Translate

Thursday, July 31, 2014

෴෴ජීවිතය රෝස මල් යහනාවක් නොවේ ෴෴



25වන ප්‍රේමකීර්තී ගුණානුස්මරණය සහ
මගේ රූපවාහිනී දැන්වීම්කරණයේ
25වන සැමරුම



වර්ෂ 1999 ජූලි 30 වැනිදා සවස් භාගයේ කිරුළපනේ ‘‘පොල්හේන්ගොඩ වලේ ’’ දී රාත්‍රී 8 ට පමණ මටත් ටෙලිස්ටාර් අධිපති සුමිතුරු බන්දුල වීරක්කොඩිටත් ප්‍රේමකීර්ති අවසන් වරට හමුවිය. ඔහු මද පමණට මධුවිතක් තොලගාමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් අගෝස්තු 1 වැනි දින මා රූගතකිරීම් කර නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති මගේ පළමු රූපවාහිනී දැන්වීමේ කථනය, අපේ අඩුවැඩිය තැබූ මේසයේම තියාගෙන එක හුස්මට ලියාගෙන ලියාගෙන ගියේය. 

දෛවයේ සරදමකට දෝ කථනය පටන්ගත්තේ මෙසේය.
 ‘‘...ජීවිතය රෝස මල් යහනාවක් නොවේ...’’  

 

රාත්‍රී 10 පමණ වන විට කථනය ලියූ කොළ කැබැල්ල මට දී අපෙන් සමුගත්තේ සුපුරුදු යතුරුපැදියට නැගෙමිනි. මෙයට පෙරද ඒ යතුරුපැදියට පින්සිදුවන්නට ප්‍රේමකීර්ති අතපය කඩාගෙන විජේරාමයේ බෝඩිමක සෑහෙන කාලයක් දුක් වින්ඳා මතක බැවින්  ‘‘ යන්ඩ පුලුවන් නේද ? නැත්නම් මං ගිහිං දාන්නම් ’’ යැයි අවසාන මොහොතේදීත් බන්දුල ඇසුවා මට මතකය. ‘‘ පිස්සුද ? මේ මගේ ප්‍රේමණීය මිත්‍රයා. අතපය කැඩුවත් මාව කවදාවත් මරන්නේ නැහැ’’ යැයි සුපුරුදු හාස්‍යයෙන් යුතුව පවසමින් අසුරු සැණින් හේ අන්තර්ධාන විය. ඒ ඔහු දකින අවසාන මොහොත හෝ දවසයැයි  මටවත්, බන්දුලටවත් නිකමටවත් සිතුනේ නැත. 

සතියක ඇවෑමෙන් මාත් බන්දුලත් මෙම රූපවාහිනී දැන්වීම රූගත කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන පොල්හේන්ගොඩ "වළෙන්" විසිර ආවා. 


෴෴෴ එහෙත් එදින රැයේ ඔහු ජීවිතයෙන් සදහටම සමුගත්තේ රුදුරු නන්නාඳුණන තුවක්කුකරුවෙකුගෙන් එල්ල වූ සිත්පිත් නැති වෙඩි උන්ඩයකට මුහුණ දෙමිනි෴෴෴


පසුදින උදේ රටපුරා පැතිරගිය මේ පුවත පෙරදින රැයේ වූ වෙරි සිඳවන්නට සමත් වූවා පමණක් නොව, ඉතාමත් ශෝචනීය ලෙසින් එදින අප තවතවත් වෙරි ගන්වන්නට ද සමත් විය. 
.

අගෝස්තු මස 1 වැනිදා උදෑසන රූගතකිරීම් සඳහා මා කැඳවාගෙන යාමට මගේ මහරගම නිවසට පැමිණ බන්දුල කිව්වේ ‘‘මචාං අපි ප්‍රේම්ගේ මළගෙදරට ගිහිංම වැඩේ පටන් ගමු’’ කියායි. කිසිදු වචනයකින් තොරව මම ඔහුගේ රථයට ගොඩවීමි. අඩ හෝරාවකින් පමණ අප නතර වූයේ ප්‍රේමකීර්තිගේ හෝමාගම කටුවන පාරේ පිහිටි නිවසේය. එහි යන විටත් කාගේත් දුක්ගන්නා අපගේ ආදරණීය ගායිකා නන්දා මාලනී සහ මහැදුරු සුනිල් ආරියරත්නයින් පැමිණ සිටියා මට අද වගේ මතකයි. ප්‍රේම්ගේ දෙන බැලීම හා පහළ වූ හැඟීම් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම ඉතාම වේදනාකාරී අත්දැකීමකි. ඒ ගැන වචනයක්වත් ලිවීම අදටත් කළ නොහැකි දෙයකි. ඔහුගේ දෙන පසෙකින්, ඔහුගේ පළමු ප්‍රියාදර බිරිඳ වූ, ගුවන්විදුලියේ දයාර්ද්‍රම නිවේදිකාව වශයෙන් කවදත් මා සලකන දයා ද අල්විස් සොයුරිය බිමට යොමු වූ නෙතින් සිටියා මතකය. එහි වූ හැඟීම් ද කිසිම විටක කවර හෝ වදන් පෙළහරකින් ප්‍රකාශ කළ නොහැකිය. අනෙක් පසෙක ප්‍රේම්ගේ එවකට බිරිඳ වූ නිර්මලා, මෙලෝ හසරක් නොදැන නිදන ප්‍රේම්ගේ කුඩා දරුවා ඔඩොක්කුවේ රුවාගෙන හැඬූ කඳුළින් සිටියා මතකය....
.

හෝරාවකින් පමණ එතැනින් ඉවත් වූ අප දවස පුරාම මහන්සි වී රූපවාහිනී වෙළෙඳ දැන්වීමේ රූගතකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නිම කළා මතකයි. ඒ මගේ - මා නිර්මාණය කළ පළමුවන රූපවාහිනී වෙළෙඳ දැන්වීමයි. ආරම්භය ඉතාම දුක්ඛිතය. මෙය මගේ නිර්මාණ ජීවිතය වෙලාගෙන තවමත් එලෙසින්ම පවතියි.
.
ඉන්පසු මා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහාම කුඩා සුජානී මේනකා පෙනී සිටි ‘‘සතෙන් සතේ ඇටෙන් ඇටේ ඉතිරිකරලා... ඉතිරිකරලා ’’ යන දැන්වීම ඇතුළුව ඇරඹි රූපවාහිනී දැන්වීම්කරණ චාරිකාව, නානාවිධ බාධක කම්කටොළු මැදින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සංවර්ධන හා ජාතික ලොතරැයිය, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, රාජා ජුවලරි ඇතුළු බොහෝ රන් ආභරණ ආයතන, එන්ඩීබී බැංකුව, පැනඩෝල්, අයඩෙක්ස්, ළමා පැනඩෝල්, නෙස්ලේ මයිලෝ, ඇන්කර්, රත්තී, ඇන්ලීන්, ඇන්මම් සහ නිව්ඩේල් යෝගට් ආදී නානාවිධ දැන්වීම් අනුග්‍රාහකයින් හරහා පැමිණ, වසර පහක පමණ විරාමයකින් පසු, දැන් යළිත් ජයෝදා, පැනඩෝල්, ළමා පැනඩෝල් සහ මැලිබන් හරහා නව මාවතකට ප්‍රවේශ වී තිබේ. 
.
මේ සියල්ල මැද නිරන්තරයෙන්ම මා දකිනා සිහිනය වන්නේ, බ්‍රිතාන්‍ය ලේඛක ලෙනාඩ් වුල්ෆ් ගේ The Village in the Jungle නවකතාව ආශ්‍රයෙන් ‘‘බැද්දෙගම’’ නමින් කොටස් 50කින් යුත් ප්‍රසාංගික ටෙලිනාටකයක් නිර්මාණය කිරීම සහ කෙදිනක හෝ මගේ පළමු සිනමා කෘතිය නිර්මාණය කිරීමයි. එහෙත් මා යන ගමනේ බාධක කම්කටොළුවල නම් කෙළවරක් නෙපෙනේ. අපල උපද්‍රව, අතපය කඩාගැනීම්, ස්වාභාවික ලෙඩරෝග ආදිය මෙන්ම රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනී මාධ්‍ය නාලිකා තුළ දැන් රජ කරනා ජරාජීර්ණ දූෂිත අල්ලස සහ දේශපාලන බලවේගයන්ගෙන් නිරන්තරයෙන්ම එල්ලවන්නා වූ බාධක එමටය. ස්වාභාවික බාධක ජයගැනීම පහසුය. එහෙත් දැන් රජ කරනා ජරාජීර්ණ දූෂිත අල්ලස සහ දේශපාලන බලවේග ජයගැනීම අපහසුය. සමහරවිට මගේ මුලු ජීවිත කාලය පුරාම එය ජයගැනීම කළ නොහැකි වනු ඇත. එසේ කියා අපල හා දූෂිත බලවේගයන්ට ඉඩදී නිහඬව බලාසිටින්නට මට නොහැකිය. 

මම ඉදිරියටම යමි. එසේ යන්නට සැමවිටම වෙර දරමි. මට ඔබේ සහය, ශක්තිය සහ දිරිය අවශ්‍ය වෙයි. ඔබ සැමගෙන් එවැනි සහයක්, ශක්තියක්, දිරියක් ලැබේය යන්න මගේ සුන්දර අපේක්ෂාවකි. මා සමඟම සිටින්න ! මා සැමවිටම ඔබ සමඟයි !!!

෴෴  ජීවිතය රෝස මල් යහනාවක් නොවේ ෴෴ 


විපුල සුමනසේකර
2014.08.01