Translate

Thursday, January 12, 2012

 ප්‍රියන්තගේ  "සම්බුලා දේවිය"

මා ප්‍රියන්තයන්ගේ Priyantha Wijerathne කවියක් කියවාම නැති විය හැක. නැතහොත් මේසා සංවේදීව මගේ මනස කැළඹූ කවියක් නොදුටුවා විය හැකිය. මේ නිසඳැස එපමණින්ම හොඳයි, ලස්සනයි, විචිත්‍රයි යනුවෙන් කියා ඇඟ බේරාගැනීමට මට සිත් නොදෙයි.
මේ කවි නිමිත්ත ඊයේ මෙන්ම අදටත්, හෙටටත් පොදු සංසිද්ධියකි. සිය ස්වාමියා මහළුව හෝ ගිලන්ව නිවසේ සිටියදී ඔහු දිවි රැකීමට ආර්ථික සටනක යෙදෙන කාන්තාවන් කොතෙකුත් අපට හමුවෙයි. එවැනි කාන්තාවන් පිළිබඳ අනේක කතා පුවත් අපට අසන්නට ලැබෙයි.

මේ සුලභ සංසිද්ධිය කිසියම් අපූර්වත්වයකට පත් කෙරෙන්නේ ප්‍රියන්ත විසින් සිය කවි නිමිත්ත සම්බුලාවන්ට ආදේශ කිරීම තුළය. නැත්නම් මෙම පදවැල නිකම්ම නිකං හිස් හෝ අර්ථ ශූන්‍ය වචන සමූහයක් වෙනවා සිකුරුයි.

මෙය විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් බවට පත්වෙන්නේ, ප්‍රියන්ත තුළ අප රටේ පැරැණි සාහිත්‍යය ගැන, ඉතිහාසය ගැන ඇති දැනුම හා භක්තිය කියාපාන බැවිනි.  එසේම, සිය නිර්මාණ කුසලතාව තුළින් තිලිණ කරණ මේ කාව්‍ය නිර්මාණයෙන්, අලුත් අරුතක්, ගැඹුරක් මුසුව දෝලනය වෙන කම්පණයක් හා ආනන්දයක්ද සමඟින් අවසානයේ ප්‍රඥාවද තිලිණ කරණ බැවිනි.

කුෂ්ඨ රෝගයකින් පීඩා විඳි “සොත්ථිසේන ” කුමරුට උවටැන් කරමින් රාක්ෂයින් අභිමුව සිය පතිවත දිවිහිමියෙන් සුරැකි, ඒ පතිවතේ බලයෙන්ම ඔහුව සුවපත් කළ සම්බුලාවන් වැන්නියෝ අද සමාජයේ විරළය. එකල රාගයෙන් මත්ව සම්බුලාවන්ට අතවර කිරීමට පැමිණි රාක්ෂයින්ගෙන් ආරක්ෂාව සැපයූ සක් දෙවින්දෝ අද නැත. රාක්ෂයින් එමට සිටියි. අද සිටින සම්බුලාවන්හට පොලිසියෙන්ද ලැබෙන ආරක්ෂාවක් නැත. සමාජයෙන් ලැබෙන පිහිටක් සරණක්ද නැත. මේ සියල්ල අනුදැන ප්‍රියන්ත ඇයට කියන්නේ “ මේ සියලු කරදරවලට කලින්, ගිලන්ව, අබල දුබලව සිටින ආදරණීය සැමියා වෙතට යන්න ” කියාය. එය අපගේ කරුණාබර සිතට මහත් කම්පණයක් එක් කරයි. ආලෝකයක් එක් කරයි. ඒ සමඟම සමාජය වෙත දරුණු, ප්‍රබල අතුල් පහරක් ද එල්ල කරයි.

අද සමාජය ගත්විට බොහෝවිට අපට හමුවන්නේ අවස්ථාවාදීන්ය. දේශපාලන, ආර්ථික, සමාජයීය හා අති පෞද්ගලික අභ්‍යන්තර හේතුමත, සිය ආදරණීය බිරින්දන් හා ස්වාමි පුරුෂයින් අමතක කිරීමට වෙර දරණ මනුෂ්‍යයින්ය. යාන වාහන, මිලමුදල් හා සදාචාරවත් නොවන අලුත් මිනිස් සබඳතාවන් ඉදිරියේ ආදරණීයයන් අමතක කරන ගෑණු පිරිමි මිනිසුන්ය. එවැන්නන් ඉදිරියේ අපට මෙවැනි සම්බුලාවන් මහානර්ඝ වස්තුවකි. මේ කවිය මහානර්ඝ විශිෂ්ට කවියක්වන්නේ ද, 
කවිය හා කවි නිමිත්ත විචිත්‍රවන්නේ ද එබැවිනි.

මෙලෙස සිය නිර්මාණයන් සඳහා කිසියම් අපූරුවත්වයකින් අපේ ඉපැරැණි ජන සාහිත්‍යයේ පහස නොමදව ලබමින් මහඟු නිර්මාණ එක් කළ සමිත Samitha B. Atuwabendela මට සිහි වෙයි. මෑතකදී එවන් නිර්මාණයක් ඔහුගෙන්වත් මට කියවන්නට නොලැබින. අද ඒ අඩුව පුරවන්නට ප්‍රියන්ත සිටීම පුද්ගලිකව මගේද, මෙහි කවි ලියන හා ඒ කවි කියවා රසවිඳින ඔබ සැමගේද අමන්දානන්දයට හේතු වෙනවා සිකුරුයි.

මට සම්බුලාවන් පළමුව හඳුන්වා දුන්නේ මගේ ආදරණීය අම්මාය. ඒ ඉතාම කුඩා අවධියේ ඇය මාත් අයියාත් ළඟ තබාගෙන පන්සියපනස් ජාතක පොත කියවමින් අපේ රසඥතා ඥාණය කුළුගැන්වූ සමයේදීය. ක්ෂය රෝගය සෑදීමෙන් මට මව්කිරි දීමට පවා අපොහොසත් වූ මගේ අම්මා, මා පියාණන්ගේ සියලුම “ මිනිස් ඇවතුම් පැවතුම් ” උපේක්ෂාවෙන් විඳදරාගන්තී, පෙරළා සම්බුලාවන්ට ආදරය කරමින් සිය සිතුම් පැතුම් ඇය අනුවම සකසාගනිමින් මියෙන තුරුම සිටියා මතකය. අද 2011 දෙසැම්බර් 10, උඳුවප් පෝය දින දුටු ප්‍රියන්තගේ මේ කවිය මෙන්ම මා ලියන කමෙන්ටුව/අදහස් ද මියගිය මගේ අම්මාටත්, ජීවත් වූ සහ දැනුදු ජීවත්වන තවත් එවැනිම “සම්බුලාවන්ටත් ” උපහාරයක්ම වේවායි පතමි.

අවසානයේ ප්‍රියන්ත ඔබට වඩ වඩාත් අර්ථවත් නිර්මාණ කිරීමට
ශක්තිය හා අවස්ථාව උදාවේවා යයි ඉත සිතින් පතමි !!!
 
විපුල
10 December 2011 at 12:40 · · 10

No comments:

Post a Comment