Translate

Saturday, November 27, 2010

චිරන්තගේ  '' අග හිඟ වැහි '' 
ගැන මගේ අනාවැකිය





ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය
ඒ එළියත්  නිවා  ඉර  පලවා     හැරිය  
මේ  වැහි අඳුර වළකන දින බෝ දුරය


           යුග  ගණනක  පරපුරු  ඈට  කටු  වළලා  
           ඉදි කළ සිටුමැදුරු  ඈත  නිල් නුබ සිඹලා 
           මේ  යායට  රබර්  වැටුනට   වැහි   ගුගුරා 
           එපියසි  මත  කුඩු  වැහිවත්  නෑ     ඉහිලා 


පොඩි උන්ගේ ඈස් මත කඳුළක්  තියලා
දීපාවලී   කෝළම්     වැස්සට    මැකිලා
අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
                 බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු  
                 ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
                 කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු
                 නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ






චිරන්තගේ ඉහතින් සඳහන්, සඳැස් ගණයේ ලා සැලකිය හැකි පැදිපෙළ මා නැවත මට පුළුවන් හැටියට නිවැරදිව ලේඛන ගත ක​​ළේ ඔහු අතින් එහි බොහෝ සිංහල අක්ෂර දෝෂ සිදුවී ඈති නිසාය. මා නිවැරදි කළ මෙහිද වැරදි ඈත්නම් පෙන්වා දීම කියවන ඔබගේ යුතුකමකි. එය පෙන්වා දුන් සැණින් මම නිවැරදි කරන්නෙමි. 

චිරන්ත පළමු කවියෙන් අපේ සිත්වල මවන්නේ සැමදාම අඳුරු තුරු වදුලක ජීවත්වන්නාවු මිනිසුන් කොට්ඨාශයකි. ''වැද්දෝ'' නොවෙත් නම් ඔවුන් කවුරුද? මෙය අපේ කුතුහලය ඈද බැඳ තබාගැනීමට චිරන්ත කළ නිර්මාණාත්මක උපක්‍රමයකි. එමෙන්ම ඔහු මෙම පැදි පෙළ අපට කියන්නේ, එම තුරු වදුල යට ජීවත්වන්නාවූ මිනිසෙකු ලෙසය.

ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය 
ඔවුන් කවුරුන් වුවත් ''අපේ ජීවිත වලට එළිය වැටෙන්නේ එහෙමත් කලාතුරකින් '' බව පැවසීම අප සිත්තුළ මහත්වූ දුකක් සාංකාවක් ඈතිකරයි. දෙවන කවියෙන් ඔහු ඒ ගණතුරු වදුල කුමක්ද යන්න අපට හෙළි කරයි. මේ ''රබර් '' තුරු වදුලක්. ඒකියන්නේ රබර් වත්තක ඈති නිවාස (ලයින්පේලි) වලට කලාතුරකින් වැටෙන හිරු එළිය ගණ වැහිවලාවකින් වැසී ඈති බවත්, එම අඳුර තව බොහෝ දවසක් යන තුරුම පවතිනු ඈති බවත්, ඔහු කලාත්මකව - කාව්‍යයකට උචිතවන ආකාරයෙන් පැවසූ අයුරුයි ඒ.

දෙවන කවිය අති ප්‍රවේගවත් එකකි. පරම්පරා ගණනක් තිස්සේ අපේ මිනිසුන් කඹුරන ලද ශ්‍රමයෙන් නිල්වන් අහස් කුස සිඹගන්නා සිටු මැදුරු ඉදිවී ඈති බවත්, රබර් යායට මහා වැසි ගුගුරා ඈද හැලුනත්, මේ සිටු මැදුරුවල වහලවල් මත නම් එකදු වැහි කුඩක් හෝ ඉතුරුවී නොමැති බවත් පවසයි. එය එකී සිටු මැදුරුවල ජීවත්වන ''සිටුවරයන්ට'' එල්ලකරන ලද උපහාසය දනවන චෝදනාවකි. 
(( කවුද මේ සිටුවරු ??? )) 

ඊළඟ කවෙන් ඔහු වැස්ස නිසා දීපාවලී අවුරුද්ද වෙනුවෙන් ගෙමිදුලේ ඈඳුනු විසිතුරු කෝළම් සේදී යාම නිසා කුඩාවුන්ගේ නෙත් අග කදුළක් නැගී ඈති බව අපට කියයි. එය අපේ දෑසට ද කඳුළක් නංවන සුළුය. තත්ත්වය වඩාත් ශෝචනීය වන්නේ, ලයින් පේළිවල ඉන්නා මෙකී කුඩා දරුවන් පාසැල් වලට යනෙන පාලම්, ඒදඬු කැඩී ඈති නිසාය. 

අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා 
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
ඔවුන් ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය ද විසින් ද කිරි කැපීම සඳහා මේ දරුවන් තල්ලු කරදමා ඈති බවත් ඔහු කියන්නේ ගැඹුරු උපහාසයත්, අපහාසයත්, වතු කම්කරුවන් කෙරේ දරුණුම අනුකම්පාවකින් හා වේදනාවකිනි. ඉන් ජනිත වන්නේ ගැඹුරු උත්ප්‍රාසයකි.

ඔහු සිය අවසාන කවෙන් කියන්නේ පොත් වැස්සට තෙමී දිය වුනත් , පාලම් ඒදඬු කැඩී මොනවා වුනත් ඉගෙනීම, අධ්‍යාපනය නතරකරන්න නම් එපා !

බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු 
ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
 
 එසේ කියන ඔහු පැදිපෙළ අවසාන කරන්නේ, ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය විසින් ද හැමදාම ජන්ම උරුමයෙන් ජීවිත භුක්තියට - සින්නක්කරයට ලියා දෙන මේ දුක්ඛිත ජීවිතය, එනම් කැහැටු කෙට්ටු සිරුරකින් යුතුව හැමදාම උල් පිහි කටු වලින් කරන රබර් කිරි කපන ජීවිතය, ''නුවණ '' නැමති හස්තයෙන් උදුරා දමන්නයයි ඉල්ලමිනි.

කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු  
නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ
චිරන්තගේ මෙම පැදිපෙළ මා දකින්නේ, අප රටේ නිරන්තරයෙන් දුක් විඳින, නිර්ධන ජන කොට්ඨාශයක්වන, රබර් වතු කම්කරුවන්ගේ දුක්ඛිත දිවියේ යථාර්ථය ඉතාම සංවේදී ආකාරයෙන් කියාපාන ගැඹුරු දේශපාලන හා සමාජයීය අරුතක් ගැබ්ව ඈති පැදි පෙළක් ලෙසය. මේ පැදි පෙළ කියවන ඕනෑම අයෙකුට චිරන්ත අපූරු මානව හිතවාදි කලාකරුවෙකු බව මොනවට පසක් වෙයි. ඔහුට මගේ ආචාරය හිමිය.

 එහෙත් කිවයුතු තවත් වැදගත් කරුණු කීපයක්ද ඈත. මෙම පැදි පෙළ ලියා ඈත්තේ සඳැසක් ලෙසය. එහෙත් සඳැසක දී පිළිපැදිය යුතු ''කාව්‍ය ව්‍යාකරන දෝෂ, යවහන් දෝෂ, එළිසම දෝෂ, විරිත් දෝෂ, ගණ හා මාත්‍රා දෝෂ මෙන්ම අක්ෂර දෝෂ'' මෙහි බහුලය. ඒවා නිවැරදි ගන්නා ලෙස ද ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අයැද සිටිනවා. මූලිකවම සඳැසක් වීමට නම් එය එලිසමය සුරැකි, කිසියම් විරිතකට අනුව ලියවුනු, මාත්‍රා ගණන සමාන වුනු සමාන පද පේළි 4 කින් සමන්විත විය යුතුය. මේ ගැන සැලකිලිමත්වීම වටී. අනෙකුත් දෝෂ අත්‍යාවශ්‍යම නොවේ. මේ දෝෂ ඈත්නම් කවිය කියවෙන්නේ නැත. මේ මූලික වැරදි ටික හදාගතහොත් එයින් ඔබගේ නිර්මාණ තව තවත් ඉහළට එසවෙනවාට කිසිම සැකයක් නෑ.


4 comments:

  1. විපුල අයියා

    ඔබේ බ්ලොග් සටහන මේ කවියට පමනක් නොවේ ඒ දුකම වලඳන ජීවිත වලට එල්ල කරන්නේ අපූරු ආලෝක කදම්භයක්. මූනුපොත සහ අනෙකුත් නවීන සන්නිවේදන උපාන්ගයන් කලාවේ යහපත සඳහා කෙලෙස නතුකොට ගතයුතුද යන්නට සොඳුරු උදාහරනයක් ඔබ සපයනවා.
    මා ගීතයෙන් පෝශනය වූ කවියෙක් (මා කවියෙක් යැයි කියන්නේ ඔබලායි )අක්ශර වින්යාශය ආදී නොයෙකුත් සාරවත් භාශාවේ අඩුම කුඩුම මා ලඟට ගන්නට මම තව කලක් පරිනත විය යුතු බව අවන්කව පිලිගනිමි.

    ඔබට අනේක වාරයක් තුති

    ReplyDelete
  2. චිරන්ත,
    ඔබේ නිහතමානී භාවය ගැන අමුතුවෙන් ස්තූති කළ යුතු නැතැයි සිතමි. මා හදවතට එකඟව ඔබගෙන් සිදුව ඈති වැරදි පෙන්වා දුන්නේ ඒ හම වරදක්ම දුරුකරගත හැකි නිසා... අපි ඉංග්‍රීසි දන්නේ නැත්නම් පන්තියකට යනවා. එසේනම් සිංහල පන්තියකට ගියාම ඈති වරද කිම ?
    ඈත්තෙන්ම පන්ති යා යුතු නෑ. උසස් පෙළ කරන ළමයෙකු හෝ උගන්වන ගුරැවරයෙකු සොයා ගත නොහැකි නම් සංදේශ කාව්‍ය,ලෝවැඩ සඟරාව,ගුත්තිල දා කව, කව්සිළුමිණ ආදී පොත් තේරැම් සහිතව පලකර තියෙනවා...අරගෙන කියවන්න... ඔය හැම වරදක්ම හදා ගත හැකියි.. ඔබට ජය...

    ReplyDelete
  3. විපුල අය්යා, ඔබ නිවැරදියි. චිරන්ත අය්යා මානව හිතවාදී කලාකරුවෙක්. විවිධ දේ ගැන නිර්මාණ කරන කලාකරුවන් අතර මානව හිතවාදීන්ට මම ඉතාම ආදරෙයි. අපේ වත්මන් ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඒ වගේ පිරිසක් තමයි. කාලාවෙ විවිධත්වය තියෙන්න් ඕනි, නමුත් මානව දයාව නොතිබුනොත් ඔය නිර්මාණ කරණයටවත් අපි ඉතුරුවෙයිද දන්නෙ නැහැ. අද අපි ඉන්නෙ මුළු ලෝකෙම තත්පර ගනණකින් විනාශ කල හැකි අති භයානක අවි ආයුධ පිරිවරාගෙන බව මෙහිදී මතක් කරන්න කැමතියි.
    විපුල අයියාගේ බ්ලොග්කරණයට ජය පතමි..!

    ReplyDelete
  4. @ උදයගේ දිරියට බොහොමත්ම තුති… මානව දහම තරම් කෙළසුන වචනයක් තවත් නැහැ. උදය වෙසසින් සඳහන් කරන මේ මානව දහම චිරන්ත සහ අනෙකුත් සියළුම කවීන්ටද මඟ පෙන්වන ඔවදනක්.

    ReplyDelete