Translate

Saturday, July 6, 2013

*** හෙවනැල්ලත් ඇද වුනාලු ***




*** හෙවනැල්ලත් ඇද වුනාලු ***

කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැළක් වාගේ
සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ
නැංගුරමක් නැති වුනදා වාන් දමන වේගේ

ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ
උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ
පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ

තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න කියලා
කිරි අම්මා එන්න කිව්වෙ පාරෙදි මුන ගැහිලා
දියට දාන ඉබ්බත් මොන ඇන්නෑවද හිතලා
ඈඳි ගත්තෙ වටපිළ උඩ ඔයා දිහා බලලා

හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ
ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ
දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ

(
පඬුවස්නුවර හිමු ආරියවංශ)

පඬුවස්නුවර හිමු ආරියවංශ කවියාගේ "...හෙවනැල්ලත් ඇද වුනාලු..." යන පැදි සතර, ඉතාම විචිත්‍රවූ වදන් හරඹයක් මෙන්ම ප්‍රාණවත් කවි සිතුවිල්ලක් සහිත විශිෂ්ට නිර්මාණයක් බව මුලින්ම කියන්න ඕනේ. කවි සිතුවිල්ල, සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවී, ඉදිරිපත්කරන නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට බොහෝ කිවි කිවිඳියන්ට පරමාදර්ශයක්වන තරමේ කවි පන්තියක්. නිර්මාණයක් !
.
හිමූ පළමු කවියෙන්ම, අපගේ කුතුහලය රඳවා තබාගනිමින්, ආදර සම්බන්ධතාවක් කැඩී බිඳී විනාශ වුණු තරුණයෙකු දැන් සිටිනා මනෝභාවය ගෙනහැර දක්වයි.. මානසික තත්ත්වය හිමූ ප්‍රකාශ කරන්නේ අපූරු උපමා උපමේය රැසකිනි.
.
"....කැප්පෙටියා අත්තක රැඳි මකුළු දැලක් වාගේ

.....සිත් තුළ පැසවපු ආලය පිස දැම්මා මාගේ
.....හෙවනැල්ලත් ඇද වුනාලු අත්හැරෙනා දීගේ..."
.

ආදර සබඳතාව බිඳ දැමීම හරියට මකුළු දැලක් පිසදැම්මා වගේ යැයි ඔහු කියයි. ඒක සිදුවෙලා තියෙන්නේ ක්ෂණිකව. මකුළුදැල් කඩන්නෙ එහෙමනෙ... මේ සිදුකළ ඉතාම අකාරුණික ක්‍රියාව තුළින්, ආදරවන්තියගේ චරිතය කෙබඳු එකක් දැයි අප තුළ මහා සසලවීමක් ඇති කරමින්, කතානායකයා කවිය කියවන අපගේ ආදරය අනුකම්පාව දිනාගැනීමට සමත්වෙයි. ඔහුගේ නැත්නම් ඒ තරුණයාගේ මනස, එහි ස්වභාවය හිමූ ඊළඟට නිරූපණය කරන්නේ ඒ හා සමානම තවත් ප්‍රබල උපමාවක් යොදාගනිමිනි.
.
"... නැංගුරමක් නැති වුණදා වාන් දමන වේගේ..."
.

මේ තරුණයා සුළඟට හා දියරැලිවලට අසුවෙමින් මුහුදේ එහාමෙහා පාවෙන, ගසාගෙන යන, ඉරණම අවිනිශ්චිත, නැංගුරමක් නොමැති නැවක් වැනි යැයි හිමූ පවසයි. මෙම උපමා රූපක සංකේතය මූණුපොතේ  කවියක මා දුටු අලුත්, නැවුම් යෙදුමකි.
.
මෙවන් විපරීත ජීවන සංසිද්ධියක් කියමින් අපේ හදවත සසල කර, කුතුහලය හා අවධානය දිනාගන්නා හිමූ ඊළඟට වහාම පිවිසෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති ආදරය සිහිපත් කරණ ඉතාම සුන්දර වූ අතීතාවලෝකනයකටයි.
.
".....ගොඩපර ගස් හෙවන යටදි ගෙලට දාපු මාලේ

......උණ පඳුරේ සංගීතෙට තාල හදපු කාලේ..."
.
ගමේ ගොඩපරගස් හෙවනකදි තෑගිබෝගත් හුවමාරුවෙලා. උණ පඳුරු අස්සේ " සිංදුත් " කියලා තියෙනවා. තව තවත් දේවල් හුවමාරුවෙන්න ඇති. සියුම් හාස්‍යයක් සමඟ නැගඑන්නේ මේවායින් සිතේ මැවෙන චිත්ත රූප වෙතයි. ඒවායින් ධ්වනිත වෙන යටිපෙළ අරුත් වෙතයි. "... ඒවා තේරුම්ගන්න නම් ගමකම ඉපදිලා මේ අත්දැකීම් ලබන්නම ඕනේ..."
".....පහළ ඇලෙන් දිය නාලා එනවිට මනලෝලේ
......දෙවැටම හිනැහුනා එදා දැක්කම ඔය ලීලේ..."
.
මේ දෙපදයෙන් ඇය දියනා එන විට පාර දෙපැත්තේ ඇති ගස්, වැල්, මල් හිනාවුණා යන වාච්යානර්ථය අභිබවා කියන්නේ මේ සබඳතාවට "දෙපැත්තේම" ආශීර්වාදය හිමිවී තිබූ බවක් යැයි මට හිතෙනවා. එය සනාථ කරණ කරුණක්, සිදුවීමක් තමයි ඊළඟට හිමූ චිත්‍රණය කරන්නේ..
.
මෙවැනි සබඳතාවන්ට ස්ත්‍රී පාර්ශ්වයෙන් ආශීර්වාදය ලැබීම සංකේතවත් කරන්නේ, "ආහාර වේලකට" නිවසට පැමිණෙන ලෙස මනාලයාට කරණ ආරාධනයකිනි. ඇය වාසය කර ඇත්තේ සිය කිරිඅම්මා - මිත්තනිය - සමගය. ඒ නිසා මේ තරුණයා අතරමඟකදී හමුවූ වෙලාවක,"... තිබ්බටු ආනමත් එක්ක පිට්ටු කන්න එන්න..." කියලා කිරිඅම්මා ආරාධනා කරලා. තරුණයාට මේක "..ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙද.." කිව්වා වගේ. ඇගේ ගෙදර ගිහිං කෙල්ලටත් බැලුම්දාලා, "... තිබ්බටු ආනමත් එක්ක පිට්ටුත් කාලා..." ඇවිත්. ඒ කියන්නේ මඟුල ආයි නොකැඩෙන්නම ස්ථීර වෙලා තිබිලා තියෙනවා. එහෙව් මඟුලක් තමයි මේ අවාසනාවන්ත චණ්ඩ කුණාටුවකට හසුවෙලා තියෙන්නෙ... කවියක මා දුටු ජීවන සංසිද්ධියක් සංකේතවත් කරණ තවත් අපූරු නැවුම් යෙදුම් කීපයක් මෙහිදී හීමූ යොදාගෙන තිබෙනවා.

නමුත් අවසානයේ මෙලෙස කොතෙක් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටියත්, කල්ගතවෙන කොට, ("...හීන හතක් එළි වෙනවිට පායන ඉර ඉසව්වේ..." ) තවත් කෙනෙකු සමග ඇය හොරෙන්ම පැනගොස් තිබෙන්නේ, ආදරය හා අනුරාගය නිසා ඇති වන මහා දුක් ගින්දරක් හදවතේ ඇතිකර, එය උතුරා පිටාරා ගැලීමට සලස්වලා. ".. මගේ හදවත රිදෙව්වේ, පෑරෙව්වේ ඇයි..." කියලා අහන්නේ ප්‍රබල නාටකීය අවස්ථාවක් නිර්මාණය කරමින්ය. කවියේ උපරිමස්ථානය එයයි.
.
"...ආල නුරා පෙම් ගින්දර පූදින හිත රැඳෙව්වේ

....දෝරෙ ගලන්නද නංගෝ පාරා හද සොරොව්වේ
....දීග ගොහින් පිට පාරේ ඇයි මගෙ හිත රිදෙව්වේ..."
.
හීමූ මෙයින් ඉතාම වේදනාත්මක සංවේදනාවන් රැසක් අපතුළ ඇති කරමින්, විරහා වේදනාවක අභ්‍යන්තරය, ගැඹුර, ඉතාමත් කලාත්මකව ස්පර්ශ කරයි.මෙය හුදෙක් දිගු වෘතාන්තයක්, කියන්නන් වාලේ කියාපෑමක් නොවේ. හිමූ ඒ මානව සංසිද්ධීන්ට මුහුණ දුන්නාවූ චරිත දෙකක අභ්‍යන්තර හැඟීම්, කලාත්මකව, කාව්‍යයට උචිත ලෙසින් කියාපෑමකි. එක් අතකින් එය මනෝ විද්‍යාත්මක විවරණයකි. සඳැස් කවිය තුළ හිමූ ගේ සුවිශේෂී අනන්‍යතාව, හීමූ ලකුණ, කදිමට නිරූපණය කරණ, ඉතා උසස් විචිත්‍ර පද්‍ය නිර්මාණයකි. මා ඉහත සඳහන් කළාක් මෙන් සඳැස් කාව්‍ය සම්ප්‍රදාය හා එහි අනුගත නීතිරීතීන්ට අවනතවීම පහත් යැයි නොසිතා, හිමූ මෙම කවි පෙළ ඉදිරිපත්කරන නැවුම් නාට්‍යම රූපී ආකෘතිය, පරිසමාප්තිය (උච්චම ස්ථානය) ගැන සැලකූ විට, ඕනෑම කෙනෙකුට මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
'
එලෙසින්ම, ගමක එදා සිදුවුණු ජීවන සංසිද්ධි, ගමෙන්ම උපත ලද උපමා රූපක, කියුම් කෙරුම්, සංකේත භාවිතයෙන්, ව්‍යංගය තුළින් උපරිම ඵල නෙලාගනිමින්, එම ගැමි ආර නොකෙළසමින්, අපේ පහන් සංවේගය සඳහා ඉදිරිපත් කිරීමට හීමූ තුළ ඇති හැකියාව හා දක්ෂතාවත්, කවියේ රසවත් බව , කුතුහලය හා අවධානය රඳවා තබාගැනීමට ඉවහල්වන එක්තරා විධියක නවීන ආකෘතික ලක්ෂණ යොදාගෙන, තමන්ටම ආවේණික ශෛලියක්, අනන්‍යතාවක් තහවුරු කරගැනීමට කිවියෙකු ලෙස හීමූ සමත්ව ඇති බව කිව යුතුමය.

හීමුට මෙලෙස සුබ පතනා ගමන්, (( අවංකවම පසුගිය කාලයේ මා දුටුවේ නෑ... මූණුපොතට මගේ පැමිණීම අඩුනිසා වන්නටත් පුලුවනි.)) මෙවැනි සුවිශේෂ කවි අනන්‍යතාවක් සහිත කවියන්වන, ධර්මලතා, සාන්ත රාජපක්ෂ, ගයනි දික්කුඹුර, ශාන්ත විජේසිංහ, ලක්ෂ්මන් නයනකාන්ත ආදී කියූ නොකියූ කිවිකිවිඳියන් රැසක් අන්තර්ධාන වී සිටීම ගැනත් දුක්වෙමි.

ඒ වගේම
....
මට විවේචන කිරීම, විචාර කිරීම දැන් එපා වෙලයි තියෙන්නේ... අද මාක්ගෙ පොත් නිකුතුව සිදුවූ සලජාකසයේ බටහිර පළාතේ රැස්වීමට ගිය වේලේ මට පැවරුණා "මාක් කිවිඳු" ගැන, ඔහුගේ "කවිය" ගැන අගැයීමක් කරන්න. අනේ ඉතිං කියලා වැඩක් නෑ. කිසිම කෙනෙක් ඇහුන් කන් දෙන බවක් පෙනුනේ නෑ. බාධා අපමණ...අන්තිමට මටත් කියාගන්න ආපු දෙවල් පැටළුණා. ඒකෙන් අසාධාරණයක් සිදුවුණා නම් සිදුවුණේ මාක්ටයි. මං ඔහුගෙන් සමාව අයදිනවා එයට.
.
තමන්ගෙ කවි ගැන විතරයි මේ වැඩි දෙනෙක් හිතන්නෙ. උනන්දුවෙන්නෙ. මහකොළඹේ ප්‍රවීණ පරසිදු මහ කවියෝ යැයි නම් දරා සිටින කී දෙනෙක් මේ රසවිඳීම කියවා "අකමැතියි" හෝ කියා තිබෙනවාද? නැත්නම් මටත් වඩා මානයකට ගොස් මෙය රසවිඳ තිබෙනවාද? පැහැදිලිව තේරෙනවා තවත් කෙනෙකුගෙ කවියක් රසවිඳිනවාට මේ වැඩි දෙනා කැමති නෑ.
.
රසවිඳ ඇති බව දැක්කත් එවැනි විචාර කියවන්නෙත් නෑ... දැකලා, එය කියෙව්වත්, නොකියවූ ලෙස නිකං ඉන්නවා.
එය මොන තරම් කුහක සිතුවිල්ලක්ද ???
මං මේ තත්ත්වය නිරික්ෂණය කළා බොහෝ කාලයක සිට.


ඒ නිසා
දැන්නම් මං නිකමටවත්, අනුන්ගේ කවි නොකියවන, අනුන්ගේ විචාර නොකියවන, විචාර නොඉවසන,"බොරු මිතුරුදම් පවත්වන" කවියන්ගෙ කවි වලට "ලයික් " එකක්වත් ගහන්නෙ නෑ...

මහ කවින් හා හොඳ මිතුරන් යැයි සිතා සිටි එවැනි බොරු, කුහක, ප්‍රවීණ මිතුරන් කීපදෙනෙක් මට මහ කොළඹින්ම හමුවුණේ නොසිතූ විලසයි.  පුදුමය නම් ඔවුන්ගෙ කවි නම් හොඳයි ....
නමුත් හදවත නම්........................
කියලා වැඩක් නෑ !

.

විපුල සුමනසේකර
2013 ජූලි 5දා මධ්‍යම රාත්‍රියේ 12.20 ට විතර....