Translate

Monday, January 31, 2011

හීමුගේ  ' විස්කම් ' මට පෙනෙන හැටි....





''ඉසිඹු ලන සඳ මලානික හද - තිසා වැව ළඟ බලාගෙන මඟ'' ... සඳපානක මහත් අමාරුවෙන් තිසා වැව් ඉවුරට ගොඩවුනු කවියා, විවේකයක් ගෙන මදක් වෙහෙස නිවාගන්නවා.


''පෙරා මඳහස ගෙනේ මඳ නල''.... මේ වෙලාවේ හමා එන්නේ ලිහිල් - සිසිල් මද නලක්. එයින් දැනෙන සුවයට සනීපෙට ඉබේටම වගේ නැගෙනවා ඔහුගේ මුහුණේ සියුම් මඳහසක්....  


''ඔබේ සුදු වත වගේ රළ නැග ''...  ඔහු ළඟ කාන්තාවක් ඉඳලා තියෙන හැඩයි. ඇය සුදු හෝ කළු ළදක් වුවත්, නැතත් , ඇගේ මුහුණට සඳ එළිය වැටී සුදු පැහැගැන් වී ඔහුට පෙනුනා විය හැකියි. මද සුළගේ සිහින් රැළි නංවන වැව් දියමත සඳ එළිය වැටුනාම සුදේ සුදට දිළිසෙමින් අපූරූ සිත්තමක් මැවෙයි...  


''සරා සඳ ළඟ තබා උගසට - සෙනෙහෙබර සිතිවිලි පරාසය'' ... මෙහිදී සරා සඳ යන්න සරත් කාලයේ - සෘතුවේ, නැගෙන සඳ යන්න හා ''සරාගී, රාගික හැඟුම් දනවන සඳ'' යන්න ලෙස ද්විත්වාර්ථ නැංවෙයි. උදාවූ අවස්ථාවේ හැටියට, ඓතිහාසික ඉසුරුමුණි විහාරයට ආවත්, කවියාගේ සිතෙහි කිසියම් රාගික හැඟීමක් මතුව ආ සැටියක් ඉවෙන් වගේ මට මෙයින් දැනේ....(( එළිමහනේ නෙළා තිබුනු පෙම්යුවල දැන් තබා ඇත්තේ ''අඳුරු'' කුටියක නිසා ඕනෑම අයෙකු තුළ කිසියම් රාගික හැඟීමක් ඇතිවෙයි. කවියා මෙය නැරඹීමෙන් පසුව තිසාවැව් ඉවුරට ආවාම රාගික හැඟීමක් ඇතිවන එක පුදුමයට කරුණක් නොවේ.))...  
නැත්නම් අහවල් දෙයකටද ඔහු තමාගේ සෙනෙහස ආදරය හඳට උගස් කරන්නේ ?  

(( මං මේ කවි පන්තියේම දකින අප්‍රියම වචනය මේ 'උගසට' යන වචනයයි. මෙයට වඩා හොඳ වචනයක් හීමූට හොයාගන්න බැරිවුන හැටි ! )) 

මගේ සැකය - ඉවෙන් දැනුන දේ නිවැරදියි. ''නුරා ගිනිදැල් බුරා ඇවිලෙන - සෙනේහය මත දවා අළු කර ''... කවියා ඊළඟට කරන්නේ තමාගේ සිතේ නැගුනාවූ, ඇවුළුනාවූ ඒ රාගික හැඟීම් සියල්ල, සෙනේහය මත හොවා සම්පූර්ණයෙන් දවා අළුකර දැමීමයි. ..... ((ඔන්න පන්සල් ආවයි කියලා මතක් වුනාම කළ දේ... හරි අපූරුයි...  සැබෑ ආදරවන්තයොත්, භක්තිවන්තයොත්, මෙහෙම තමයි තමන්ගේ සිත් දමනය කරගන්නේ මේ ‍වගේ වෙලාවල්වල.)) මේ මානසික ස්වභාවය කවියා අව්‍යාජව විනිවිද දැක, කලාත්මකව පැවසූ අයුරු හරිම චමත්කාර ජනකයි. 


එසේම මේ තෙවෙනි කවිය හා සිව්වෙනි කවිය අතර වර්තමාන කවියා මුහුණ දෙන අවස්ථාවට හා අතීතයේ පිළිම නෙළු කැටයම් කලාකරුවා මුහුණදුන් අවස්ථාව සමඟ අනිච්ඡානුග සහසම්බන්ධයක් ඇති බව හැ‍ඟේ. ඒ නිසයි ඔහු ඊළඟට කියන්නේ   ''...සදාකාලික ශෛලපිට මත - නෙළා කැටයම වෙළා ගතතර - විහාරය ළඟ ඉසුරුමුණිවර - කළා රන්මසු පොකුණ අබියස... '' වශයෙන්.


කලින් කවියේ ඇති අනිච්ඡානුගත සහසම්බන්ධය නිසා මට හැ‍ඟෙන්නේ, මෙලෙස ඉසුරුමුණි පෙම් යුවල නෙළු කලාකරුවාද, සියළු සෙනේබර හැඟීම් සඳට උගස්කර, ඔහු තුළ ඇතිවූ රාගික හැඟීම් ඒමත හොවා, දවා හළුකරමින්, සුපහන් වීතරාගී හැඟීමකින් යුතුව, ඉසුරුමුනි විහාරය අසල ඇති, රන්මසු උයන ඉදිරිපිට සදාකාලිකව පවතින සේ මෙම පිළිමය නෙළා ඇති බවයි. එම ගල්තලාව තරයේම වෙළාගෙන ඇති පරිදි මේ කැටයම ‍නෙළා ඇති බවයි. (( ගලේ කෙටූ දෙයක් ඉරහඳ පවතිනා තුරු වෙනස් නොවන බව අපේ ජන ජීවිතය තුළ ඇති විශ්වාසයක් නේ. කවියා මෙයින් යම් ආලෝකයක් ලබා ඇති බව පෙනෙයි.))


((නමුත් මේ සියළු කලාකරවන්ට, කවියන්ට හා ජන විශ්වාසයන්ට සරදම් කරමින්, ''සදාකාලික ඒ පෙම්යුවළ '' තමන් උපත් ලද, තරයේ වෙළාගෙන සිටි ගල්කුල ද අහිමිකරමින්, අද අඳුරු කුටියක සිරකර තබා ඇති බව චින්තක අබේරත්න සොයුරාගේ කමෙන්ටුව සාක්ෂි දරයි. මීටත් වඩා දෛවයේ සරදමක් තවත් තිබේද?))


මේ හීමුගේ පැදිය මට දැනුන අයුරුයි. හීමූද මෙලෙසින් සිතා මේ පැදිය රචනා නොකලා විය හැකියි. එසේම තවත් කෙනෙකුට මෙයට වෙනස් තලයකට පිවිස මේ පැදිය - නිසඳැස රසවිඳීමට මගේ ප්‍රකාශනය බාධාවක් නොවනු ඇතැයි හඟිමි. 

අවසාන වශයෙන්, මේ පැදිය චිත්තරූප මවමින්, ව්‍යංගය හා උපමා රූපක තුළින් කවි සිතක් අව්‍යාජව අනාවරණය වූ , නැතහොත් නිරාවරණය කළ,  සොඳුරු අවස්ථාවක් බවත්, කාව්‍යකරණයේ පද බෙදුම හා යෙදුම මෙන්ම රිද්මය ද සමගින් කිසියම් අපූර්වත්වයකින් කළඑළිදුටු තවත් විශිෂ්ට නිසඳැස් නිර්මාණයක් බවත් නොපැකිළව සටහන් කරමි. 

ඔබේ නිර්මාණශීලී දිවිය තව තවත් සරුවේවා !!!   






No comments:

Post a Comment