Translate

Saturday, June 30, 2012

                        Nayomi Sirinali Nawarathna                                   


                                       පිවිතුරු හැඟුමින් සිත නැහැවේවා
             සුමිතුරු කවි සිත්  පැහැබර වේවා
             දිනිසුරු දෙසු  දම්  ගඟ සිහි වේවා
             සුමියුරු  දිනයක්  සැමටම  වේවා


මං මේ කවිය ගැන මෙහෙම ලිව්වා.....
නයෝමි ඔබේ කවි පැතුම සොඳුරුයි. පින්බරයි. යහපත් එකක්මයි.
දැන් පැය කීපයකට කලින් මා දුටු ඔබේ කවියක්ද දිනිදු හා ඔහු සතු බල පරාක්‍රමය සමඟ බැඳුනක්.
ඉන් මා කොතෙක් සසල වුනාද කිව්වොත් , මා කවියෙක් නොවූවත්, සොඳුරු අත්දැකීමක් කවි කරන්නටද පෙළඹුනා.
නමුත් මේ කවියේ - දිනිසුරු - මගේ මනසට වධ දෙනවා.

..... දිනිසුරු දෙසු දම් ගඟ සිහි වේවා..... කිව්වාම මට ගැටළුවක්.

මං හැමදාම වැරදි පෙන්වන්න ගිහිං හැමෝගේම බැනුම් අහනවා. හිත් රිදවාගන්නවා. මේ නිසාම මං ළඟදීම මේ මූණුපොින් සමුගන්නවා. නයෝමි වැනි කීප දෙනෙක් පමණයි මගේ හිත මෙතෙක් රිදවා නැත්තේ. ඒ ගැන මගේ බැතිය පල කරමින්ම ඔබේ එක් යෙදීමක ඇති ගැටළුවක් මෙසේ පෙන්වා දෙන්නට කැමතියි.

දිනි‘සුරු = දිනයේ ඉසුරු - දිනයේ දෙවිඳු - දිනයේ අධිපති - දිනිඳු - රවි - රවිඳු -
මේ ආදී බොහොම වචන තියෙනවානේ මේ හිරු කියන උන්නෑහේට.

ඉතිං දිනිසුරු - හිරු - දහම් දෙසූබවක් නම් මං අසා නෑ.

ඒ වගේම බුදුන්ට දිනිසුරු කියු බවක් - ඇමතීමක් කළ බවක්, කිසිම සාහිත්‍ය කෘතියක මා දැක නැහැ.
ඒක නම් ඉතිං මගේ නොදන්නා කම හා පොත් නොකියවීම වෙන්නට පුලුවන්.
මගේ දිවියේ, මට සමීපවම සිටි මිතුරියක් මේ ඊයේ පෙරේදා කිව්වා ඔයා සිංහල දන්නවද?
තමුන් දන්න දේ කරන්න.නොදන්න කවි ගැන මොන කතාද?බුදු සරණයි ‘‘ කියලා...

මට බයයි... ඔයත් මට එහෙම කියයි දෝ කියලා. මේ නිසා මේ ගැන කිසියම් පැහැදිලි කිරීමක් කරනවද?


නයෝමි මෙහෙම පිළිතුරක් දුන්නා.

Nayomi Sirinali Nawarathne http://dsal.uchicago.edu/cgi-bin/philologic/search3advanced?dbname=carter&query=%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94&matchtype=exact&display=utf8

dsal.uchicago.eduv. pret. gave, දුන්නා. දින, n. day: see දිනය. දිනඉසුරු, දිනිසුරු, n. day-glory or Lord of day: ap. of Buddha, Kuvéra, and the sun. දින·කර, n. day-maker: ap. of the sun, ඉර.






Nayomi Sirinali Nawarathne Wipula Sumanasekera
තිලෝගුරු, ජින, දශබල, තථාගත, දිනිඳු, දිනිසුරු, දියනා, දියනෙත........ සියල් යෙදුම් බුදුරදුන් වෙනුවෙන් පාවිච්චිකරන අතර දිනකර , දිනපති, දිනිසුරු, දිනමිණ හිරු (sun) වෙනුවෙන් යොදයි



හේමදාස  ලියනගේ මහතා ද මෙවැනි පිළිතුරක් තිබුනා.





Hemadasa Liyanage

දිනි සුරු --බුදුරජා ,සුර්යා,ධනේශ්වරය . වෛශ්‍රවන


මගේ පිළිතුර හා සංවාද ප්‍රවේශය මටම ආවේනිකයි... නාට්‍යමයි. 

ඔබ සැපයූ දිගුව දිගේ ගියා. අනේ අප්පොච්චියේ......කියලා වැඩක් නෑ......

හිරු සඳු දෙකම අවශ්‍ය නම් උපමාවක් ලෙසින් යොදා ගන්න පුලුවන්. එහෙම දෙයක් අලුතෙන් ඔබම කළත් එහි ඇති වරදක් නැ. කවුරුන් හෝ කළ යුතුයි පළමුවෙන්ම. තරහා වෙන්න එපා මමත් මීට පස්සේ "යකදුරු" කියලා යොදනවා බුදුන් වහන්සේට. ඇයි උන්නාන්සේ මනුසත් බවට විනකරන යක්ෂයෝ මරලා, අර තරුණ ළමිස්සියන් (තන්හා රතී රගා) තුන්දෙනාත් මරලා දැම්මානේ... ඉතිං යකදුරු කිව්වාම වරදක් නෑ. යක්ෂයො දුරු කළ තැනැත්තා. ඔන්න ඒක මගේ සොයාගැනීමක් ඒක නම් කොපිකරන්න එපා නයෝමි.
දිනිසුරු බුදුන්ට උපමා කිරීම පිළිබඳ මට එකඟ වෙන්න තවත් අමාරුයි - නයෝමි සැපයූ දිගුව හා වෙබ් ජාල මගේ සම්ප්‍රදායි දැනුමට හා දැනුම පිළිබඳ මා පිළිගත් සත්‍යයන්ට හා විශ්වාසයන්ට අභියෝග කරයි. අවඥා කරයි.....


(1. දිනඉසුරු, දිනිසුරු (page 285) v. pret. gave, දුන්නා. දින, n. day: see දිනය. දිනඉසුරු, දිනිසුරු, n. day-glory or Lord of day: ap. of Buddha, Kuvéra, and the sun. දින·කර, n. day-maker: ap. of the sun, ඉර.).....

ඒ ගැන කතා නොකර මං විධිමත් සාහිත-විචාර සංවාදයක් කරන්න බලන්නම්


බුදුන් පිළිබඳව හෝ සද්ධර්මය පිළිබඳව භෞතික උපමාවක් මැනවින් යොදා ඇත්තේ - මට මෙතෙක් ඉපැරැණි හෝ වත්මන් සාහිතය කුළ හමුවී ඇත්තේ - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පමණයි. එතුමන්ගේ සැළලිහිනිය පමණයි. ඒකත් මගේ සිංහල නොදන්නාකම...



  • ..... ලෝ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී


  • ..... දෙන නොමදා සිරි සඟ මොක් සැප නිසැදී


  • ..... ලද මුණිදා දම්කඳ පහස මන බැඳී


  • ......වඳු දළදා හිමි තෙමහල් පහයේ රැඳී



මේ කවියේ ගම්‍යවන නියම අරුත වටහාගන්න යැයි නයොමිගෙන් ඉල්ලා සිටිමි.

ඒ තුළින් මගේ සිංහල දැනුමට අභියෝග කර මා මරා දමන්න... මෝඩයො මරලා දාන්න නයොමි.


හිරු කියන්නේ සද්ධර්මයටවත්, බුදුන්ටවත් උපමා කරන්නට හැකි නාමපදයක්, උපමාවක් , සංකේතයක් නොවේ.
ලාහිරු බසින හිරු, නැගෙනහිරු හැර - හිරු අනෙකුත් සැමවිටම ප්‍රචන්ඩයි. බුදුන් හා සද්ධර්මය එලෙස විටින්විට වෙනස් වෙනවාද කාලයෙන් කාලයට, අවස්ථාවෙන් අවස්ථාවට. පුද්ගලයාගෙන් පුද්ගලයාට ? ඒ නිසා මං නයෝමි නොවෙය් සියලු සකල ලෝකවාසීන් විරුද්ධ වුනත් , අර මගේ පන්ඩිත සිංහල මිතුරිය හා ඇයගේ ප්‍රේමවන්තයින් කොයිතරම් විරුද්ධ වුවත් නයෝමිගේ මේ යෙුදුම වැරැදියයි කියනවා....


හිරු වගේ නෙවෙයි... ලෝ විහිදා නැගෙන දීප්තිමත් සඳු ලොව සැමටම එක සමානව සිසිල් ශන්ත සුවය , සැනසීම නොමඳව, කිසිවෙකුටත් වෙනසක් නොකර ලබා දෙයි.. මා රාහුල හිමිට සැමදා ගරුකරන්නේ මෙවැනි විශිෂ්ට කවි නිර්මාණය කරමින් මගේ සිංහල දැනීම මොටකර දමපු නිසා. පිස්සෙක් කරපු නිසා.


ඔබහරි නයෝමි. අර මගේ මිතුරිය කිව්ව එකත් හරි.

මට උන්දැ ලියා ඇති විධිය පලකරන්නත් හිතයි... නමුත්.....

‘‘... ඔයා සිංහල දන්නවද? තමුන් දන්න දේ කරන්න. නොදන්න කවි ගැන මොන කතාද? බුදු සරණයි......‘‘


මට ඉතිං බුදු සරනෙම තමා...

නයෝමිට බුදු සරණයි......



මට පිස්සු... එය ඔප්පු කරන්න... සාහිත විචාර සංවාදය තවත් විවෘතයි... මං දැන් යනවා කඩවල් වහන්න කලින් බුලත් විටක් - නෑ විටි දෙකතුනක් අරන් එන්න... අපි මේ සුන්දර රෑ සුහද සංවාදයක යෙදෙමු....



මං පැය තුනකට පස්සේ ඇවිත් බලනකොට ප්‍රතිචාර නැහැ... ඒත් මට ඉගෙනගන්න ඕනෙ නිසා මං මෙහෙම ලිව්වා.



පැය තුනකට පස්සේ ආවත් ප්‍රතිචාර දැක්කාම මට දුක හිතෙනවා. කියවලා තියෙන්නේ හේමදාස මහතා පමණයි. නයෝමිවත් කියවලා නෑ. කියෙව්වා නම් ලයික් කරන්න ඕනෑ නෑ. " මම අකමැතියි " කියලා ලියන්න තිබුනා. මූනුපොතේ කොතරම් ප්‍රබල කවීන් හා විචාරකයින් ඉන්නවාද? මේ කිසි කෙනෙක් ඉදිරිපත් නොවීම, අදහසක් පල නොකීරීම ගැන මං තුළ මවිතයක් හා සැක රාශියක් ඇතිවෙයි. මං සර්වතෝබද්‍ර පුද්ගලයෙක් නොවේ. කමක් නෑ. මගේ විචාර විමර්ශනයන්ට හැමෝම කැමතිවෙන්න ඕනෑ නෑ හැමවිටම. ලයික් ගහන්න ඕනෙත් නෑ. ප්‍රතිවිරුද්ධව හෝ ප්‍රතිචාර දැක්වීමකුයි කරන්න ඕනෙ.ඒවා දරාගන්න බැරි මිනිහෙක් නොවෙයි මම.



නිකංම නිකං සරල විදියකට විචාර සංවාදයක් ගෙනිච්චොත් එය නිකම්ම නිකං නින්ද යන සංවාදයක් වෙනවා. මගේ ගුරුවරු මට උගන්වලා .ියෙන්නේ එහෙම. ඒ නිසා මං මෙවැන්නකට ප්‍රවේශවන්නේ මටම ආවේනික වූ නාට්‍යම ශෛලියකට, ආරකට අනුගතවයි. ඒක කුකුල් පොරයක් ලෙස වරදවා හිතපු අය මං පස්සෙන් එලවා එලවා කවදත් පහර දුන්නා. අයෙක් මේ ළඟදි වස්කවි දෙක තුනකුත් ලියලා තිබුනා. එය නම් කවිය - මේ සුන්දර කවිය අවියක් ලෙස පහත් අයුරින් යොදාගැනීමක්. ඒත් මා තුළ ඒ ගැන ඇත්තේ හුදු අනුකම්පාවක් පමණයි.




මට කියන්නට ඕනෑ වුණේ කවියේදී උපමා රූපක,සංකේත, ආදේශන, අලංකාර යොදාගැනීමේදී කවියන් නිතරම වරද්දාගන්න දෙයක්. එනම් පිළිගත් කාව්‍ය විචාර සිද්ධාන්තයන්ට අනුකූලව මෙකී උපමාරූපක, සංකේත, අලංකාර තුළින් ගම්‍යවන අර්ථය හා ව්‍යංගය මතුකරන " ඖචිත්‍යය " පිළිබඳ ගැටළුවයි.

නයෝමි යොදාගත් උපමා රූපකය විටෙක සාධාරණ යැයි සිතුනත් සැමවිටම එසේ නොවේ. මෙවැනි උපමාරූපක යොදාගැනීමෙන් කවියන් ඈත් විය යුතු බව විචාරකයින් නිතරම දරණ, පෙන්වා දෙන අදහසක්.

උක්ත කවියේ රාහුල හිමියන් සඳ හා සඳඑළිය යොදාගැනීම තුළ එවැනි පසු සැක සාංකාවන් , ප්‍රශ්න හා ගැටළු මතුකරන්නේ නෑ. "ලොව විහිදා එන සඳ එළියකින් - සැමටම එක හා සමානව ශාන්ත සෞම්‍ය සිසිලසක්, ශාන්තියක්, ලබාදෙන්නාක් මෙන්, සැමටම ස්වර්ග මෝක්ෂ සැප සම්පත් එක සමානව ලබා දෙන්නාක් මෙන් " යන උපමාරූපකය තුළින් බුදුන් හා බුදුන් දෙසූ සද්ධර්මය පිළිබඳව අප තුළ සැක සාංකා, ප්‍රශ්න හා ගැටළු පසුව ඇති නෙවෙයි. ඒ එම උපමාරූපකයේ ඖචිත්‍යය ප්‍රකට කරන ප්‍රබල සාධකයක්....




මං මගේ දැනුමට හා අත්දැකීම් වලට අනූකූලව දරණ ස්ථාවරයකුයි පැහැදිලි කලේ. චාල්ස් කාටර්ගෙ ශබ්දකෝෂයට වඩා වැදගත් වදන්කෝෂ මං කියවලා තිබෙනවා. අපේ කිවිඳිය මේ ශබ්දකෝෂයේ දැක්වෙන අර්ථකථනය හරිහැටි තේරුම් නොගත් බවකුයි මටනම් පේන්නේ. ඒ නිසා තමයි මං ලින්ක් දාන්නෙ නැතිව එයින් පැමිණි පිළිතුර හුවා දැක් වූයේ. මැදහත් සිත් ඇති , දැනුම සොයායන්නවුන්ට මගේ ප්‍රකාශය කිසියම් මඟපෙන්වීමක් හා අත්වැලක් වේවි. දිනෙක ඔවුන් මා වැරදි බව කියාවි. එවිට මා මේ විචාරයේ වරද පිළිගන්නම් දණ්ඩ නමස්කාර කරමින්. කවුරු කිව්වත්, පිළිගත්තත් නැතත්, අවසාන වශයෙන් මං නැවතත් කියන්නේ නයෝමිගේ මේ උපමා රූපකය ඖචිත්‍යය අතින් දුර්වල බවත් , එයින් බුද්ධ හා සද්ධර්ම ප්‍රතිරූපයන්ට යම් අසාධාරණයක් සිදුවන බවත්, ඒනිසාම කවිය අසාර්ථක බවත්ය.



දැන් මම සංවාදය නිමකරනවා.... නැවත මෙවන් සංවාදයකට මා එන්නෙත් නෑ. මන්ද, විචාරකයින් හා කවියන්, බුද්ධිමත් සංවාදයක් ඇරඹිය යුතු තැනදී නිද්‍රෝපගත බැවින්... සැමටම සුබ රාත්‍රියක් වේවා....




ආයෙත් මං මෙහෙම ලියමින් - සංවාදය නිමකළා



මෙය නයෝමි නැමැති සුන්දර කිවිඳිය කළ මහා විශාල වරදක් හා විනාශයක් හැටියට මා දකින්නේ නෑ.. එසේ කියන්නෙත් නෑ. මං නයෝමිව දඬුකඳක හිරකරන්න කරපු උත්සාහයක් නොවෙයි. කෙන්ඳ කන්ද කර දැක්වීමකුත් නෙවෙයි. කවුරු මොනවා හිතුවත්, කිව්වත්, කළත්, මා කලේ අවශ්‍ය තැනදී සුළු කරුණක් වුවත් විචාර නියමයන්ට අනුගතවී කිසියම් මඟ පෙන්වාදීමක් පමණයි...  මගේ දැනුමේ හා පිළිගත් බුද්ධිමය විචාර සිද්ධාන්තවලට අනූකූලව  විචාරයක් කිරීම පමණයි. සංවාදයකට දොරටු විවර කිරීමක් පමණයි...



නයොමිට කිවිඳියක් ලෙස හොඳ අනාගතයක් තිබෙන කෙනෙක්. ඇගේ හොඳ මෙන්ම අඩුපාඩු පෙන්වා දීම මගේ යුතුකමක්  වගකීමක් ලෙස පෙනුනු නිසයි මේ සා උත්සාහයක යෙදුනේ. ඒ ගැන කිසිවෙක් අමණාප විය යුතු නොවේ. නයොමිගේ මෙන්ම සියලු කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ දිවිය සාර්ථක පැහැබර එකක් වේවා යන්න මගේ පැතුමයි....
නැවතත් සියලු දෙනාටම ආයුබෝවන්....

මතු මතුත් මගේම දැනුම හා අධ්‍යයනය සඳහා මෙසේ සටහන් කර, සංරක්ෂණය කර තබම්හ.!!!!



විපුල - සුමන - සේකර


12 comments:

  1. විපුල අයියා

    ඉතා කෙටියෙන් පවසනවා නම්
    දිනිසුරු බුදුරදුන්ට සම කිරීම පිළිබඳව ඔබගේ මතයම මා ද දරමි.
    නමුත් ... ස‍‍‍ඳේ කාන්තිය හිරුට අයිති බව.. ස‍ඳේ සිසිල තුල හිරුගේ සවිය බිඳක් හෝ ඇති බව තරයේ විශ්වාස කරමි.

    ඔබට ජය..! සතුට!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී.
      මට මෙවැනි පිළිතුරක් ලැබී තිබුනා මූණුපොතේ , සඳැසේ , හන්සක වික්‍රමසිංහ මිතුරාගෙන්. එයින් අප තව තවත් සිතිය යුතු මාණයකට අපව කැඳවාගෙන යනවා.

      හන්සක කියනවා...
      “ ...බුදුන් වහන්සේට තවත් බුදුවරයෙක්ම හැර වෙනත් උපමා කලහැකි කිසිවෙක් හෝ කිසිවක් නෑ.

      සඳුගෙ සෞම්‍ය එලියට උපමා කලත් සඳුමෙන් වෙන තැනිකින් එලිය අරන් බෙදනවා වගේ බුදුන් තව කෙනෙකුගෙන අරන් බෙදුවෙ නෑ. එහෙනම් තර්ක කරන්න පුලුවන් ඒක ගැල පෙන්නෙ නෑ කියලා. උපමා කිරීමේදී යොදා ගන්නා සමාන්තර ගති ලක්‍ෂණ පමණක් හැර අනිකුත් දේවල් නොසැලකිය යුතු වෙනවා.

      සිහනාද සූත්‍රයේ බුදුන් තමන්වහන්සේව සිංහයෙකුට උපමා කරගන්න බව කියැවෙනවා. අමු අමුවෙ මස් කන සිංහයෙකුට බුදුන් සමාන කල හැකිද කියා සමහරු තර්ක කරනවා. මේ උපමා උපමේය වපසරියෙන් පිට ගියාම වෙනදේ.....”

      මා එයට මෙහෙම පිළිතුරක් දැම්මා....
      “....ස්තූතියි හංසක ඔබේ අදහස්වලට...
      ඔබේ පළමු අදහසට ප්‍රවීණ යතිවරයෙකු වූ යක්කඩුවේ සිරි සුමංගල හිමිපාණන් දුන් පිළිතුරක් තිබෙනවා. එනම් බුදුන් මේ සියලු අධර්මයන් හා සද්ධර්මයන් උකහා අරන් තේරුම්ගත්තේ මේ පෘතුවියෙන්, මේ මිනිස් සමාජයෙන් කියලා උන්වහන්සේ රාහුල හිමියන් අනුමත කරනවා. මේ චන්ඪඝෝර ලෝකයෙන් සියලු දෑ ලබාගෙන එසේ සිසිල් වූ සඳක් බුදුන්වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. මට මේ තර්කය ඉක්මවා තවමත් සිතන්නට බැහැ. ඔබට හැකිද? එසේනම් එයද දක්වන්න මා ආරාධනය කර සිටිනවා.

      සිහනද සූත්‍රය ගැන මා සොයා බලන්නම්. සෑම සූත්‍රයක්ම එකල බුදුන් වදාළ ඒවා නොවෙයි. පසුකාලීනව විවිධ නිකායිකයින් විසින්ද නිර්මාණය කළ ඒවා. ඕනෑ තරම් අපිට මේවා සොයාගත හැකියි...”

      නංගී ඔබත් ගුරුවරියක් නිසාත්, නිරන්තරයෙන් අධ්‍යයන කටයුතු කරන නිසාත් මේ ගැනත් ඉඩලද විදියට සොයා බලන්න. දැනගත් යමක් ඇත්නම් අපටත් දන්වන්න....
      ස්තූතියි නැවතත් ඔබට....

      Delete
  2. විපුල ගේ මෙම ලිපිය අහම්බෙන් දැක්ක නිසා මෙසේ ලියන්නට හිතුනා. මම දැන, අසා තියෙන, තේරුම් අරන් තියෙන විදියට පිළිතුරක් ලියන්නම්.

    බුදුන් වහන්සේට තවත් බුදුවරයෙක්ම හැර වෙනත් උපමා කලහැකි කිසිවෙක් හෝ කිසිවක් නෑ.

    සඳුගෙ සෞම්‍ය එලියට උපමා කලත් සඳුමෙන් වෙන තැනිකින් එලිය අරන් බෙදනවා වගේ බුදුන් තව කෙනෙකුගෙන අරන් බෙදුවෙ නෑ. එහෙනම් තර්ක කරන්න පුලුවන් ඒක ගැල පෙන්නෙ නෑ කියලා. උපමා කිරීමේදී යොදා ගන්නා සමාන්තර ගති ලක්‍ෂණ පමණක් හැර අනිකුත් දේවල් නොසැලකිය යුතු වෙනවා.

    සිහනාද සූත්‍රයේ බුදුන් තමන්වහන්සේව සිංහයෙකුට උපමා කරගන්න බව කියැවෙනවා. අමු අමුවෙ මස් කන සිංහයෙකුට බුදුන් සමාන කල හැකිද කියා සමහරු තර්ක කරනවා. මේ උපමා උපමේය වපසරියෙන් පිට ගියාම වෙනදේ.

    ඒ අනුව බව අඳුර නසන දම් එලිය දෙන බුදුන් වහන්සේව හිරුට උපමා කිරීමේ වරදක් මා දකින්නේ නෑ.

    හංසක

    ReplyDelete
  3. ස්තූතියි හංසක ඔබේ අදහස්වලට...
    ඔබේ පළමු අදහසට ප්‍රවීණ යතිවරයෙකු වූ යක්කඩුවේ සිරි සුමංගල හිමිපාණන් දුන් පිළිතුරක් තිබෙනවා. එනම් බුදුන් මේ සියලු අධර්මයන් හා සද්ධර්මයන් උකහා අරන් තේරුම්ගත්තේ මේ පෘතුවියෙන්, මේ මිනිස් සමාජයෙන් කියලා උන්වහන්සේ රාහුල හිමියන් අනුමත කරනවා. මේ චන්ඪඝෝර ලෝකයෙන් සියලු දෑ ලබාගෙන එසේ සිසිල් වූ සඳක් බුදුන්වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. මට මේ තර්කය ඉක්මවා තවමත් සිතන්නට බැහැ. ඔබට හැකිද? එසේනම් එයද දක්වන්න මා ආරාධනය කර සිටිනවා.

    සිහනද සූත්‍රය ගැන මා සොයා බලන්නම්. සෑම සූත්‍රයක්ම එකල බුදුන් වදාළ ඒවා නොවෙයි. පසුකාලීනව විවිධ නිකායිකයින් විසින්ද නිර්මාණය කළ ඒවා. ඕනෑ තරම් අපිට මේවා සොයාගත හැකියි.

    කෙසේවෙතත්, ඔබේ අදහස් ඉතා වටිනවා. ස්තූතියි නැවතත්.

    විපුල.

    ReplyDelete
    Replies
    1. ඔබ දක්වා ඇති ලෙස ....සිහනාද සූත්‍රයේ බුදුන් තමන්වහන්සේව සිංහයෙකුට උපමා කරගන්න බව කියැවෙනවා. අමු අමුවෙ මස් කන සිංහයෙකුට බුදුන් සමාන කල හැකිද කියා සමහරු තර්ක කරනවා. මේ උපමා උපමේය වපසරියෙන් පිට ගියාම වෙනදේ.....

      මෙය මෙලෙස සෑම කෙනෙකුම ප්‍රශ්න කළ යුතු බවයි මා පිළිගන්නේ. අපි අන්ධානුකරණයෙන් කිසිම දෙයක් පිළිගත යුතු නෑ. මං එදා සිටම මෙලෙස තර්ක කළ පුද්ගලයෙක්. මේ 14 වියති සමයේ සිදුවූ මගේ අත්දැකීමක්.

      කුඩා කළ අප ඉගෙනගත් ධර්ම පොත්වල තිබුණු බුද්ධ චරිතයේ තිබෙනවා මෙහෙම තැනක්. ඔබත් එය දන්නවා ඇති.

      බුදුන්වහන්සේ බුදු බව ලබා, තමාගේ ධර්මය වටහාගැනීමට තරම්වන බුද්ධිමතුන් නොමැති නිසා උකටලීව, කණගාටුවෙන් ඉන්නා විට, සක්දෙවිඳුන් පැමිණ, ඔබවහන්සේගේ ධර්මය තේරුම්ගත හැකි එක් අයෙකු හෝ සිටිය හැකියි. ඒ නිසා ධර්මය දේශනා කරන ලෙස ආරාධනය කර සිටිනවා. එය පිළිගන්නා බුදුන් ධර්මය දේශනා කරන්නට ගොස්, පස්වග මහනුන්ගේ කොන්ඩංඤ තාපසයගේ ඉඳලා බොහෝ දෙනෙකු සදහම් මඟට හරවනවා.

      මගේ තර්කය වූවේ බුදුවීමත් සමඟම අතීතය, වර්තමානය හා අනාගතය දැකීමේ නුවණ - ඥාණය පහළවී සිටිය බුදුන්ට සක්‍රයා මේක කියනකම්ම මේ සත්‍යය දක්න්න බැරි වුණේ ඇයි කියන එකයි.

      මේකට යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිථලත් එකල මට ලැබුනා. මා උගත් පාසැලේ ගම්පොළ සහිරා විදුහලේ බුද්ධාගම විෂය පමණක් නොව, බෞද්ධ සමිති රැස්වීම් පවා මට එකල තහනම් කළා. ඒත් පසු කාලයේදී මෙකී තහනම් පැනවූ බෞද්ධ ගුරුවරුන්ම නැවත මට ආරාධනා කළා එන්ඩ කියලා. ඉතා සුහදව බලෙන්ම වගේ ඇදන් ගියා. මං හිතන්නේ ඔවුන්ටත් සක්‍රයා ඇවිත් කියන්න ඇති.

      දැන් අපිටත් සක්‍රයෙක් අවශ්‍ය කාලයයි....

      විපුල

      Delete
    2. නැවත අවධරණය කරන්නම්

      "බුදුන් වහන්සේට තවත් බුදුවරයෙක්ම හැර වෙනත් උපමා කලහැකි කිසිවෙක් හෝ කිසිවක් නෑ."

      මේ අනුව යක්කඩුවේ සිරි සුමංගල හිමිපාණන්ගේ පැහැදිලි කිරීමත් අසම්පුර්ණයි. එහිදීත් කියන්නේ බුදුන් වහන්සේගේ එක ගුණයක් පමණයි. මෙය කවියට අදාල දෙයක් නොවුනත් ඔබ ප්‍රකාශ කරතිබූ නිසා කියන්නම්; මා දන්නා තරමින් නම් අධර්මය කියා දෙයක් නෑ. සියලුම දෙ, සිදුවීම් පැහැදිලි කරන දෙය ධර්මයයි.

      ඒ අනුවයි මමත් කියන්නෙ තමන් විසින්ම අවබෝධකොටගත් ධර්මය අන් අයව අවිදු අඳුරෙන් මුදවීම පිනිස බෙදා දෙන එක හිරු තමන්ම උපදවාගත් ආලොකය අන් අයට බෙදන එකට උපමා කොට ගැනීම ඖචිතත්වයට එනම් උචිතබවට ගැටලුවක් පෙනෙන්නේ නෑ. මට නම් සඳ වඩා ගැලපෙන්නෙ බුදුන් දෙසූ ධර්මයෙන් තමාව එලිය කරගෙන එයින් පුලුවන් තරම් ලොවට බෙදන රහතුන් කෙනෙකුට උපමා කිරීමයි.

      බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් මමත් ඉස්සර ප්‍රශ්න කලා, තර්ක කලා. නමුත් දැන් එය රස විදීමට එහා දෙයකට යොදා ගන්නෙ කලාතුරකින්. පාරමී පුරාගෙන ඇවිත් බුදුවරයෙක් පහල වෙන්නෙම ලොවට ධර්මය දෙන්න පරමාර්ථ කොට ගෙන නිසා සක්‍රයාගෙ කතාව කිසි තර්කයක් නොමැතිවම බැහැර වෙනවා. හැකිනම් නරසීහ ගථා වල තේරුමත් මට ටිකක් පැහැදිලි කර දෙනවා නම් හොඳයි.

      ස්තූතියි විපුල

      හංසක

      Delete
    3. ස්තූතියි හන්සක ඔබට.
      නරසිහ ගාථා ඔබට පැහැදිලි කරන්න තරම් දෙයක් නැති බවයි මගේ හැඟීම. නමුත් හැකි විටෙක නරසිහ ගාථා නැවත කියවන්න ඔබෙන් හොඳ පෙළඹවීමක් ලැබුනා. එයට ස්තූතියි.. අපි නිහඬව අලුත් මානයකට යොමුවෙන්න බලමු.

      Delete
    4. හන්සක සොයුර,
      ඉහත අදහස් දැක්වීමේදී මා අතින් වරදක් සිදුවී තිබෙනවා. ඒ ගැන සමාව යදිමින් එය නිවැරදි කිරීමටයි මෙය ලියන්නේ. එනම් මා සඳහන් කළා යක්කඩුවේ සිරි සුමංගල නම් හිමි කෙනෙකු පිළිබඳව. එය සිදුව ඇත්තේ කළබලය නිසා.එය විද්‍යාලංකාර පිරිවනේ හා පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් හෙබවූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමිපාණන් වශයෙන් නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න...

      ඔබ දක්වා තිබුනු අදහස් අවසානයේ ලියා තිබුනු “...මේ උපමා උපමේය වපසරියෙන් පිට ගියාම වෙනදේ...ඒ අනුව බව අඳුර නසන දම් එලිය දෙන බුදුන් වහන්සේව හිරුට උපමා කිරීමේ වරදක් මා දකින්නේ නෑ....”

      ඒ උපමා උපමේය වපසරියෙන් පිටව නොයෑමේ මිණුමට මාද එකඟයි. එවන් එක් ප්‍රකට අවස්ාවක් අපේ සමකාලීන ගීත සාහිත්‍යයේ ද අඩංගුයි. අර රන්මුතුදූව චිත්‍රපටයේ එන, මානවසිංහයෝ පදරචනය කළ “පාරමිතා බල පූජිත පූරිත බුද්ධ දිවාකරයානෝ” නැමති ගීතය. එහිදී ඔහු යොදාගත් ආකාරයට අනුව, ලොවට, ලෝවැසියන්ගේ ජීවිතයට, ආලෝකයක් ලබාදෙන්නාවූ පුද්ගලයා දිවාකර නැත්නම් හිරු වශයෙන් ගැනීම සාධාරණයැයි හැඟේ. මන්ද දම්ආලෝකය සැපයීමේ, බුදුන්ගෙ එක් ගුණයකට පමණක් ඒ උපමා රූපකය සීමාවන නිසා. නිරූපණය වෙන නිසා. එහිදී හිරු බුදුන්වහන්සේ වන්නේ නැත. බුදුන්වහන්සේගෙ එක් ගුණයක් හා සැසඳීමක් පමණයි සිදුවන්නේ.

      “දිනිසුරු දෙසූ දම් ගඟ සිහිවේවා” වශයෙන් යෙදූවිට සිදුවන්නේ හිරු බුදුන්වහන්සේවන බවයි මා කියන්නේ. මේ වෙනස ඔබට අවබෝධ කරගත හැකියයි මම විශ්වාස කරනවා....

      ඔබ කියු සිහනද සූත්‍රය ගැන මා සොයාගෙන යනවා. මා සිටින්නෙ මේ ප්‍රදේශයේ ධර්මාශ්‍රම විහාරාධිපති, සියනෑ කෝරලයේ විද්‍යපීඨයේ පිඨාධිපති ආචාර්ය කොටගම වාචිස්සර හිමිපාණන් නැවත විහාරයට සති අන්යේ පැමිණියාම හමුවී විමසා සිටීමටයි. තොරතුරු ලැබගත් සැණින් ඔබට දන්වනවා.

      අපි අවංකවම මේවා දැනගත යුතුයි. අප නොදන්නා දේ බොහෝයි. මා තුළ නොසෙල්වෙන ස්ථාවරයන් හෝ වෙනස් නොවන මතවාදයන් නැහැ. මා මෙහිදී මේ අදහස් දැක්වීම තුළින් කලේ දැනට මා දරන, මා පිළිගත් දැනුම මත නයෝමිගෙ කවිය විධිමත් සංවාදයකට ලක්කිරීම පමණයි. එසේ නොමැතිව ඇයට හෝ ඇගේ කවියට අවමන් කිරීම නොවේ. නයෝමි අතුලු පිරිසක් එය වරදවා වටහාගැනීම ඉතාම සිත්තැවුලට කරුණක්. මෙලෙස එකතුවීම හොඳයි. එහෙම අය මා වෙනුවෙන් වස්කවි වැනි වසුරු කවි සඳැසේ ලියමින් කවිය පහත්ම හා අමානුෂික තත්වයකට පත් කරනවිටත් එකතුව ඊට විරෝධය දක්වූවා නම් හොඳයි. නමුත් සිදුවුණේ ලයික් ගසමින් එවැනි අඳබාල, දුහුනු දුෂ්ටකවීන් දිරිමත් කිරීමයි. මේ සිදුවීම මාද, මගේ බිරිඳ ද සඳැසෙන් හා කවියෙන් ඈත්කිරීමට සමත් වුණා.

      බුද්ධිය, දැනුම, සාපේක්ෂ සත්‍යය ඉදිරියේ මා නිතරම වෙනස්වන මානසික තත්වයක ඉන්නේ. මෙහිදී මා දැනට දරණ ස්ථාවරය වැරදියි නම්, එය දැනගත් විට නිහඬව ඉන්නේ නැහැ. එය විවෘතව මූණුපොතට හෙලිකරනවා සියලුදෙනාගේම දැනගැනීම හා යහපත පිණිස.
      ස්තූතියි.

      Delete
  4. සුමනසේකර මහතාණෙනි,
    ඔබට අනුව මානවසිංහයන් ලියූ “පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ“ කියන ගීත ඛණ්ඩය අපි බැහැර කල යුතුද?
    ගැඹුරු සාහිත්‍ය දැනුමක් මට නැහැ. ඒත් මේ ගීතයේ බුදුන් හිරුය යන්න කියවෙන බවයි මගේ දැනුම.

    තුති
    රවි

    ReplyDelete
  5. ස්තූතියි රවි...මා මූනුපොතේ පල කළ පිළිතුර මෙහිද පලඛරනවා ඔබේ දැනගැනීම පිණිස....

    මා කිසිම තැනක කියා නෑ නයෝමි ලියූ ...දිනිසුරු දෙසු දම් ගඟ සිහි වේවා... යන්න බැහැර කරන්න කියලා.
    ඒවගේම ඔබ දක්වා ඇති පරිදි “පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ“ යන්න බැහැර කරන්නත් මං කියන්නේ නෑ.
    නයෝමි වගේම, හේමදාස මහතා, හන්සක මහතා ආදීන් ඔබ මෙනම මෙය අනුමත කරනවා. එය ඔබ සැමගේ නිදහසයි.

    මා මතුකරන්නේ නයෝමි ලිව්වත්, මානවසිංහ ලිව්වත්, මේ පදය බුදුන්ට ආදේශ කිරීමේදී කාව්‍යකරණයේ මූලික සිද්ධාන්යක් හා මාණයක්වන ඖචිතත්වය පිළිබඳව ගැටළුවක් මතුවෙන බවයි. ඒ නිසා නයෝමිගෙ යෙදුමට වගේම මානවසිංහයින්ගෙ යෙදුමටත් මා අකමැතියි.

    Menura Kavinda
    ඔබේ කවියේ යවහන් දෝෂ තියෙනවා. සඳැස් ලිවිය යුත්තේ එකි යවහන් නීතිරීති සුරකිමින්. උත්සාහ කළොත් ඔබට හොඳ සඳැස් කිවියෙකු වියහැකි බවයි මගේ විශ්වාසය. අපේ මූණුපොතේ සඳැස් පිටුවේ හා කොකිලහඬ පිටුවේ මේ දේවල් ඉගෙනගන්න අවශ්‍ය දැනුම බෙදාදෙන ලිපි කීපයක්ම තිබෙනවා.

    රවිඳු වර්ණකුල මහතාණෙනි, මෙනුර කාවින්ද මහතාණෙනි.
    මින්පසු ඔබලා පල කරන අදහස් කරුණාකර මගේ සිතිවිලි බ්ලොග් එකට ගොස් එහි සටහන් කරන්න.
    ඔබ දෙදෙනාටම ස්තූතියි...

    ReplyDelete
  6. සුමනසේකර මහතාණෙනි,
    මගේ සටහන ඔබේ බ්ලොග් සටහනටද එකතු කලා.
    පැහැදිලි පිළිතුරට තුති.

    මානවසිංහයන්ගේ පදවැල සිහිපත් වුනේ,“ඒ වගේම බුදුන්ට දිනිසුරු කියු බවක් - ඇමතීමක් කළ බවක්, කිසිම සාහිත්‍ය කෘතියක මා දැක නැහැ“ කියා ඔබ ලියා තිබූ සටහන දැකීමෙනුයි.

    ඔබ කියනා ආකාරයට යම් උපමාවක ඖචිතත්වය තීරණය වන්නේ කවියාගේ දැනුම රුචිය හා පිළිගැනීම මතයැයි කියායි මට හැඟෙන්නේ. එසේ නොවන්නට ඔබට මෙසේ තර්ක කරන්නටත් ඉඩක් ලැබෙන්නේ නැහැ.

    බුදුන් පිළිබඳ මේ යෙදුම මේ වනවිට සම්ප්‍රදායයට එකතුවුවක් බවට මෙතැනම ප්‍රමාණවත් සාධක තිබෙනවායි කියායි මට සිතෙන්නේ. එමෙන්ම ඔබගේ මේ පිළිබඳ විරුද්ධත්වය සිංහලයවත් කාව්‍යකරණයවත් පිළිබඳ වූවක් නොව, ධර්මය හා බොදු බැතිය මත පදනම් වූ මතයක් ලෙසයි මා දකින්නේ ඔබේ මේ පැහැදිලි කිරිමෙන් පසු.

    මේ සියල්ල එක්කර සැලකුවාම නයෝමිගේ යෙදුම බරපතල වරදක් නොව ගැටළු සහගත තැනක් පමණක්ය කියා ඔබ ලියා ඇති පරිදිම අපට එකඟ විය හැකියි මම සිතනවා.

    මෙවැනි කරුණු මතවාද හරස් පරස් කම් මූණු පොතේම ලියා අනාගතයේ දීත් ඔබේ දැණුම අපේ දැණුමට එක් කරාවියි උදක්ම බලාපොරොත්තු වෙනවා.

    මා වැනි ලාබාලයෙක් ලියූ දේටත් සලකා පිළිතුරු ලියන්නට තරම් කාරුණික වීම මා ඉතා ඉහලින් අගයන මහත්මා ගුණයක්. ඒ පිළිබඳවත් ඉත සිතින්ම තුති.

    රවි

    ReplyDelete
  7. Ravindu Warnakula
    රවි ඔබට බෙහෙවින් තුති.
    ඔබේ අදහස් හා ඒවා ඉදිරිපත් කළ ආකාරය මගේ වෙසෙස් පැසසුමට ලක්වෙයි. ඔබ අන් අයට වඩා සංවේදී බුද්ධිමත් කෙනෙක්. එහෙත් එපා කිව්ව දෙයම ඔබ නැවතත් කරලා. ඒ නිසා නැවත මා එහි අදහස් දක්වන්නේ නෑ. නමුත් ඔබ අවසානයේ එහි දක්වා තිබෙන අදහස් ඉතා වැදගත් බැවින් මෙය ලියමි.

    ඔබ එහි කියනවා, ....මානවසිංහයන්ගේ පදවැල සිහිපත් වුනේ, “ඒ වගේම බුදුන්ට දිනිසුරු කියු බවක් - ඇමතීමක් කළ බවක්, කිසිම සාහිත්‍ය කෘතියක මා දැක නැහැ“ කියා ඔබ ලියා තිබූ සටහන දැකීමෙනුයි.... කියලා. එය වැදගත්.

    මා එසේ සඳහන් කලේ එම ගීතයේ පදමාලාව තේරුම්ගත් ආකාරය අනුවයි. මට නම් එහි දැක්වෙන බුද්ධ දිවාකරයානෝ යන පදයෙන් ගම්‍යවන්නේ - තේරෙන්නේ බුදුන් හිරුට සමකිරීමක් හෝ උපමා කිරීමක් කළා කියන එක නොවේ. මෙහිදී දිවාකර යන්න පටු ලෙසින් හිරුලෙස අර්ථ දැක්වීමක් නෙවෙයි කරන්නෙ. දිවාකර යන්නෙන් මෙහි අදහස්වන්නේ ජීවිතය උදාකරගත්තා, ජීවිතයේ සත්‍යය දුටුවා යන්න කියලයි මට හැඟෙන්නේ. මා එදා සිට තේරුම්ගත්තේ....
    ...පෙර ආත්මවල පුරපු පාරමිතා බලයෙන් අගතැන්පත් වූ බුදුන්වහන්සේ, වෙසක් පුන් පොහෝ දිනයෙක ජීවිතය දැක්කා... ජීවිතයේ සත්‍ය යථාර්ථය දකිමින් ජීවිතය උදාකරගත්තා යන්නයි. නැතුව එක එල්ලේම බුදුන් සූර්යයාය කියන එක නොවේ කියලයි මගේ හැඟීම.. පොඩ්ඩක් මේ වචන යෙදීම ගැන හිතන්න...

    ඒ සමඟම කියන්න ඕනෙ අර ඔබ ඊළඟට කියා තිබුණු "ඔබගේ මේ පිළිබඳ විරුද්ධත්වය සිංහලයවත් කාව්‍යකරණයවත් පිළිබඳ වූවක් නොව, ධර්මය හා බොදු බැතිය මත පදනම් වූ මතයක් ලෙසයි මා දකින්නේ ඔබේ මේ පැහැදිලි කිරිමෙන් පසු" යි යන අදහසට නම් මා එකඟවනනේ නැහැ.

    ඔබ තේරුම්ගත් විදිය එය නම්, ඒ මා පිළිබඳව ඔබට දැනුනු අදහසක්. ඔබේ නිදහස් මතයක්. එයට මා ගරුකරනවා. නමුත් මා පටු ආගම්වාදී දෘෂ්ටියක පිහිටලා නොවේ කවි විචාර කරන්නේ. එහෙම කරනවා නම් බුදුන් සූර්යයාට සමාන කිරීම ගැන මා සතුටු විය යුතුයි. මන්ද සූර්යයා මේ සෞරග්‍රහ මන්ඩලයේ සිටින විශාලතම හා ප්‍රබලම ග්‍රහයා. සියලුම ග්‍රහලෝක පාලනය කරන.

    ඉස්සර අනාගාරික ධර්මපාලතුමාගේ කාලයේ ලංකාවට පැමිණි, බුදුදහම ඉගෙනගත් ඇමෙරිකන් ජාතික ලේඛකයෙක්, බුදුන් හා බෞද්ධාගම පිළිබඳව ආසියාවේ ආලෝකය ( LIGHT OF ASIA ) නමින් පොතක් පලකලා. අනගාරික ධර්මපාල තුමා ඇතුළු සියළුම බෞද්ධයින්ගෙන් ගරු බුහුමන් ලැබුවා. පසුව ඔහු ඇමරිකාවට ගිහිං කිතු සමය පිළිබද පොතක් ලිව්වා ලෝකාලෝකය ( LIGHT OF THE WORLD ) කියලා. එදා සිට ඔහු බැනුම් අහනවා බෞද්ධ විරෝධියෙක්, බුදුන්වහන්සේ ආසියාවේ ආලෝකය කරලා, ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ආලෝකය කළා කියලා.

    මා කලේ එවැන්නක් නොවේ. බුදුසමයේ ඉගැන්වීම් වලින් මා තේරුම්ගත්, මගේ දැනුමට හා අත්දැකීමට හසුවන, පිළිබිඹුවන සාපේක්ෂ හරයක් නයෝමිගේ නිර්මාණයේ වූ එම පදවැලෙන් ගම්‍යවනවාදැයි විමසා බැලීම පමණයි. එසේ කිරීම,සිතීම වරදක් නොවේ.

    මේ දිනිසුරු කියන වදන බුදුන්ගේ චරිත විවරණය කිරීමට හා නිරූපණය කිරීමට සරිලන, ඊට "උචිත" වදනක්ද යන්න විමසා බැලීම පමණයි. ඊට මා බුද්ධ චරිතය තේරුම්ගෙන සිටි අයුරු බලපෑවා. නයෝමිට හා තවත් අයෙකුට, මා බුද්ධ චරිතය තේරුම්ගත් ආකාරය නොවැටහෙන්න හෝ එය වැරදි ලෙස පෙනෙන්නට පුලුවන්. එසේ නොවන්නටත් පුලුවන්. ඇය කර ඇත්තේද බුදුන් හා ධර්මය පිළිබඳව ඇය තේරුම්ගත් මානයක සිට බුදුන් හිරුවැනියැයි කීමයි. මගේ දැනුමට හා අත්දැකීම්වලට අනුව එය එතරම් ප්‍රමාණවත් දැක්මක් නොවේ. එය අන්ධානුකරණ බොදු බැතියක් ද නොවේ.

    මම මගේ දැනුමට, අත්දැකීම්වලට සාපේක්ෂව අදහසක් දැක්වීම හුදෙක් ආගම්වාදී මිනුමක් ලෙස නොදකින්න. ලොව හැමදේම සාපේක්ෂයි. විචාරයත් මගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂයි. මා මට පුලුවන් ආකාරයට සාහිත්‍ය සේවයේ යෙදෙනවා ඉදිරියේදීත්. හැබැයි ඒ මේ බ්ලොග් එකෙන්. මුහුණු පොතේ පොරපිටිවලට යන්න මා තුළ කිසිම බලාපොරොත්තුවක් නෑ. විචාර විවේචන සඳහා මැදහත් සිතින් ප්‍රතිචාර දක්වන කවි කිවිඳියන් විරළයි. මේ විවාදයේදී පවා එය මට පැහැදිලි වූ දෙයක්. ඒ නිසා තමයි මා මේ සංවාදය මගේ සිතිවිලි බ්ලොග් එකට මෙය ගත්තේ.

    අවදියෙන් ඉන්න සැමවිටම. මගේ වැරදි වුවත් පෙන්වා දෙන්න. නැවතත් ඔබට බෙහෙවින් තුති පුදමි. මට ඔබ කිසිසේත්ම ආධුනිකයෙක් නොවේ.

    ReplyDelete