Translate

Sunday, January 16, 2011

කමළසිරිගේ කවිය මා දකින හැටි....


කමළසිරිගේ කවිය 
            මා දකින හැටි



ආදරණීය මවක්, ගිහිගෙය හැරපියා ගොස්, මතු බුදුබව පිණිස හෝ දැන් විඳින දුක්කන්දරාවෙන් සියළුදෙන ගලවාගනු පිණිස මේ ආත්මයේම බුදුවීමට මහණදම් පුරණ පුතෙකුට තම දිවියේ යථාර්ථය පහදා දෙමින් විවරණ දෙන සැටියි මේ.

සිය මව විසින්  '' දුක නිවන මග - නිවන - සොයන බුදු පුතේ '' යයි අමතන මේ යතිවර පුත්‍රයා සිටින්නේ එසේ මෙසේ  තැනෙක නොවේ. වෙහෙර දාගැබ් හතර වටේ තිබුනත්, බුදුවෙන්නට සිතන කිසිම කෙනෙකු (පසේබුදුවරයෙකු)  අඩිය නොගැසූ, නොපැමිණි, කඳුහෙල් පිරි ඝන වනාන්තරයක ඇති ගල්ගුහාවකයි.

දෙවැනි කවිය, එහි ව්‍යුහය අනුව අර්ථ දෙකකින් රසවිඳිය හැකිවෙයි.

පළමුවන විධිය මෙසේය .... ''නුඹේ පියා, සඟරුවනට පළමු තැන දෙමින්, ඔවුන් සැමවිටම හිස් මුදුනේ තබාගනිමින්, පංසලේ බෝධියේ ආතේවකම් කර කර, අත්දෙක දිය වෙනතුරු බොහෝ කල් බෙර වයමින් සිට, ආහාරවල ඉඳුල් සුවඳ ඉවකරමින් ඉඳලා අන්තිමට කන්ට නැතිවයි මැරුනේ ! '' 

''නුඹේ පියා, පංසලේ බෝධියේ ආතේවකම් කර කර, ආහාරවල ඉඳුල් සුවඳ ඉවකරමින් ඉඳලා අන්තිමට කන්ටත් නැතිවයි මැරුනේ... නුඹේ අත්තලා නැත්නම් සීයලා, සඟරුවනට පළමු තැන දෙමින්, ඔවුන් සැමවිටම හිස් මුදුනේ තබාගනිමින්, අවුරුදු ගාණක් බෙරගහලා අන්තිමට පන්සලටම දියවුනා..! '' යන්න දෙවැනි විධියයි.
 
මේ දෙවිධියෙන්ම ඉතා සංයමයෙන් වුවද ප්‍රබල ආකාරයෙන්, කවියා ව්‍යංගයෙන් නොකියා කියන්නේ ''නුඹේ පියා, සීයලා, (අත්තලා) ඇතුළු කිසිම කෙනෙකුට අපේ පවුල්වල දුක්ගිනි නිවන්නට, නිවන් ළඟාකරගන්නට නොහැකි වුනා. පුතේ නුඹ කරන්නෙත් නිරර්ථක නිස්සාර දෙයක් ''  බවයි. මේ කවර විධියකට හෝ වේවා ගොඩනැගෙන හාස්‍යය හා  උපහාසය මුසුව නැග එන,  කුරිරු වූ දේශපාලනමය හා සමාජ යථාර්ථය කිසියම් අනුවේදනීය පහන් සංවේගයක් අප සිත්තුළ ඇතිකරවයි.  

තෙවැනි කවියේ මුල් පද කීපයෙන් ඇය සෘජු ලෙසම දමාගසන්නී, ''නුඹේ නංගිගෙයි මල්ලිගෙයි පොත් ලැයිස්තුව දිගට දිගයි. අහසට උසයි. ඉගෙනගන්න, පාසැල් යන්න බැරිව උන් වැළපෙනවා ...'' යයි පවසමිනි.

එහෙත් අවසාන කොටසින් කවියා වඩාත් ව්‍යංගයෙන්, උත්කෘෂ්ඨ වූ නාට්‍යම අවස්ථාවක් නිර්මාණය කරමින්, දේශපාලන හා සමාජ යථාර්ථය විනිවිද දකිමින්, යටිපෙළ අරුත් ගණනාවක් මවමින් ...'' කන්ඩ බොන්ඩ හිඟ නිසා වැහැරුන නුඹේ මවට, මට,  දැන් දරුවන්ගේ බර දැනෙනවා. අපි අන්තිමට දන්සැලේ පෝලිමේ....'' යනුවෙන් කියන්නේ අපේ හදවත පාරවමිනි. ගහට වැලට පලය-ගෙඩිය බර නැති බව අපේ සමාජයේ එදා සිට මුල්බැසගෙන ඇති සම්මතයන් කවියාගේ වියරු උපහාසය නිසා උඩුයටිකුරු වෙයි.

මෙහිදී යටි පෙළේ  ගැබ්වන තවත් අරුතකි '' අප හේවිසිකාරයෝ වූ නිසාවෙන් දන්සැලේ පෝලිමේත් හිමිව ඇත්තේ අන්තිම බව, අවසානය බව ''. මදක් සිතන්න, කවියා මෙය කියන ව්‍යංගය, කවිය තුළ උපරීම නාට්‍යමය අවස්ථාවක් නිර්මාණය කරමින්, කවිය ඉහළම තලයකට ගෙනයන අයුරු.

''.....මහ පොළව නිසරු වී - පල වැලට බර දැනී 
  අපි පෙළේ අන්තිමට දන්සැලේ ...................''   

ඉතා විශිෂ්ටතම නාට්‍යම අවස්ථාවක් නිර්මාණය කරමින් කරුණාව, දයාව හා හාස්‍යය මෙන්ම උපහාසය ද මිශ්‍රවී ගොඩනැගෙන, ගැඹුරු එහෙත් වියරු උත්ප්‍රාසය අපේ ලේ, මස්, ඇට, නහර දිගේ දුවවිත් ගත සිත දෙකම හිරිවට්ටවා,  කවියා අපේ සිත් හා ජීවිත ගල්කරන්නේ,  මේ ජරාජීර්ණ ලොව - සමාජය තුළ කැකෑරෙන අසමාන, අමනෝඥ දේශපාලන හා සමාජමය යථාර්ථය විශිෂ්ට කවියෙකු ලෙස ග්‍රහණය කරමින් අපට ඒත්තු ගන්වමිනි.   


1 comment:

  1. මේක කමළසිරිගේ නිසඳැස් කවියත් එක්ක දැම්මානම් කොච්චර අගේද? මේ නිසඳැස බොහෝ කවියෝ විචාරකයෝ පටලවාගෙන. විපුල මහත්තයෝ මේ වැඩේ නවත්තලා එන්ඩ පේස්බුක්.

    ReplyDelete