලක් තමයි මේ අවාසනාවන්ත චණ්ඩ කුණාටුවකට හසුවෙලා තියෙන්නෙ... කවියක මා දුටු ජීවන සංසිද්ධියක් සංකේතවත් කරණ තවත් අපූරු නැවුම් යෙදුම් කීපයක් මෙහිදී හීමූ යොදාගෙන තිබෙනවා.

නමුත් අවසානයේ මෙලෙස කොතෙක් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටියත්, කල්ගතවෙන කොට, ("...හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ..." ) තවත් කෙනෙකු සමග ඇය හොරෙන්ම පැනගොස් තිබෙන්නේ, ආදරය හා අනුරාගය නිසා ඇති වන මහා දුක් ගින්දරක් හදවතේ ඇතිකර, එය උතුරා පිටාරා ගැලීමට සලස්වලා. ".. මගේ හදවත රිදෙව්වේ, පෑරෙව්වේ ඇයි..." කියලා අහන්නේ ප්‍රබල නාටකීය අවස්ථාවක් නිර්මාණය කරමින්ය. කවියේ උපරිමස්ථානය එයයි.
.
"...ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ

....දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
....දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ..."
.
හීමූ මෙයින් ඉතාම වේදනාත්මක සංවේදනාවන් රැසක් අපතුළ ඇති කරමින්, විරහා වේදනාවක අභ්‍යන්තරය, ගැඹුර, ඉතාමත් කලාත්මකව ස්පර්ශ කරයි.මෙය හුදෙක් දිගු වෘතාන්තයක්, කියන්නන් වාලේ කියාපෑමක් නොවේ. හිමූ ඒ මානව සංසිද්ධීන්ට මුහුණ දුන්නාවූ චරිත දෙකක අභ්‍යන්තර හැඟීම්, කලාත්මකව, කාව්‍යයට උචිත ලෙසින් කියාපෑමකි. එක් අතකින් එය මනෝ විද්‍යාත්මක විවරණයකි. සඳැස් කවිය තුළ හිමූ ගේ සුවිශේෂී අනන්‍යතාව, හීමූ ලකුණ, කදිමට නිරූපණය කරණ, ඉතා උසස් විචිත්‍ර පද්‍ය නිර්මාණයකි. මා ඉහත සඳහන් කළාක් මෙන් සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවීම පහත් යැයි නොසිතා, හිමූ මෙම කවි පෙළ ඉදිරිපත්කරන නැවුම් නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට, ඕනෑම කෙනෙකුට මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
'
එලෙසින්ම, ගමක එදා සිදුවුණු ජීවන සංසිද්ධි, ගමෙන්ම උපත ලද උපමා රූපක, කියුම් කෙරුම්, සංකේත භාවිතයෙන්, ව්‍යංගය තුළින් උපරිම ඵල නෙලාගනිමින්, එම ගැමි ආර නොකෙළසමින්, අපේ පහන් සංවේගය සඳහා ඉදිරිපත් කිරීමට හීමූ තුළ ඇති හැකියාව හා දක්ෂතාවත්, කවියේ රසවත් බව , කුතුහලය හා අවධානය රඳවා තබාගැනීමට ඉවහල්වන එක්තරා විධියක නවීන ආකෘතික ලක්ෂණ යොදාගෙන, තමන්ටම ආවේණික ශෛලියක්, අනන්‍යතාවක් තහවුරු කරගැනීමට කිවියෙකු ලෙස හීමූ සමත්ව ඇති බව කිව යුතුමය.

හීමුට මෙලෙස සුබ පතනා ගමන්, (( අවංකවම පසුගිය කාලයේ මා දුටුවේ නෑ... මූණුපොතට මගේ පැමිණීම අඩුනිසා වන්නටත් පුලුවනි.)) මෙවැනි සුවිශේෂ කවි අනන්‍යතාවක් සහිත කවියන්වන, ධර්මලතා, සාන්ත රාජපක්ෂ, ගයනි දික්කුඹුර, ශාන්ත විජේසිංහ, ලක්ෂ්මන් නයනකාන්ත ආදී කියූ නොකියූ කිවිකිවිඳියන් රැසක් අන්තර්ධාන වී සිටීම ගැනත් දුක්වෙමි.

ඒ වගේම
....
මට විවේචන කිරීම, විචාර කිරීම දැන් එපා වෙලයි තියෙන්නේ... අද මාක්ගෙ පොත් නිකුතුව සිදුවූ සලජාකසයේ බටහිර පළාතේ රැස්වීමට ගිය වේලේ මට පැවරුණා "මාක් කිවිඳු" ගැන, ඔහුගේ "කවිය" ගැන අගැයීමක් කරන්න. අනේ ඉතිං කියලා වැඩක් නෑ. කිසිම කෙනෙක් ඇහුන් කන් දෙන බවක් පෙනුනේ නෑ. බාධා අපමණ...අන්තිමට මටත් කියාගන්න ආපු දෙවල් පැටළුණා. ඒකෙන් අසාධාරණයක් සිදුවුණා නම් සිදුවුණේ මාක්ටයි. මං ඔහුගෙන් සමාව අයදිනවා එයට.
.
තමන්ගෙ කවි ගැන විතරයි මේ වැඩි දෙනෙක් හිතන්නෙ. උනන්දුවෙන්නෙ. මහකොළඹේ ප්‍රවීණ පරසිදු මහ කවියෝ යැයි නම් දරා සිටින කී දෙනෙක් මේ රසවිඳීම කියවා "අකමැතියි" හෝ කියා තිබෙනවාද? නැත්නම් මටත් වඩා මානයකට ගොස් මෙය රසවිඳ තිබෙනවාද? පැහැදිලිව තේරෙනවා තවත් කෙනෙකුගෙ කවියක් රසවිඳිනවාට මේ වැඩි දෙනා කැමති නෑ.
.
රසවිඳ ඇති බව දැක්කත් එවැනි විචාර කියවන්නෙත් නෑ... දැකලා, එය කියෙව්වත්, නොකියවූ ලෙස නිකං ඉන්නවා.
එය මොන තරම් කුහක සිතුවිල්ලක්ද ???
මං මේ තත්ත්වය නිරික්ෂණය කළා බොහෝ කාලයක සිට.


ඒ නිසා
දැන්නම් මං නිකමටවත්, අනුන්ගේ කවි නොකියවන, අනුන්ගේ විචාර නොකියවන, විචාර නොඉවසන,"බොරු මිතුරුදම් පවත්වන" කවියන්ගෙ කවි වලට "ලයික් " එකක්වත් ගහන්නෙ නෑ...

මහ කවින් හා හොඳ මිතුරන් යැයි සිතා සිටි එවැනි බොරු, කුහක, ප්‍රවීණ මිතුරන් කීපදෙනෙක් මට මහ කොළඹින්ම හමුවුණේ නොසිතූ විලසයි.  පුදුමය නම් ඔවුන්ගෙ කවි නම් හොඳයි ....
නමුත් හදවත නම්........................
කියලා වැඩක් නෑ !

.

විපුල සුමනසේකර
2013 ජූලි 5දා මධ්‍යම රාත්‍රියේ 12.20 ට විතර....

Wednesday, June 12, 2013

උදයගේ විද්වත් සංවාදය....




 උදයගේ විද්වත් සංවාදය



.
මෙය අපේ පවතින දේශපාලන චක්‍රය අපූරුවට විනිවිද දුටු දැක්මක්. සැඟවුන සුවිසල් හා සුවිශේෂී දේශපාලන හා සමාජ යථාර්ථයක් ගැබ්වෙනවා. එහි අපූරු අර්ථයකුත් තිබෙනවා. මෙවැනි අර්ථාන්විත විකල්ප අවශ්‍ය කාලයක් මේ කාලය. අපි හැමෝම පතන්නේ, උත්සාහකරන්නේ මෙවැනි අලුත් විකල්ප ධාරාවන් බිහිකිරීමටයි.

.
බොහොමප්‍රායෝගිකයි කවියේ කූටප්රාප්තිය. විද්වත් සංවාදයක් යැයි කියා ගත්තාට මෙය හරවත් විද්වත් සංවාදයක් නොවේ. හරියට දේශනයක් වගේ. කීකරු ගෝල උවැසි දනාඑහෙයිකියමින් අහන් ඉන්නවා විතරයි. ප්‍රශ්න ඇසීමේ නිදහසක් නෑ.
.
මෙච්චර කාලයක් මෙවැනි දේශපාලන සංවාද වලට ඇහුන්කන් දීලා කරගත්තෙත් විනාශයක්. සිද්ධ වුනෙත් විනාශයක්. රැහැයියෝ සංවාදේ පවත්වන්නේ වැඩිපුරම අනෙක් අය වැඩිය කෑ ගහන, කතා නොකරන රාත්‍රියේදී. අනෙක් අයට කතා කරන්නම නොදෙන එක ඔවුන්ගේ සිරිත. රැහැයි නාදයේ මිහිරක් තියෙනවා. නමුත් අනෙක් නාද වලට ඉඩක් නොදීම නිසාම, මිහිර දිගටම ඇසීම නිසාම එපාවෙනවා.
.
ඇටිකුකුලන්ගේ අඬලෑම අහන් ඉන්න පුළුවන් මිහිරි එකක් නෙවෙයිනේ. ඒ වුනාට ඇටිකුකුලෝ හැමදාමත් කැමති උන්ගේ ගීතයට විතරයි. වෙනත් ගීත වලට කැමතිම නෑ. උන්ට රැහැයියෝ හොයාගන්න ලේසියි ඔය සින්දුව නිසා. මේ නිසා ඇටිකුකුළන් ගිලදැම්මේ මිහිරි සින්දු කියන රැහැයියෝ විතරක් නෙවෙයි, ඔහේ බකන්නිලාගෙන ඉන්නගොළුබෙල්ලන්වැනි හැම එකෙක්ම පුළු පුළුවන් හැටියට ගිලදාන එකයි.
.
දැන් බලපුවාම මේ දෙගොල්ලොම සංවාදයට කැමති නෑ. නමුත් කියන්නේ නම් සංවාදේ තමයි හොඳ කියලා. ඒ නිසා මේ දෙගොල්ලන්ටම කතා කිරීමේ නිදහස දීමෙන් වැඩක් නෑ. අනුන්ගේ භාෂණයට ගරු නොකරන, නිදහසක් නොදෙන අයට කවර නම් නිදහසක් හා ගෞරවයක් ?

රැහැයි විනාශය තමයි මෙහි අපි අත්දුටු සැබෑ ප්‍රායෝගික කූටප්‍රාප්තිය. දැන් ඉතිං පරලොව ගිහිං කෑ ගසාපන් යයි කියා, ඒ ගැන කණගාටුවීමෙන් හා සතුටුවීමෙන් කවර නම් පලක් ද?

මේ තත්ත්වය සැමවිටම තැලුන, අනාගතයේත් නිරන්තරයෙන් තැලෙන රැහියියන්ට අවාසිදායකයි. මේ නිසා අපි දැන් හැමවිටම ඇටිකුකුලන්ට දිනුම දී නිහඬව ඔහේ සිටිමුද ? නැත්නම් ඇටිකුකුලන්ටද පාඩමක් ඉගැන්විය හැකි විධිමත් විකල්ප සංවාදයක් කරා, විධිමත් ප්‍රායෝගික විකල්ප විසඳුමක් කරා යොමුවෙමුද ? මෙන්න මේ ඉඟිය උදයගේ පැදිපෙලේ නොදැකීමයි මං දකින එකම අඩුව. නැත්නම් මෙය අපූරු දේශපාලන යථාර්ථයක් නිරෑපණය කරන්නාවු අනභිබවනීය නිර්මාණයක් විය හැකිව තිබුණා.
.

විපුල.



හිමූගේ "රට දුංකළ" - මගේ විඳීම



හිමූගේ "රට දුංකළ" -  මගේ විඳීම

හීමුගේ "රට දුංකළ" පැදිපෙළ, කාව්‍ය මය හා කලාත්මක බවකින් යුතු, කවියේ ආත්මයවන් වූ ව්‍යංගය තුළින් අපූරූ රසවින්දනයක් ලබාදෙන, මනෝරම්‍ය උපමාරූපක, සංකේතවල පහස උපරීම ලෙසකින් යොදාගෙන ඇති, මා කලකින් කියවූ, චමත්කාරජනක පැදිපෙළක් බව මුලින්ම කියන්න කැමතියි. මා එසේ කියන්නේ, ගැමි පරිසරයක ස්වාභාවික හා සමාජයීය වටපිටාව, එහි ජීවත්වන්නාවූ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හා චරිතාංගවල යථා ස්වභාවය ග්‍රහණය කරගෙන, ප්‍රහර්ශයක්, ආනන්දයක් (ecstasy) මෙන්ම පන්නරයක් ලබාගන්නා කිසියම් කිවියෙකුගේ ජීවිත පරිඥාණය තුළින්, කවියේ ඇති විචිත්‍ර සම්ප්‍රදායන්ට අනුගතවෙමින්, එකී කාව්‍ය සම්ප්‍රදායේ ශිල්පීය ලක්ෂණ මැනවින් වැළඳගෙන, නිර්මාණය කළ මෙවැනි ගුණාත්මක කවිපෙළකින් කළඑළිබසින හිමූ කවියා සතු පරිකල්පන ශක්තිය හා එහි ප්‍රබලතාවය මේ පැදිපෙළින් අපට මැනවින් පසක්වන නිසාය.


ආරියවංශ හිමූගේ "රට දුංකල"

නුඹ එනතුරු කල්මැරුවා මතකයි මම ..කම්මලේ

සුවඳ දෙමින් නුඹ ආවේ විලසින් රතු ....දුම්මලේ

කර අඹන්න බිම දාගෙන කළු වස්සා තොංගලේ

විටක් කන්ඩ ඉල්ලපු හැටි මතකද ....රටදුංකලේ

රුක්අත්තන ගස් හෙවනේ ඉඳගෙන ලොයි ...බංකුවේ

සුන්දර රන් ටිකිරි සිනා නැත කවුරුත් .........හැංගුවේ

කයිය දාට නියර කොනේ බෙදන ඇඹුල .......පංගුවේ

රස හින්දයි හැන්දැකොරේ හොරෙන්ම ගෙට රිංගුවේ

 
 දොන්ත බබක්කගෙ තුට්ටු රබානට වෙට්ටුව දානා සන්දියේ 

 ගහනා තරමට බොල් හඬ මිස නැත රත්කර ගන්නට නිච්චියේ

 තුන් අණ්ඩෙන් මං පැනගෙන ආවේ වෙච්ච වැරැද්දට නංගියේ

 ගාගෙන යනකොට තෙල්ටික සරුවට ගියපු අතක් නැත නොන්ඩියේ

 

(පඬුවස්නුවර හි මු)

.
කවියෙකුට අත්දැකීම් ලැබෙන්නේ මූලිකවම ඔහු ජීවත්වන පරිසරය තුළිනි. තමාගේම අත්දැකීම් තුළිනි. මව පියා හා සහෝදර සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන්ගෙනි. පොතපතින් හා අනෙකුත් ප්‍රවෘත්තී සන්නිවේදන මාධ්‍යයන්ගෙන් ද ඔහු වැඩිමණත් අත්දැකීම් ලබයි. එහෙත් කවියා තමා තුළින් හා ඔහු ජීවත්වූ හෝ ජීවත්වන සජීවී පරිසරයෙන් ලබන්නා වූ හෝ ලැබුවාවූ අත්දැකීම් තුළින්, අන් සියලුම අත්දැකීම් අභිබවා ප්‍රබලව නැගී සිටියි. ඔහු එම ගැමි අත්දැකීම ගමකටම පමණක් සීමා නොකොට, පුළුල් සමාජ ස්ථරයකට ඔබයි. මේ කවිපෙළ ඊට කදිම නිදසුනක්.
.
මෙහිදී හීමූ "රට දුංකළ" මැයින් ප්‍රතිනිර්මාණය කරන්නේ හරිම අපූරු "අණ්ඩපාල" චරිතයකි. අණ්ඩපාල චරිතයක් කියන්නේ, ගොනුන්ගේ හෝ හරකුන්ගේ අණ්ඩ මිරිකා ඔවුන්ගේ ලිංගික බෙලහීනතාව ඇතිකර, පුෂ්ටිමත්ව වර්ධනය කරගෙන, කුඹුරේ හේනේ සියලු කටයුතු කරගන්නට උත්සාහ කරන්නෙකි. ගැමියෙකි. ගොවියෙකි. නිරෝගී, කඩිසර, ජවසම්පන්න, හැඟීම් ඇති මිනිහෙකි. ... (( මෙවැන්නෝ ගමේ පමණක් නොව, නගරයේද, මුලු ලෝකයේම විසිරී සිටියි. අප දකින්නේ නැත. නමුත් හීමුගේ කවිය අපට එවැන්නෝ මැනවින් පෙන්වා දෙයි.))... ඔහු සිය පළමු කවියෙන් එකල සෑම ගමකම පාහේ සුලභව දක්නට ලැබුනු "කරඇඹීමේ" අපූරු නාට්‍යයම සංසිද්ධියක් ගෙනහැර දක්වයි. හීමු කවිය ආරම්භ කරන්නෙ, තමා පවසන්නට යන ප්‍රස්තූතයට අනුව, විෂයට අනුව, මාත්‍රා 23ක, කිසියම් ලයාන්විත, මන්දගාමී, විරිතකින්ය. එය මැනවින් සැලසුම් කළ ආරම්භයක් බව මට පෙනෙයි. අහම්ඹෙන් සිදුවූවක් යැයි පැවසීම කවියාට කරන නිග්‍රහයකි. අහඹු දේ නිර්මාණවල දැකීමට මා කැමති නැහැ. තමා කවියෙන් පවසන්න යන දේ වඩාත්ම හොඳින් නිරූපනය වන උචිත කවි විරිත් සුසංයෝගයක් තෝරාගණීම ද කවියෙකුගේ ප්‍රතිභාව ශක්තිය කියාපාන්නකි. කළුවස්සාගේ කරඅඹන්න කම්මලට ගිය ගොවියා කම්මලේ සිටින ගැටිස්සියකට ඇල්ම බැල්ම හෙළමින් හොරගල් අහුලමින්, ඇයත් සමග වචනයක් දෙකක් කතා කිරීමට බලාපොරොත්තුව සිටිය බව පළමු පදයෙන් කියයි.
.
"නුඹ එනතුරු කල්මැරුවා මතකයි මම කම්මලේ "

.
කම්මල්කරුවෙක් කවිය පැත්ත පළාතක නැත. කම්මලේ ඉන්නේ කෙල්ලෙකි. ‍ඇය කම්මල්කරුගේ බිරිඳ හෝ දියණිය විය හැකිය. ගොවියා කියන පරිදි, "... අප්පේ ඇය එසේ මෙසේ ලස්සනක් ඇති කාන්තාවක් නොවේ".
.
" සුවඳ දෙමින් නුඹ ආවේ විලසින් රතු දුම්මලේ "
.
ඒ ඇය පැමිණි සැටි අණ්ඩපාල ගොවියා ගේ ඇසින් කවියා අපට කියන විදියයි. කම්මලක මයිනහම අදිනවිට ලිපේ දැල්වී දඟලන, රතුගිණි ජාලාවට කවියා ඇයගේ රූපය සමාන කරයි. ඉන් හැ‍ඟෙන්නේ මේ කාන්තාව රූප ශ්‍රීයෙන් මෙන්ම සරාගී ඇළුම්-බැළුම්, ඇවතුම්-පැවතුම් ඇති, පිරිමින්ව දරුණු අන්දමින් දැපනෙ දමාගන්නා ශක්තියක් ඇති, පිරිමින්ගේ සර්වාංගයම මහා රාග ගින්නකින් දවා හළු කිරීමට සමත් ප්‍රබල ලිංගික ආකර්ෂණයක් සතු කාන්තාවක් බවයි.
මෙය මේ කවියේ දී හීමූ යොදාගන්නා සංකේතවත් සජීවී උපමා රූපකයන් තුළින් ජනනය කරන වයංගයේ එක් උපරිමස්ථානයක්.


" කර අඹන්න බිම දාගෙන කළු වස්සා තොංගලේ "
" විටක් කන්ඩ ඉල්ලපු හැටි මතකද රට දුංකලේ "

.
තමා ආ කාරියද මදක් නවතා, බලාපොරොත්තුව සිටි මෙකී කාන්තාව දුටු පසු, ඇය ළඟට ගෙන්වා ගැනීමේ අරමුණින් ගොවියා "රටදුංකළ" කැබැල්ලක් ඉල්ලා සිටියා මතකදැයි අසයි. මෙය සුලභ අහින්සක, සටකපට ගැමියෙකුගේ උපක්‍රමයක්. ... ((බුලත්විට රසබලන ගැමියන් අතර යාපනයෙන් ගෙනෙන මෙම ගෝඩා පැණි යොදා සකස් කරන රටදුංකළය එදා මෙන්ම අදද ඉතා ජනප්‍රියයි.))... මෙම "කරඇඹුම", ගමක එදිනෙදා ආර්ථික ක්‍රියාවලිය නිසා සිදුවන, නොවැලැක්විය හැකි, සුලභ අත්දැකීමක් වුවද, මෙහිදී කවියේ යටි පෙළ තුළින් නිරූපණය වන්නේ ස්වභාව ධර්මයට එදිරිව යමින් මහා ශ්‍රම සූරාකෑමකට "සතෙකුගේ" ස්වභාවික ලිංගික ක්‍රියාවලිය අඩපණ කිරීමයි. එහි අමානුෂික බව අපට වඩාත් දැනෙන්නේ, මේ කාර්යය කරණ ගොවියා මෙන්ම එතැන සිටින කාන්තාව ද මනසින් හෝ එකී ස්වාභාවික හැඟීම් වලින් කිසියම් රාගාවේශ උද්දීපනයක්, හැඟීම් සංතර්පණයක් ලබාගැනීමට ප්‍රයත්න දැරීම ප්‍රබල " මානුෂික" නාට්‍යම අවස්ථාවක් ලෙස නිරූපණය වන බැවිනි. මෙය එකම සංසිද්ධියක් තුළ දෝලනයවන ද්විමානුෂික ගැටුමක ඇති, අතිඅමානුෂික හා අතිමානුෂික අන්ත දෙකක අපූරු සංකලණයක්. හාස්‍යයත් උපහාසයත් තුළින් ගැඹුරින් මතුවන උත්ප්‍රාසය, ඉන් අප විඳින ප්‍රහර්ෂය, ආනන්දය ඉක්මවා අප වෙත යොමුකරණ ප්‍රඥාලෝක ධාරාව ඉතාම විචිත්‍රය. මනෝරම්‍යය. අනෙක් අතින් වැදගත්ම දේ නම්, කවියේදී එය ඉදිරිපත්වන්නේ මා කලින් කිව් පරිදි, සඳැස් කවි සම්ප්‍රදායේ කාව්‍යම ගුණාංග හා ශිල්පීය ලක්ෂණ උපරීම තලයකට ගෙන එමින්, විශිෂ්ට නිර්මාණශීලීත්වයක් ප්‍රකට කරවමින් වීමයි.
.
හීමු දෙවන කවිය ආරම්භ කරන්නේද, පෙර කවියේ දී කළා සේම අපූරු ලයාන්විත මාත්‍රා 23 කෙටි විරිතකිනි. පළමු කවියේ නිරූපිත සංසිද්ධියට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීම් වැලක් පවසමින් කිසියම් සොඳුරු අතීතාවලෝකනයකට පිවිසේන හීමූ එකල මෙන්ම දැනුදු ගමක පවත්නා සුලභ අත්දැකීමක් අපට තිලිණ කරයි.
.
"රුක්අත්තන ගස් හෙවනේ ඉඳගෙන ලොයි බංකුවේ "
" සුන්දර රන් ටිකිරි සිනා නැත කවුරුත් හැංගුවේ "

.
එකල ගමක මෙවැනි තැන් සුලභය. විශාල ගසක් සෙවනේ මෙවැනි කකුල් දෙකකට පිට ලෑල්ලක් සවිකොට සැදුව "ලොයි බංකු" මත ගැමියෝ ගිමන් හරිති. සතුටු සාමීචියේ යෙදෙති. මෙවැනි විශාල රුක් සෙවනවල් යට ගම්මු නාන පොදු ලිඳ ද බොහෝ විට පිහිටනවා. එවිට ඒ තැන්වලට එන බාල තරුණ වැඩිහිටි හා මහලු, නාන්නෝ හා නොනාන්නෝ මවන්නේ අපූරු රසගුලාවක්. රොයිටර් නිව්ස්, පැපරාසි නිව්ස් ද මෙහිදී අපූරුවට දෝලනයවනු පෙනෙයි. ඒත් ඒ කිසිවක හිංසනයක් නිරූපණය නෙවෙයි. නොරැ‍ඳෙයි. තරුණ තරුණියන් එක්වූ විට අප දැන් භාවිතා කරන වචනය "පෙරිල්ල" "මල්කැඩීම" ඇරඹෙයි. මෙකී ගොවියාද, මෙකී කාන්තාව සමඟ එවන් පෙරිල්ලක්, මල්කැඩිල්ලක්, මහත් අභිරුචියකින් නිදහසේ කර ඇති බවක් අපට කියයි. එසේ කියමින් අවසාන කවියෙන් කියන්නට යන දෙය මහත් සංයමයෙන් ඇඟට පතට නොදැනී, අහින්සකව සාධාරණීකරණය කරයි...
.
" කයිය දාට නියර කොනේ බෙදන ඇඹුල පංගුවේ "
" රස හින්දයි හැන්දැකොරේ හොරෙන්ම ගෙට රිංගුවේ "



කයියදාට නියරෙදි භුක්ති විඳින ඇඹුල රස හින්දාලු හවස් වරුවේ, හැන්දෑ කෙරේ හොරෙන්ම ගෙට රිංගලා තියෙන්නේ. රෑට ගෙදර බෙදන ඇඹුලක් නෑ. හොරෙන් ගෙට රිංගන්නේ ඉස්සරහා දොරින් නෙවෙයිනෙ. පස්ස දොරින්. එහෙනම් මේ ගෙට පස්සා දොරින් හොරෙන් රිංගන්න, "ඇඹුලේ රස" පරයා නැගෙන ප්‍රබල හේතුවක් තියෙන්න ඕනේ. තෙවන කවියෙන් කියන්නට යන දෙය සාධාරනීකරණය කරමින් කවියා මේ ඉඩහසර ලබාගන්නේ අවසානයේ තමන් නටනා අඩව්ව වේගවත්ව කලඑළි දැක්වීමටය. එහිදී සමස්ත කවියෙන් නිරූපණය කෙරෙන මානුෂික නාට්‍යම ගැටුම ඉතාම තීව්ර ආකාරයෙන් අපට කියයි. ඒ සඳහා හීමූ යොදාගන්නේ අප කවුරුත් අසා ඇති, කිසියම් ආවේශයකින් කියවෙන, මාත්‍රා 29 කින් ලියැවුණු ප්‍රවේගවත් රබන් පද විරිතක්ය. සිය කවියේ මූලික ප්‍රස්තුතය වර්ණවත් කිරීම සඳහාද, කවියේ උපරීමස්ථානාය්දී වඩාත් උචිත නාට්‍යම අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහාද හීමූ මෙතෙක් ගලාගෙන ආ විරිත වෙනස් කරයි. එය එක් අතකින් ශිල්පීය අත්හදාබැලීමකි. මෙවැනි වෙනසක් කවිය තුළ කළ හැක්කේ කවියන් විසින්මය. ව්‍යංයෙන් කියනා මේ සංසිද්ධිය කුමක්ද?
.
" දොන්ත බබක්කගෙ තුට්ටු රබානට වෙට්ටුව දානා සන්දියේ "
" ගහනා තරමට බොල් හඬ මිස නැත රත්කර ගන්නට නිච්චියේ "

.
ලැබෙන පොඩි තුට්ටුවකට දෙකකට මිනිසුන් සතුටු කරවන, ආර්ථිකව පිරිහුණු මෙවැනි දොන්ත බබක්කාලා එකල ගම්වල සුලභයි. දැනුදු නැතුවා නොවේ. නමුත් පෙර සිටියාට වඩා අඩුය. මන්ද දැන් ඔවුන් ගමෙන් නගරයට එන නිසාය. එකල මේ ගොවියාද මෙවැනි දොන්ත බබක්කෙකුගේ රඹානක පහස ලැබූ බවත්, ගමේ බොහෝ පිරිමින් මේ රඹාන වැයීමට යාම නිසා ඇයට එය නිසි පරිදි පදම්කරගන්නටවත්, රත්කර ගන්නටවත් (පිරිසිදු වෙන්නටවත්) වෙලාවක් නොමැති නිසා නිතරම නැගුනේ බොල් හඬක් බව පවසයි. මෙය අපූරු චිත්තරූප අප තුළ මවයි. එහෙත් ඇය හොඳ සේවා දායිකාවකි. ගම්මු තුළ කිසියම් තරහක් අමණාපයක් නොමැති නමුත් ඉන් නිරූපණයවන්නාවූ සමාජ යථාර්ථය, හාස්‍යය හා උපහාසය සමග සංකලණය වී දරුණු උත්ප්‍රාසයක් නංවයි. කවියේ උපරිමාන්තයට වඩාත් නාට්‍යමරූපී අවසානයක් ලබා දෙයි.
.
" තුන් අණ්ඩෙන් මං පැනගෙන ආවේ වෙච්ච වැරැද්දට නංගියේ "
" ගාගෙන යනකොට තෙල්ටික සරුවට ගියපු අතක් නැත නොන්ඩියේ "

.
කුමක්ද මේ අවසානයේ සිදුවන්නේ ? මොකක්ද මේ පැනගෙන ආපු අඬු තුන ? යහමින් සරුවට තෙල්ටික ගාගෙන යනකොට ආගිය අතක් නැති වූ නොන්ඩිය කුමක්ද? දෝරේගලන, ගැමි පරිසරයට පමණක්ම අනන්‍ය වූ නැවුම් සංකේතමය උපමා රූපක තුළ, හීමූ කවිය හා කවියේ සියලු ශිල්පීය හරයන් රැකගෙන, කවියක ආත්මයවන් "ව්‍යංගය, කිරුළු පළඳින්නේ මෙහිදීය. මේ හීමූ තුළ මා එදා සිටම දුටු, ඔහුටම ආවේනික කවි කලාවේ සුවිශේෂ වූ අනන්‍යතාවයි.
.


සමස්ත කවියෙන් ප්‍රකාශිත , නිරූපණය වෙන ගැමි දිවියේ සමාජ යථාර්ථය පිළිබඳව, සර්වකාලීන දෘෂ්ටියක් හෙලා, එය මෙලොව පවත්නා සියලු සමාජ සංදර්භයන්ට පොදු වූ මානව කටයුත්තක් බවත්, ගැමි හෝ නාගරික හෝ වේවා සෑම සමාජයක් තුළම, ආර්ථික වාසි හා ආත්ම සංතෘප්තිය සඳහා මෙවැනි අණ්ඩපාලයින්, කවදත් සිය බලය අත්වැලක් කරගෙන, අන්‍යයන්ගේ ජීවිතවල ජීවය, හැඟීම් ආදිය සූරාගනිමින් කරන "කරඇඹීම්", දොන්ත බබක්කලා දිදුලන ගිනිමල් පහසින් පන්නරය ලබා, බලය, ආර්ථික ප්‍රභාවය හා තෘප්තිය සොයන්නා වූ අණ්ඩපාලයින්ගේ විසූකදක්ඛන, අප සමාජයේත්, ලොව ඕනෑම සමාජයකත්, ඊයෙත් සිදුවුණු බවත්, අදත් සිදුවන බවත් , හෙටත් සිදුවිය හැකි බවත්, සුලභ කුරිරු සමාජ යථාර්ථයක් බවට පත්ව ඇති බව හීමූ අපට කියා දෙයි. පසක් කර දෙයි. මෙවැනි නිර්මාණයක් පොදු තලයක හොවා සෑම කෙනෙකුටම රසවිඳිය හැකි, ආනන්දයෙන් ප්‍රඥාව කරා අපව කැඳවාගෙන ගොස් මිනිස් සමාජයේ හදවත් කුහර තුළ ඔද්දල් වූ ගුණ සුවඳ පිළිබඳව යළි යළිත් හිතන්නට පොළඹවන මෙවන් නිර්මාණයක් කලඑළි බැස්සවීම, අද අප සමාජයේ ජීවත්වන වත්මන් කවි කිවිඳියන්ගෙන් ඉටුවිය යුතු, සිදුවිය යුතු මහා කාව්‍යමය හා සමාජ මෙහෙවරක් බවනම් නොකියා නොහැකිය.
.
කවිය යනු, අපේ ලොව ඇති සකල කලාවන් අතර, ස්වාභාවික, දේශපාලන, ආර්ථික, සමාජයීය යථාර්ථය ඉතාම හරවත්ව කියා පෑ හැකි, 21වන සියවසේ ලොව පවත්නා සංක්ෂිප්තම, විශිෂ්ටම කලාවයි. කවිපද 4ක කවියකින් සමස්ත ලෝක ධාතුවේ ම යථාර්ථය හකුළුවා දැක්වීමේ හැකියාව කවියෙකුට ඇත. මේ පද 12න් නිරූපිත පැදිපෙළින් නිරූපනයවන අපේ ගැමි පරිසරයේ හා සමාජයේ යථාර්ථය ගැන මෙහොතක් සිතා බලන්න.මේ සමාජ සංසිද්ධීන් හා ජිවන යථාර්ථය තුළ දෝලනයවන, හැලහැප්පෙන මිනිස් චින්තනය ක්‍රියාකරන සැටි නිරූපණය කරණ, විශ්වසනීයත්වය දනවන, හරවත්, නැවුම් නවකතාවක් ලියුවහොත්, එය පිටු ගණනාවක් දීර්ඝවන, දිනගණනාවක් කියවිය යුතු නවකතා පොතක් වනු නිසැකය. පැය ගණනාවක් පුරා දිවෙන සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක් විය හැකියි. එබැවින් "රටදුංකළය" නම් වූ මේ සොඳුරු සංක්ෂිප්ත කවි තුන එතරම් ම ප්‍රබල තැනෙක වැජඹෙන බව විශවාසයයි.
.
දැන් මේ පැදි තුන තුළ, කාව්‍ය කලාවේ සියලු සම්ප්‍රදායී ශිල්පීය ලක්ෂණ සමග සුසැදි ව්‍යංගය ඉතාම කලාත්මකව කිරුළු පැළඳ රජකරන හැටි ගැන මෙහොතක් සිතා බලන්න. ඕනෑම කිවියෙකුට සිය පරිකල්පන ශක්තිය තුළින් කවි නිර්මාණයකදී උපරීම ථල නෙලාගත හැක්කේ, තමා ජීවත්වන පරිසරයේ ආර්ථික, දේශපාලන හා සමජයීය හරයන් කවි ඇසකින් දැක, සිය නිර්මාණය ඉදිරිපත් කිරීම සඳහා අදාළ කාව්‍ය සම්ප්‍රදායට හා එහි ශිල්පීය ගුණාංගයන්ට ගරුකරමින්, අනුගතවෙමින්, තමාගේ සජීවී ජීවිත අත්දැකීම් නැවුම් ආකාරයෙන් දැක, පාඨක රසවින්ඳනය විකසිත කිරීමට ගන්නා, අහඹු නොවන ප්‍රවේශය හා සතතාබ්යාසය තුළිනි. මේ, මා හීමූගේ මෙතෙක් කියවූ, හීමුටම ආවේනික කවි කලාවේ අනන්‍යතාව මැනවින් කියාපාන, කවියේ "හීමු ලකුණ" මොනවට සනාථ කරන, මුඳුන් මල්කඩ බව මහත් අභිමානයකින් යුතුව කියන්න කැමතියි... ස්තූතියි !!! සංවාදයකට විවෘතයි !


විසුර....
12/06/2013