Translate

Sunday, January 15, 2012

සුදීපාගේ මිහිරිගේ කවිවැල මට දැනෙන විදිය

කවියෙකුට පහළවෙන විරළ කවි සිතුවිල්ලක්. මා එසේ කියන්නේ මෙහි කවි නිමිත්ත සලකාගෙනයි. යම් කිසි සංසිද්ධියක් සිදුවෙන හැටි ගෙනහැර පෑම වාර්ථාකරණයකි. වාර්ථාකරණයේ කලාත්මක බවක් නැත. නමුත් සුදීපා මේ සංසිද්ධිය වාර්ථා කරන්නේ කලාත්මක කවියක් ලෙසය. එය එක් අතකින් වාර්ථාකරණය හා කලාත්මක කවිය අතර ඇති වෙනස අපිට කියාපායි. 


ඉසිපතනේ මිගදායේ බුදුරදුන් විසින් ධර්මදේශනයක් පැවැත්වීම මෙහි නිමිත්තයි. එය අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන ගෝෂාකාරී සංගීත සංදර්ශනයක් නොවේ. සිත නිවනා, තැන්පත් කරනා සංසිද්ධියකි. 

සුදීපා පැදිපෙළ කියවන්නා තුළ පහන් බවක් දැනවීම සඳහා අපූරු උපමා රූපක, සංකේත හා අලංකාර ගෙනහැර පායි. එමගින් අපේ සිත් තුළ ඇය මවන්නේ අපූරු සිතුවම් පෙළකි. සංදේශ කාව්‍යයයක එන පරිසර වර්ණනා අපට නිතැතින්ම සිහිපත් වෙයි.

කියවන්නා තුළ පහන් බවක් දැනවීම තව තවත් තීව්‍ර කිරීම සඳහාම උචිත විරිතක්ද ඇය ඊට යොදාගනී. එහිදී පද බෙදීම නිසාම නැගෙන රිද්මය, ලය අපූරුය. අපගේ සිත් නැලවෙන නමුත් පහන් හැඟුමන් නොකෙළසෙයි.
 
මිගදායෙන් නැගෙන්නාවූ බුදුන්ගේ දහම් ස්වරයේ මුදු බව ඇය කියාපාන සැටි ඉතාම විචිත්‍රය.  මෙයින් ඉහතකී සන්දේශ කාව්‍යයක ස්වභාවය (වදන්, විරිත, රිද්මය හා ලය) අපට මැනවින් දැනෙයි. අපගේ මතකයට නංවයි. 

මේ පැදි පෙළ කියවමින් මුමුණමින් අපූරුවට විඳ සිත සනසාගන්නට හැකි පැදි පෙළකි.... පැදිය යනු, වෙසෙසින්ම සඳැස යනු ශබ්ද නඟා කියවිය යුතුම, රසවිඳිය යුතුම කවියකි.

මෙවැනි කවි කිවිඳියන් මූණු පොතේ විරළය. ඉතාම පොහොසත් වදන් කෝෂයක් ඇය සතුය. සුදීපාගේ ගේ මේ කාව්‍ය ප්‍රතිභාව මා හඳුනාගත්තේ අද ඊයේ නම් නෙවේ. ඇයට කවදත් මගේ ආදරය හිමිය. මගේ සුබ පැතුම්....!!!

විපුල 

No comments:

Post a Comment