Translate

Monday, March 7, 2011

අපේ කාලයේ කුවේණි අස්න

අපේ කාලයේ 
            කුවේණි අස්න

සමිතගේ මේ නිර්මාණය ඔහුගේ අනෙක් විශිෂ්ට නිර්මාණ හා සමඟ එක පෙළට තැබිය හැකි, ප්‍රබල සංවේදනාවන් රැසක් අප සිත් තුළ ජනිත කරවන රස මවන අපූරු කලාත්මක පැදි පෙළක්.

විචිත්‍ර සංසන්දනාත්මක උපමා රූපක ද්විනිතාර්ථ නංවන්නේ හද සසල කරන හැඟීමක්. අතීත කතාව හා අපූරු රන් හුයකින් බැඳ ඔබ කියන මේ සමකාලීන කුවේණියගේ කතාව, කවිය සතු ව්‍යංගාර්ථයේ උපරිම යයි සිතමි.

මේ විජය, කුවේණිය හා දරුවන් හැරපියා ගොස් ඇත්තේ අතීතයේ හුන් විජය කළ පරිද්දෙන් නොව රිය අනතුරකිනි. ඒ ජීවහස්ත දීසාලා උපදින්නටත් පෙරය. වත්මන් සංකීර්ණ සමාජ ක්‍රමය තුළ මේ කුවේණියට හා දරු දෙදෙනාට අත්වන ඉරණම ගැන සිතන විට අප සිත් තුළ ඇතිවන්නේ කිව නොහැකි සංවේගයකි. එය මේ පැදියේ මුඛ්‍යාර්ථයයි.

ඉතාම සියුම් මානුෂීය නාට්‍යම අවස්ථාවක් ඔබ අවසානයේ අප ඉදිරියේ නිර්මාණය කරයි. ඒ මුල්වරට සිය දරුවන් දෙදෙනාට සිය පියා වූ විජයගේ සේයාරුවක් පෙන්වීමේ අවස්ථාවයි....

පෙර අපර කතා මෙන්ම මතුපිටින් පෙනෙන කතාවන්ට යටින් දිවෙන අපූරූ, විචිත්‍ර සංසන්දනාත්මක වෘතාන්ත තුළින් ව්‍යංගාර්ථය උපරීම ලෙස ස්පර්ශ කරමින් පැදි නිර්මාණය කිරිමේ ශෛලිය සමිතට ම ආවේණික වුවක් යයි මට සිතේ. මන්ද, මූණු පොතේ අනෙක් කවියන්ගෙන් මා එවැනි කවි නොදකින නිසාය. අනුරාධා සොයුරිය ඉඳහිට ලියන කවියක මෙවැනි පැරැණි ඓතිහාසික කතාවක චරිත හා බැඳුනු සංසන්දනයක් ඉතා අල්පමය වශයෙන් දක්නට ලැබෙයි.

එහෙත් සමිත බෙහෝවිට මේ ශෛලියට අනුගතව අපූරු විචිත්‍ර පැදි මගින් අපට ළංවෙයි. අප හඬවයි. මේ ශෛලිය ඔහුගේ කවියේම ස්වභාවය නැත්නම් අනන්‍යතාවක් බවට පත්කර ගනී. එයම සමිතගේ නිර්මාණ ප්‍රතිභාව හා කවිත්වය අපට කියාපාන අපූරු නිමිත්තකි.

ඔබට මෙන්ම සිංහල කවියේ ඉදිරිගමනට 
මගේ සුබ පැතුම් !!!  

No comments:

Post a Comment